විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ වගකීම ජනපති-අගමැති භාර ගන්නවා | දිනමිණ

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ වගකීම ජනපති-අගමැති භාර ගන්නවා

බුද්ධිකා ඉඹුලාන
සිතාරා සේනානි

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ සම්පූර්ණ වගකීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් භාර ගන්නා බව ජනමාධ්‍ය ඇමැති, සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (17) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

‘එම කෙටුම්පත සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය සාමුහික වගකීමකින් යුතුව කටයුතු කළා. දැනට ඉදිරිපත් කර ඇති විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර මේ වන විට දින 14ක් සම්පූර්ණව තිබෙනවා. එනිසා ඉදිරියේ එළැඹෙන ඕනෑම දිනයකදී එය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කළ හැකියි. පක්ෂ නායක රැස්වීමේදී තීන්දුවක් ගෙන එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ජනතාව ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් ලබාදී ඇත්තේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කරන්න. එනිසා එය සිදු නොකිරීම ජනතාවට කරන ද්‍රෝහීකමක්.‘

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරු මෙසේ පැවැසූහ.

මාධ්‍යවේදියා:

විසි වැනි සංශෝධනය කෙටුම්පත සම්බන්ධ වගකීම භාර ගන්නේ කවුද?

ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල:

ජනාධිපතිවරයාත්, කැබිනට් මණ්ඩලයත් ඒ පිළිබඳ සම්පූර්ණ වගකීම ගන්නවා.

මාධ්‍යවේදියා:

විසි වැනි සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අගමැතිවරයාට ලබාදී තිබෙනවා. නමුත් පෙරේදා (16) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබඳ කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බව අපට දැනගන්න ලැබුණා. ඒ ආකාරයට මේක හදිසියේ ම ඇවිත් නිහඬ වුණේ ඇයි?

ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල:

එහෙම නිශ්ශබ්ද වීමක් නෑ. කැබිනට් රැස්වීම පැවති කාල සීමාවෙන් 50%කටත් වඩා සාකච්ඡා වුණේ විසි වැනි සංශෝධනය සම්බන්ධයෙන් තමයි. කමිටුවේ වාර්තාව ලැබුණාම ඒ සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ කමිටුවේ සාකච්ඡා කර එකඟවූ කරුණු සැලකිල්ලට ගෙන තමයි ඒ කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ.

මාධ්‍යවේදියා:

මේ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයේ අනුමත වූ කෙටුම්පතක්. ඇයි කැබිනට් මණ්ඩලය අනුමත කළාට පසු එහි තිබෙන විවිධ ගැටලු ගැන ඇමැතිවරුන් කියන්නේ?

ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල:

මේ කමිටුව පත් කර තිබෙන්නේ අගමැතිවරයා. කෙටුම්පත ගැන දේශපාලන ප්‍රශ්න ගණනාවක් තිබෙන්න පුළුවන්. ඒ ගැන සාකච්ඡා කරන්න කමිටුව පත් කළා. එතැනදී අපට අවශ්‍ය වෙනවා නම් යම් යම් සංශෝධන ඉදිරිපත් කරන්න පුළුවන්. මූලික රාමුවට එකඟතාවක් තිබෙනවා. ජනතාවගේ අදහස් නැවත ලබා ගැනීමට අවශ්‍ය නම් එය ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදීව, විනිවිදභාවයකින් යුතුව සිදු විය යුතුයි. අපේ පාර්ලිමේන්තුව නියෝජිත පාර්ලිමේන්තුවක්.

මාධ්‍යවේදියා:

සාමාන්‍යයෙන් පනත් කෙටුම්පතක් ගැසට් කිරීමට පෙර ඇමැති මණ්ඩලයට ඒ ගැන අදහස් දක්වන්න සතියක පමණ කාලයක් ලබා දෙනවා. එසේ වුවත් මීට පෙර සිදු වූයේ පනත් ගෙන ඒම සහ පසුව හකුලා ගැනීමයි. ඔබතුමාලත් කරන්න යන්නේ ඒ දේම නේද?

ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල:

නෑ. එහෙම හකුළා ගැනීමක් වෙලා නෑ.

ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ:

මේ සම්බන්ධව කරුණු සාකච්ඡා කිරීමට ඇමැති මණ්ඩලයට කාලයක් ලබාදීමෙන් පසුව තමයි ගැසට් නිවේදනය ඉදිරිපත් කළේ. ඉන් පසු විවිධ මතවාද සමාජමය සහ දේශපාලනමය වශයෙන් මතුව තිබෙනවා. ඒ පිළිබඳ කරුණුත් සැලකිල්ලට ගෙන අපට අවශ්‍ය කරුණු රටේ යහපත සහ සුබසිද්ධිය වෙනුවෙන් කමිටු අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනවා. කිසිසේත් මේ කෙටුම්පත ආපසු හැරවීමක් සිදු කර නෑ.

මාධ්‍යවේදියා:

මේ පනත් කෙටුම්පත කෙටුම්පත් කළේ කවුද?

ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ:

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව තමයි කෙටුම්පත් කළේ. ඒ සඳහා සහාය වීමට නීතිඥ මණ්ඩලයක් පත් කර තිබුණා.

මාධ්‍යවේදියා:

කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ කවදා ද?

ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල:

පක්ෂ නායක රැස්වීමේදී තීන්දුවක් ගෙන එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

මාධ්‍යවේදියා:

සහතිකයක් දෙන්න පුළුවන් ද විසි වැනි සංශෝධනයත් එක්ක ස්වාධීන කොමිසන් සභාවලට කිසියම් හෝ බලපෑමක් සිදු වෙන්නේ නෑ කියලා?

ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල:

බොහොම පැහැදිලිව අප මේක ඉදිරිපත් කරන්නේ ඒ සහතිකයත් එක්ක. කොමිසන් සභා එක්ක ඇති වූ ප්‍රතිඵල විශ්ලේෂණය කළාම එයට වඩා හොඳ ක්‍රමයකට යන්න තමයි අප තීන්දු කර තිබෙන්නේ. බොහොම පැහැදිලිව ඒ සහතිකය එහිම සඳහන්ව තිබෙනවා. 19 වැනි සංශෝධනයේ අඩංගුව තිබූ ඉවත් වු කරුණු රටට අයහපත් සහ පරිපාලනයට අයහපත් කියන තේමාව මතයි. ඒ නිසා ඒ සහතිකය එතැන ම තිබෙනවා.

ඡායාරූපය - රංජිත් අසංක

නව අදහස දක්වන්න