නිහඬ කෘෂි විප්ලවවාදියකුගේ 37 වැනි ගුණ සැමරුම අද | දිනමිණ

නිහඬ කෘෂි විප්ලවවාදියකුගේ 37 වැනි ගුණ සැමරුම අද

විප්ලවවාදියකු යන නාමය කන වැකුණු සැණින් අප කාගේත් මතකයට නැඟෙනුයේ අවි අත දරා උස් රළු හඬින් ජනතාව අමතමින් වීදියක් වීදියක් පාසා ජන අරගල කරමින් සිටින පුද්ගලයෙකි. එහෙත් අප හදවත් සොරාගත් මේ නිහඬ කෘෂි විප්ලවවාදියා සෑමවිටම ජනතාවාදී අදහස්වලින් පොහොසත් විනීත ගති පැවතුම්වලින් හෙබි ආරිය සිංහල ඇඳුම පැලඳි නිතරම අව්‍යාජ සිනහවකින් මුව සරසාගෙන සරල බසින් ජනතාව ආමන්ත්‍රණය කළ අන් කවරකුවත් නොව දිවංගත හෙක්ටර් කොබ්බෑකඩුව මහතාය.

1916 අගෝස්තු මස 27 වැනිදින ඓතිහාසික කන්ද උඩරට සෙංකඩගල පුරවරයේ යටිනුවර දෙල්දෙණිය වලව්වේදී ටිකිරි බණ්ඩා කොබ්බෑකඩුව සහ සංඝමිත්තා දුල්ලෑව කුමාරිහාමි යන දම්පතීන්ට දාව උපත ලද හෙක්ටර් සෙනරත් රාජකරුණා බණ්ඩාර කොබ්බෑකඩුව මහතා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරුවේය. අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් හා නීති විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා නීතිඥයකු ලෙස තම වෘත්තීය දිවිය ආරම්භ කළේය. උපතින් ලද මානව දයා ගුණයෙන් හෙබි මෙතුමා තම නීතිඥ වෘත්තියේදී හමු වූ දිළිඳු ගොවීන්ගේ නඩු කටයුතුවලදී ඉතාමත් සංවේදී විය. එම ගොවි ජනතාවගේ නඩුවලට කිසිම ගාස්තුවක් අය නොකළ එතුමන් සෑමවිටම මේ ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි මාර්ග පිළිබඳ විමසිලිමත් වූයේ තම මානව හිතවාදී ගුණාංග තවදුරටත් විද්‍යාමාන කරමිනි.

තම නීතිඥ වෘත්තියෙන් ඔබ්බට ගොස් ජනතාවට සේවය සැපයීමේ අරමුණින් දේශපාලන ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වන හෙක්ටර් කොබ්බෑකඩුව මහතා 1952 දී මහනුවර නගර සභාවේ අම්පිටිය අසුනට ස්වාධීන අපේක්ෂකයකු ලෙස මැතිවරණයට ඉදිරිපත් විය. තියුණු තරගයකින් පසු තම මන්ත්‍රී ආසනය ජය ගත් මෙතුමා ජනතා හිත් දිනා ගනිමින් දිනෙන් දින ජනප්‍රිය විය. එහෙත් කිසිදා තම පෞද්ගලික වාසි වෙනුවෙන් බලය අයුතු ලෙස භාවිතා නොකළ මෙතුමා 1956 දී පැවති මහ මැතිවරණයෙන් මහනුවර අසුනට තරග කරන ලෙස එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එම අවස්ථාව එවකට හේවාහැට ප්‍රදේශයේ ආදායම් පාලකයකු ලෙස කටයුතු කළ පියසේන තෙන්නකෝන් මහතාට ප්‍රදානය කළේ එයට වඩාත් සුදුසු පුද්ගලයා ඔහු බව පවසමිනි. එපමණක් නොව තෙන්නකෝන් මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන්ද කටයුතු කළ එතුමා එම ක්‍රියාවෙන් පිළිබිඹු කළේ දිනෙන් දින මානුෂීය ගුණාංග ක්ෂය වෙමින් යන වර්තමාන දේශපාලනඥයන්ටද කදිම ආදර්ශයක් දෙමිනි. අනතුරුව 1960 සහ 1965 දී පැවති මැතිවරණවලට ඉදිරිපත් වුවද ඉතා සුළු ඡන්ද ප්‍රමාණවලින් පරාජයට පත් වූ මෙතුමා 1961දී රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙසද 1963 වර්ෂයේදී එහි සභාපතිවරයා වශයෙන් ද පත් විය.

1970 මහ මැතිවරණයෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් යටිනුවර ආසනය ජයග්‍රහණය කළ එතුමන් සමඟි පෙරමුණ රජයේ කෘෂිකර්ම සහ ඉඩම් ඇමැති ධුරයට පත්විය. එවකට අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කෘෂිකර්ම ප්‍රතිපත්තියත් සමඟම නව පන්නරයක් ලැබූ කොබ්බෑකඩුව මහතා සැමටම ආදර්ශයක් වෙමින් තම ඉඩම් පවා ජනතා සන්තක වන පරිදි දැඩි පරිශ්‍රමයක් දරා ඉඩම් ප්‍රතිසංස්කරණ පනත සම්මත කර ගත්තේය. එහිදී ඉඩම් අක්කර 50ට වැඩි වූ ගොඩ ඉඩම් ද අක්කර 25ට වඩා වැඩි වූ මඩ ඉඩම් ද ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය යටතේ රජයට පවරා ගැනීමට කටයුතු කළේය. මෙමගින් ඉඩම් අක්කර දස ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් රජයට පවරා ගත් අතර ඉන් ඉඩම් අක්කර ලක්ෂ 7කට ආසන්න ප්‍රමාණයක් බිම් අඟලක්වත් නොමැති අහිංසක ජනතාව වෙත බෙදා දී ඔවුන් දිළිඳු භාවයෙන් මුදා ගැනීමට කටයුතු කිරීමත් දේශීය කෘෂි නිෂ්පාදන ඉහළට ඔසවා තැබීමට කටයුතු කිරීමත් කැපී පෙනේ. මෙතුමා කැබිනට් ඇමැති ධුරය දරන කාලවකවානුවේදී නව කෘෂිකාර්මික අණ පනත් සහ නීතිරීති සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට සමත් වීම ගොවිතැනින් තම දිවිය සරිකර ගන්නා ගොවි ජනතාව ලැබූ මහත් වූ ජයග්‍රහණයකි.

නව කෘෂිකාර්මික ප්‍රතිපත්ති මාලාව හමුවේ පවරා ගනු ලැබූ ඉඩම්වලින් ජනතාව අතර බෙදාදීමෙන් පසු ඉතිරි වූ ඉඩම් ප්‍රමාණ උඩරට වතු සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ජනාවාස කොමිෂන් සභාව වැනි ආයතනවලට පවරාදීම මගින් අපමණ දුක් ගැහැට විඳිමින් තම ජීවනාලිය සරිකර ගත් සුවහසක් ගොවි ජනතාවට සිදු වූ අපරිමිත සේවයත් විදේශවලට ඇදී ගිය මහා ධනස්කන්ධය මෙරට තුළම ඉතිරි කර ගැනීමට ලැබීමත් මුළු මහත් ශ්‍රී ලංකාවාසී ජනතාව ලැබූ භාග්‍යයක් කොට සැලකිය හැකිය. මෙහි ප්‍රතිලාභ දකුණේ සිංහල ජනතාවට මෙන්ම උතු‍රේ සහෝදර දෙමළ ජනතාවටත් සමසේ භුක්ති විඳීමට සැලැස්වීමෙන් ජනිත වන්නේ එතුමාගේ කාර්ය ශූරත්වයත් අවංක භාවයත් වැඩ කිරීමේදී ඇති විනිවිද භාවයත්ය. මෙවැනි ඉඩම් පනත් බොහෝ රටවල ක්‍රියාත්මක නොවුණත් ඉන්දියාව, පිලිපීනය, බ්‍රසීලය යන රටවල ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව තුළ මෙන් නොව බොහෝ ලේ වැගිරීම් සහ ජීවිත හානි සිදු වූ බව ඉතිහාසය දෙස බැලීමේදී සනාථ වේ. එහෙත් අප රටේ කිසිදු ලේ බිඳකුදු නොසෙල්වා ඉඩම් ජනසතු කිරීමට මෙතුමා මානුෂීය වීම නිහඬ කෘෂි විප්ලවය ලෙස හැඳින්වීමට කදිම නිදසුන වේ.

ගොවිජන සහ ග්‍රාමීය අංශයේ තිරසාර සංවර්ධනය උදෙසා නව දැනුම ජනනය කර එය දියුණුවෙන් දියුණුවට පත් කිරීමෙහිලා සෑමවිටම ජනතා හිතෛෂී මානුෂීය මුහුණුවරකින් කටයුතු කළ මෙතුමන්ගේ ක්‍රියා කලාපය අද ජනාධිපතිතුමන්ගේ 'සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති මාලාව සමඟ ද මනා සේ සැසඳේ. එය හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ දුර දක්නා නුවණේ මහිමය මනා සේ පිළිබිඹු කරන්නකි. කෙසේ වෙතත් රටටත් ජාතියටත් මෙබඳු සේවයක් කළ මෙතුමන්ට 1977 දී පැවති මහ මැතිවරණයේදී තම මන්ත්‍රී ආසනය අහිමි වූයේ විවෘත ආර්ථිකය ගැන සිහින මැවූ අලස, ‍කළගුණ නොදත් මිනිස් සමාජයක් නිසාය. මෙවැනි තත්ත්වයක් යටතේ වුවද 1982 දී පැවති ජනාධිපතිවරණය සඳහා මෙතුමාගේ නම යෝජනා වීම දෛවෝපගත සිදුවීමකි. මේ මැතිවරණ පරාජයත් සමඟම අවස්ථා ගණනකදී ජේ.ආර්. ජයවර්ධන රජය විසින් මෙතුමන්ට විවිධ අභූත චෝදනා එල්ල කරමින් ප්‍රශ්න කිරීම් රාශියක් සිදු කිරීම නිසා මෙතුමා බලවත් චිත්ත පීඩාවට පත් වී සිටියේය. ඒ හේතුවෙන් විවිධ රෝගාබාධවලට ලක් වූ මේ අසහාය නායකයා 1983 සැප්තැම්බර් මස 18 වැනිදින සදහටම දෙනෙත් පියා ගත්තේය.

1977 සිට පැවති කිසිදු රජයක් විසින් මෙවන් ජනහිතකාමී නායකයන්ගේ කිසිදු මෙහෙවර ඇගයීමක් නොකළ අතර 1995 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ රජය යටතේ ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය 'හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය' ලෙස නම් කරනු ලැබීය. එතුමාගේ වියෝවෙන් 37 වසරක් පිරීම නිමිත්තෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය සහ 'හෙක්ටර් කොබ්බෑකඩුව සංසදය' විසින් අද (18) පෙරවරු 8.30ට පුෂ්පෝපහාරයකින්ද පෙරවරු 10.00ට දිවංගත කොබ්බෑකඩුව ඇමැතිගේ කෘෂිකර්ම සහ ඉඩම් ප්‍රතිපත්තිය නව රජයේ 'සෞභාග්‍යයේ දැක්ම' වැඩසටහන සමඟ අනුබද්ධ කර ගත හැකි අයුරු පිළිබඳ වූ සම්මන්ත්‍රණයකින් ද පස්වරු 7.30ට 'සහන උදය' වැඩිහිටි විවේකාශ්‍රමයේදී නේවාසික වැඩිහිටියන්ට රාත්‍රී දානය පිරිනැමීමකින් ද පින් පැමිණවීමට කටයුතු සංවිධාන කර තිබේ.

ටිකිරි කොබ්බෑකඩුව 
ආණ්ඩුකාරවර සබරගමු පළාත

නව අදහස දක්වන්න