පොඩි ලසී නඩු 2කට උසාවි නඟී | දිනමිණ

පොඩි ලසී නඩු 2කට උසාවි නඟී

බූස්ස බන්ධනාගාරයේදී ජනපතිට ආරක්ෂක ලේකම්ට සහ බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරීන් කිහිප දෙනකුට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධ නඩුවේ 2 වැනි සැකකරු ලෙස පොඩි ලසී නම් කරන ලෙස සීඅයිඩීය කරන ලද ඉල්ලීමක් සලකා බැලූ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඔහු එම නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කොට, 25 වැනි දින දක්වා රිමාන්ඩ් කිරීමට ඊයේ (17) නියෝග කළේය.

ඉකුත් 8වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ දරුණු ගණයේ අපරාධකරුවන් වන ධර්ම කීර්තිගේ තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක සහ අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලසී යන දෙදෙනා ජනාධිපතිවරයාටත් ආරක්ෂක ලේකම්වරයාටත් බන්ධානාගරයේ උසස් නිලධාරීන්ටත් ප්‍රසිද්ධියේ මරණ තර්ජන කර ඇති බවය.

ඒ අනුව පොඩි ලසී නමැත්තාගෙන් බන්ධනාගාරයට ගොස් ප්‍රකාශයක් ලබා ගැනීමටත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේය.

ඒ අනුව බන්ධනාගාරයට ගොස් ප්‍රකාශ ලබා ගැනීමටත් ඔහු 25 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් මහෙස්ත්‍රාත්වරයා එදින නියෝග කළේය.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනී මැරුම් විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා මහතා විසින් ඉදිරිපත් කරන ලද මෝසමක් අනුව පොඩි ලසී ඊයේ (17) අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

එහිදී සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා මහතා මෙම නඩුවේ දෙවැනි සැකකරු ලෙස පොඩි ලසී නමැත්තා නම් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව පොඩි ලසී නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කොට ඔහු තව දුරටත් 25 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරයේ තැබීමටත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඊයේ උදෑසන සිටම ගාල්ල කොටුව බාල දක්ෂ මාවත සහ අධිකරණ සංකීර්ණය අසල දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ අතර, පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ පොලිස් නිලධාරීන්ගේ දැඩි රැකවල් මැද පොඩි ලසී අධිකරණයට රැගෙන එන ලදි.

අධිකරණ කටයුතු ආරම්භවීමෙන් පසු ආරම්භයේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර තිබූ මෝසම කැඳවනු ලැබූ අතර, සුදු පැහැති ඇඳුමකින් සැරසී කොණ්ඩය උටඩ බැඳ සිටි පොඩි ලසී බන්ධනාගාර නිලධාරීන් විසින් විත්ති කූඩුවට නංවන ලදි.

මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය ප්‍රකාශ කිරීමෙන් පසු විශේෂ කාර්ය බළකායේ සහ පොලීසියේ දැඩි රැකවල් මැද පොඩි ලසී බලපිටිය අධිකරණයේ විභාග වන නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා ගෙන යනු ලැබීය.

දකුණු පළාත් සංචාරක, කරන්දෙණිය සමූහ, ගාල්ල දිසා සමූහ

නව අදහස දක්වන්න