මැලේරියාවට සහන ගෙනා සූරිය මල් ව්‍යාපාරයේ යටියන්තොට ගමන | දිනමිණ

මැලේරියාවට සහන ගෙනා සූරිය මල් ව්‍යාපාරයේ යටියන්තොට ගමන

ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතා සහ ඩොරීන් වික්‍රමසිංහ මහත්මිය

ජාතිකවාදී දේශපාලන කටයුතුවලට වේගයෙන් අවතීර්ණ වීමට මේ රටේ තරුණ සංගම්වලට උපකාරී වූයේ පොපිමල් දිනයට විරුද්ධ ව්‍යාපාරයයි. 1926 දී රැඩිකල්වාදී ශිෂ්‍ය කණ්ඩායමක් ආරම්භ කළ මෙම ව්‍යාපාරය, 1931 දී ලංකා සේවා මුක්ත භට සංගමය හා තරුණ සංගම් ඉදිරියට ගෙන ගියහ. 1933 දී පමණ මැද කොළඹ තරුණ සංගමයේ නායකත්වය යටතට පත් වීමෙන් පසු මෙම ව්‍යාපාරය පැහැදිලි වශයෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට විරුද්ධ වූ සටන්කාමී ස්වරූපයක් ගත්තේ ය. එහෙත් ‘පළමු වන ලෝක යුද්ධයේ අවසානය සිහි කරමින් නොවැම්බර් 11 වැනිදාට යෙදුණු යුද්ධ සමාදාන දිනය (පොපි මල් දිනය) පිළිබඳ උත්සවය ලංකාවේ රජයේ නිලධාරීහු හා බ්‍රිතාන්‍ය ජාතික පදිංචිකරුවෝ මහත් උද්‍යෝගයෙන් යුතුව පැවැත්වූහ. මේ දිනයේදී පොපි මල් විකුණා ලැබෙන ආදායම එංගලන්තයට යැවිණි. පල්ලියේ පුද පූජා සහ යුද්ධ පෙළපාළි මඟින් අධිරාජ්‍යය කෙරෙහි වූ භක්ති යළි සහතික කරන ලදී. මේ අතර, වාර්ෂික පොපි මල් අරමුදලට ආධාර වශයෙන්, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව තිබූ බොහෝ රටවලින් ලැබුණු මුදලට වඩා විශාල මුදලක් ලංකාවෙන් යැවීම ගැන තරුණ ශිෂ්‍යයෝ තදින් විරුද්ධ වූහ.

මෙයට ප්‍රතිචාරාත්මක ව්‍යාපෘතියක් වශයෙන් පොපිමල් විකිණීමේ දිනයෙහි සූරිය මල් විකිණීම ආරම්භ කෙරුණු අතර, එය ජනතාවගේ සුබසිද්ධිය සඳහා කටයුතු කරන අධිරාජ්‍ය විරෝධී සංවිධානයක් ලෙසින් ක්‍රියා කළේය. සූරිය මල් විකිණීමෙන් එකතු කරන ලද මුදල් සමාජ සුබසාධන කටයුතු සඳහා ද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට විරුද්ධව පත්‍රිකාවක් මුද්‍රණය කැර ප්‍රසිද්ධ කිරීම සඳහා ද ප්‍රයෝජනයට ගනු ලැබිණි. 1934 මැලේරියා වසංගත සමයේදී සූරිය මල් ව්‍යාපාරයේ සාමාජිකයෝ මහජනයාගේ මුදල් එකතු කර, එම මුදලින් ගත් බෙහෙත් හා ආහාර ද්‍රව්‍ය බෙදා දෙමින් වසංගතයෙන් පීඩා විඳි ගම්වැසියනට ආධාර කළෝය.

එකල සූරිය මල් ව්‍යාපාරයේ සිටි වාමාංශිකයන් අතර දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහ, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, ටෙරන්ස් ඇන් ද සිල්වා, ඇම්. ජී. මැන්දිස්, ටී. දොරෙයිසිංහම්, බී. ජේ. ප්‍රනාන්දු සහ රෙජි සේනානායක ද වූහ. සූරිය මල් ව්‍යාපාරයේ ප්‍රථම සභාපතිනිය වශයෙන් ඩොරීන් වික්‍රමසිංහ මහත්මිය තෝරා පත් කැර ගනු ලැබිණි.

සූරිය මල් ව්‍යාපාරයේ ක්‍රියාකාරී වැඩ කොටසක් කළ මේ රැඩිකල් වාමාංශික තරුණ කොටස් වෘත්තීය සමිති පිහිටුවීමටත්, කම්කරු සටන්වලට නායකත්වය දීමටත් පටන් ගත්හ. වැඩි කල් යන්නට පෙර කම්කරු නායකයකු වශයෙන් ගුණසිංහට තිබූ තත්ත්වය නැතිව ගියේ ය. වැල්ලවත්තේ රෙදි මෝලේ කම්කරුවන් සංවිධානය කිරීම මේ රැඩිකල් වාමාංශික තරුණ කොටස් යටතේ සිදු විය. මෙහිදී සේවක අයිතීන් කප්පාදුවට එරෙහිව 1933 දී වැඩ වර්ජනයක් ආරම්භ කෙරුණු අතර, කම්කරුවෝ 1400ක් පමණ මාස හයකට ආසන්න කාලයක් එම වැඩවර්ජනයෙහි යෙදී සිටියහ. මෙම කාලසීමාවේදී වාමාංශිකයෝ මීරිගම හා ලුණුවිල වැවසියර් සමාගමේ පොල් හා කොහු ‍මෝල්හි වැඩ වර්ජන ද කොමර්ෂල් කොම්පැනියේ කැලණියේ හා හුණුපිටියේ පොහොර මෝල්හි වැඩ වර්ජන ද එවැනි වෙනත් කම්කරු පන්ති අරගලද සංවිධානය කර ඒවාට නායකත්වය දුන්නෝය. මේ අවධියේ කොල්වින් ආර්. ද සිල්වා සහ දකුණු කොළඹ තරුණ සංගමයේ සාමාජිකයෝ එක්ව, කම්කරුවන් වෙනුවෙන් සටන් කිරීම සඳහා පෙරමුණ ගත්හ. 1933 පෙබරවාරි 23 වනදා පවත්වන ලද කම්කරුවන්ගේ මහා සභා රැස්වීමකදී වැල්ලවත්තේ කම්කරු සංගමය පිහිටුවන ලදී. කොල්වින් ආර්. ද සිල්වා එහි සභාපති වශයෙන් ද ක්‍රියාශීලී තරුණ සංගම් සාමාජිකයන් දෙදෙනකු වූ වර්නන් ගුණසේකර හා ජේ. ඩබ්ලිව්. සේනානායක සම ලේකම්වරුන් වශයෙන් ද පත් වූහ. පිලිප් ගුණවර්ධන, ඇන්. ඇම්. පෙරේරා, එස්. ඒ. වික්‍රමසිංහ, රොබට් ගුණවර්ධන, සූසන් ද සිල්වා යනාදීහු ද අප්පුහාමි, කුට්ටන් සහ රාමයියා යනාදි සටන්කාමී කම්කරුවෝ ගණනාවක් ද වැඩ වර්ජන සංවිධානය කිරීම, මහජන රැස්වීම්වල කථා කිරීම, අරමුදල් එකතු කිරීම සහ සහනාධාර බෙදා දීම ආදි කටයුතුවලදී ආධාර කළහ.

ත්‍රිකුණාමල වරායේ කම්කරුවන්ගේ වැඩ වර්ජනය වාමාංශික නායකත්වයකින් සිදු වූ ප්‍රථම වරාය වැඩ වර්ජනය ලෙස සැලකෙයි. යටත් විජිත ආණ්ඩුවත්, ස්වාමි පක්ෂයත් මෙම වැඩ වර්ජනවලට හතුරුකම් කළ නමුත්, කාර්මික කොම්පැනිවල වැඩ වර්ජනවලට, වඩා දැඩි විරුද්ධත්වයක් දක්වන ලද්දේ ඊ.ඒ. ගුණසිංහ විසිනි. පොදු වශයෙන් වැඩ වර්ජන නොකිරීමට ඔහු ස්වාමි පක්ෂය සමඟ ගිවිසුමකට එළඹ සිටියේ ය. කෙසේ වුවත් වැටුප් හා කම්කරුවන්ගේ ජීවන තත්ත්වය බොහෝ පහළ තත්ත්වයක පැවැති බැවින් කම්කරුවෝ වාමාංශිකයන්ගේ නායකත්වය හා ආශීර්වාදය නොඅඩුව ලබමින් එම කටුක තත්ත්වයට විරුද්ධව සටන් කිරීමට ඉදිරිපත් වූහ.

ඉහත සඳහන් කැර ඇති පරිදි ස්වාමිවරුන්ගේ පක්ෂය ගත් ගුණසිංහ වැඩ වර්ජන බිඳහෙළීම සඳහා මැර බලය පවා යෙදවී ය. කොළඹ වැඩපොළ රැසක එකල සේවයේ යොදවා සිටි ඉන්දීය කම්කරුවන්ට විරුද්ධව වර්ග භේදය ඇවිස්සීමෙන් ද ඔහු කම්කරු පන්තිය භේද කැර දුර්වල කෙළේ ය.

වැඩ වර්ජන ගණනාවක් ම කඩාකප්පල් කිරීමට ස්වාමි පක්ෂයට සහාය දීම හේතුවෙන් ගුණසිංහගේ කම්කරු පන්ති නායකත්වය හා ඔහු කෙරේ වු ප්‍රසාදය අහෝසි වන්නට පටන් ගත්තේ මේ අවධියේදීය. ඔහුගේ වෘත්තීය සමිති සඳහා සාමාජි මුදල් එකතු කැර දීමෙන් කොම්පැනිකරුවෝ ගුණසිංහට ආධාර කළහ. ගුණසිංහගේ සමිතිවලින් තුණ්ඩු රැගෙන එන ඉල්ලුම්කරුවන්ට පමණක් රක්ෂා දීමෙන් ස්වාමි පක්ෂය තවදුරටත් ගුණසිංහට අනුබල දුන් අතර, එමඟින් හීලෑ කම්කරු පිරිසක් ඇති කැර ගැනීමට අපේක්ෂා කැරිණි.

1935 දී වෘත්තීය සමිති ආඥා පනත නීතිගත කරන ලදී. එංගලන්තයේ මෙන් නොව, ලංකාවේ වෘත්තීය සමිති ලියාපදිංචි කිරීමට නීතියෙන් බල කළේ ය.වෘත්තීය සමිති ආඥා පනතෙහි ඇති පූර්විකාවෙහි සඳහන් වන්නේ එම ආඥා පනත වෘත්තීය සමිති ලියාපදිංචි කිරීම හා පාලනය සඳහා පිළියෙල යොදන බව ය. එබැවින් ලංකාවේ ලියාපදිංචි නොකරන ලද වෘත්තීය සමිතියක් වෙතොත් එය නීති විරෝධී සංවිධානයක් වන්නේ ය.

වෘත්තීය සමිති ආඥා පනත පිළිබඳ යෝජනාවට විරුද්ධත්වය දැක්වීමේ නායකත්වය ගත්තේ දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහ ය. එම පනතේ ඇති ප්‍රතිගාමී ස්වභාවයත්, එයින් කම්කරුවන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොසැලසෙන බවත්, එය මුළුමනින් ම ස්වාමි පක්ෂයට පක්ෂපාතී ව සකස් වී තිබෙන බවත් ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාවට දැන්වී ය. ප්‍රධාන වශයෙන් මේ පනතට විරුද්ධ වූයේ වෘත්තිය සමිති ලියාපදිංචි කිරීමට බල කිරීම සඳහාත්, වෘත්තීය සමිති මුදල් දේශපාලන කටයුතු සඳහා වියදම් කිරීම වැළැක්වීම සඳහාත් එහි අඩංගු වූ කොටස් නිසා ය. යම් කිසි වෘත්තීය සමිතියක් ලියාපදිංචි කිරීම සඳහා නිසි කල්හි ඉල්ලුම් නොකළ හොත්, නැත් නම් යම් කිසි වෘත්තීය සමිතියක ලියාපදිංචිය ප්‍රතික්ෂේප කළ හොත්, ඉල්ලා අස් කැරගත හොත් හෝ අවලංගු කළ හොත් එවිට එම වෘත්තීය සමිතිය නීති විරෝධී සංවිධානයක් ලෙස සලකනු ලැබේ.

මේ පනතේ නියම ස්වභාවය කලින් නොදුටු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරු කීපදෙනෙක් පසුව දොස්තර වික්‍රමසිංහ සමඟ එක්ව ඊට විරුද්ධ වූහ. වෘත්තීය සමිති පිහිටුවීම නීති විරෝධී කරන්නා වූ සහ වෘත්තීය සමිති මඟින් එකතු කරනු ලබන මුදල් වැය කිරීම සීමා කරන්නා වූ මෙම පනතේ වගන්තිවලින්ම පැහැදිලි වන්නේ මේ පනතින් වෘත්තීය සමිතිවලට කිසිම අයිතිවාසිකමක් නොදෙන බව සහ ඒ වෙනුවට එම සමිතිවල සාධාරණ හිමිකම් උදුරාගනු ලබන බව යයි. ඔහු ප්‍රකාශ කෙළේය.

මුල් අවධියකදී එම පනතට පක්ෂ වූ ඊ.ඒ. ගුණසිංහ ද පසු ව ඊට විරුද්ධ විය. ඒ සම්බන්ධයෙන් ඔහු මෙසේ කීවේ ය. 1923 වර්ෂයේ අපි ප්‍රථම පොදු මහ වැඩ වර්ජනය පැවැත්වූ තැන් පටන් මේ මොහොත දක්වාම වෘත්තීය සමිති පාලනය කිරීම සඳහා වෘත්තීය සමිති රජයේ පාලනයට යටත් කිරීම සඳහා යම් මාධ්‍යයක් තිබිය යුතු යැයි ධනපති පංතිය හඬ නැඟූහ. මේ සඳහා නීති සම්පාදනය කරන ලෙස අවුරුද්දක් නෑරම ධනපති පන්ති මුර ගෑ හ.

කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි හෝ කම්කරුවන්ට ආධාර දුන් හැම කෙනෙක් ම මෙම පනතට විරුද්ධ වූහ. ඊට විරුද්ධ වූ අය අතර, ඇස්. ඩබ්ලිව්. ඩී. බණ්ඩාරනායක ද විය. මේ විරුද්ධත්වය පවා නොතකා එය සැණෙකින් සම්මත කර 1935 දී නීතිගත කරනු ලැබිණි. ප්‍රතිගාමී ආණ්ඩුවෙන් හා අකැමැති ස්වාමි පක්ෂයෙන් මූලික වෘත්තීය සමිති අයිතිවාසිකම් ප්‍රතිලාභයන් දිනාගැනීම සඳහා වූ සටනෙහි ආරම්භය මෙය විය. මෙම ආඥා පනතෙන් වෘත්තීය සමිතිවලට දෙන ලද අයිතිවාසිකම් අතර, දේපළ අයිති කරගැනීම හා තබාගැනීම සඳහා අයිතිය ද ස්වකීය ලියාපදිංචි නමින් නඩු පැවරීමට හා නඩු පවරනු ලැබීමට අයිතිය ද විය. එමෙන් ම එංගලන්තයේ බලපැවැති තත්ත්වයෙන් ම වන්දි ගෙවීමට බැඳීමෙන් ආරක්ෂාව ද එම නීතියෙන් සැලසිණි.

චන්දන විජේකෝන්

නව අදහස දක්වන්න