අදට ගැළපෙන අයුරින් ඉඩම් ප්‍රතිසංස්කරණ පනත සකස් කිරීමට අවශ්‍යයි | දිනමිණ

අදට ගැළපෙන අයුරින් ඉඩම් ප්‍රතිසංස්කරණ පනත සකස් කිරීමට අවශ්‍යයි

අදට ගැළපෙන ආකාරයට ඉඩම් ප්‍රතිසංස්කරණ පනත සකස් කරන්න අවශ්‍ය බව ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන ඇමැති අනුරාධ ජයරත්න මහතා පැවැසීය.

එහිදී අද සමාජයට ගැළපෙන ආකාරයේ සියලු කාරණා එකතු කළ යුතු බවත් වර්තමාන සමාජයට අනුව මේ පනත වෙනස් කළයුත්තේ කෙසේද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් ඒ වෙනුවෙන් සිදුකළ යුතු සියලු කටයුතු සඳහා සහාය ලබාදෙන බවත් ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවැසුවේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේදී ඊයේ (18) හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ 37 වැනි අනුස්මරණ උත්සවයට සහභාගි වෙමිනි.

ගුණසැමරු උත්සවය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ පිළිරුවට පුෂ්ප උපහාර දැක්වීමෙන් අනතුරුව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ, ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහත්වරු පුෂ්පෝපහාර දැක්වූහ.

අනතුරුව හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ 37 වැනි අනුස්මරණ උත්සවය හා හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ කෘෂිකර්ම හා ඉඩම් ප්‍රතිපත්තිය නව රජයේ

“සෞභාග්‍යයේ දැක්ම“ වැඩසටහන සමඟ අනුබද්ධ කරගත හැකි ආකාරය පිළිබඳ සම්මන්ත්‍රණයක් පැවැති අතර එහිදී වැඩිදුරටත් අනුරාධ ජයරත්න මහතා මෙසේද කීය.

හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ දර්ශනය හා චින්තනය අද අපේ සමාජයට විශාල වශයෙන් බලපානවා. එතුමා කෘෂිකර්ම ඇමැතිවරයාව සිටියදී ඉඩම් ප්‍රතිසංස්කරණ පනත ගෙන එමින් මේ රටේ ජනතාවගේ ඉඩම් පිළිබඳ ගැටලුව විසඳීමට කටයුතු කළා. නමුත් අපේ රටේ ජනතාවට රටේ සම්පත් සමඟ නැඟී සිටින්න අවස්ථාව තිබියදී ඒ අවස්ථා නැති කරගන්න කටයුතු කරන බව අපට දකින්න ලැබෙනවා. දේශීය චින්තනය සමඟ ගොඩනැගී තිබෙන වැඩපිළිවෙළ නැති කරන්න හදන පිරිසක් සිටිනවා. බොහෝ දියුණු රටවල සිදුවූයේ එයයි. ඒවා අපේ රටවලටද ආදේශ කරගෙන අපේ වැඩපිළිවෙළ වරද්දවා ගත් අවස්ථා තිබෙනවා.

රටක් විදිහට අපට ආවේණික වූ දේවල් සැලසුම් කළ යුතුයි. එයට වටිනාකමක් දිය හැකි නායකයෙක් රටට පත් කරගෙන සිටිනවා. එතුමා හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ දර්ශනය මෙරට ක්‍රියාත්මක කළ හැකි රාජ්‍ය නායකයෙක්. අතීතයේදී අපේ රටේ මැණික් තිබූ ඉඩම් විදේශීය සමාගමක් විසින් අත්පත් කරගත්තා. ඒ නිසා අපේ සම්පත් අප රැකගන්න කටයුතු කරන්න අවශ්‍යයි.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරල් මොහාන් සමරනායක මහතා-

හෙක්ටර් කොබ්බෑකඩුව මහතා වැඩිපුරම පදනම් කරගත්තේ සමාජවාදයයි. එමගින් ජනතාවට ජීවත්විය හැකි සමාජයක් නිර්මාණය කිරීම ගැන කතා කරනවා.සමාජවාදයේ පවා සඳහන් වෙන්නේ මිනිසා සතුටින් ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් තිබෙන්න අවශ්‍යයි යන්නයි. ඒ සඳහා මිනිසාට මූලික අවශ්‍යතා සපුරාලීමට ඇති හැකියාව ඉතාම වැදගත් වෙනවා. බුදුහාමුදුරුවෝ පවා සතුටින් ජීවත්වීමට ඇති පරිසරය පිළිබඳ හා නිර්ණායක දේශනා කර තිබෙනවා. ජීවත්වීමට තිබෙන අයිතිය,නිදහස හා සතුට සොයායෑම කියන අරමුණු පදනම් කරගනිමින් මිනිසුන් ජීවත් වෙනවා. ඒ සඳහා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් , නිදහස් පාලන ක්‍රමයක් යටතේ ජීවත්වීමේ ක්‍රමයක්, සමාජ ආරක්ෂණ ක්‍රමයක් තිබිය යුතුයි. සාධාරණ සමාජයක් සඳහා ජනතාවක් කියන්නේ ඒ දෙයටයි. නමුත් 2015 දී එක කොටසක් සාධාරණ සමාජයක් ගැන කතා කළා. ඒ අයගේ සතුටු සොයන මාර්ගය වුණේ විධායක ජනාධිපති ක්‍රමය ‍අහෝසි කිරීමයි. ලෝ‍කයේ තිබුණු ප්‍රධාන ප්‍රශ්නය ලෙස ඔවුන් දැක්කේ විධායක ජනාධිපති ක්‍රමයයි. 2015 සාධාරණ සමාජයක් ඇති කරන්න හදපු පිරිස දැක්කේ නෑ ගොවීන්ට වුවමනා වතුර ප්‍රමාණය, ‍ගොවීන්ට පොහොර දෙන වෙලාව මතක නෑ. අප දන්නා සාධාරණ සමාජයේ මූලික ඉහත කී ජීවත්වීමට ඇති අයිතිය, නිදහස හා සතුට සොයා යෑමේ නිදහසයි.

යටත් විජිතවාදීන් මුලින්ම කළේ අපේ ඉඩම් පැහැරගත්ත එකයි. ඒවගේම අපේ රටේද කුඹුරු ඉඩම් ගොඩකරන්න කටයුතු කරන්න කියා අතීතයේ ප්‍රකාශ වී තිබෙනවා. කොරෝනා කාලය වන විට ඒ ප්‍රතිපත්තියම ක්‍රියාත්මක වුණානම් අද වන විට ලංකාවේ ජනතාව මිය යන්නේ ‍වසංගතයෙන් නොවෙයි කුසගින්නෙන්.

කොබ්බෑකඩුව මහතා ඇති කළ ආහාර ප්‍රතිපත්තිය නිසා කොරෝනා අර්බුදයේදී ආහාර අර්බුදයකින් තොරව ඉදිරියට එන්න පුළුවන් වුණා. කොරෝනා අර්බුදය නිසා ලෝකයේ ධනවත් රටවල්වල පවා ආහාර අර්බුදයක් ඇති වුණා. අප එයින් ගළවා ගත්තේ හෙක්ටර් කොබ්බෑකඩුව මහතායි. ඒ වගේම රටේ හොඳ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය තිබුණු ඩී එස් සේනානායක, බණ්ඩාරනායක මහත්වරුන්ගේ කෘෂිකර්ම ප්‍රතිපත්තිත් මෙයට බලපා තිබෙනවා.

සෞභාග්‍යයේ දැක්ම සමඟ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ ප්‍රතිපත්තිය ඉතා කිට්ටුවෙන් ගැළපෙනවා. බුදුහාමුදුරුවෝ පවා දේශනා කර තිබෙනේනේ සත්වයාගේ ප්‍රධාන පැවැත්මට ආහාර බලපාන බවයි. ලෝක ආහාර සමුළුවේදී පවා සත්වයාගේ පැවැත්වට ආහාරවල වැදගත්කම හා ආහාර සුරක්ෂිතතාවට පිළියම් ඇති කිරීම ලෝක නායකයන්ට බල කර තිබෙනවා. සෞභාග්‍යයේ දැක්මෙන් අපේක්ෂිත කෘෂිකාර්මික අරමුණු හා දේශීය ආර්ථිකයක්, ආහාර සුරක්ෂිතතාව පදනම් කරගෙන තිබෙනවා. සමහර සුළු භෝගවලට පවා රාජ්‍ය ඇමැතිවරුන් පත් කළේ මේ ආහාර නිෂ්පාදනය ඇති කිරීමටයි.

පරිසර ඇමැති මහින්ද අමරවීර, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා මහතා ඇතුළු කාර්ය මණ්ඩලය හා හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ පවුලේ ඥාතීහු සහභාගි වූහ.

චන්දිමා කරුණාරත්න 
ඡායාරූප - ගයාන් පුෂ්පික

නව අදහස දක්වන්න