විස්සෙ වගකීම බාරගන්නේ ජනපති සහ කැබිනට්ටුවයි | දිනමිණ

විස්සෙ වගකීම බාරගන්නේ ජනපති සහ කැබිනට්ටුවයි

සමන්මලී ප්‍රියශාන්ති

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නිර්මාතෘ රටේ රාජ්‍ය නායකයා බවත් එහි වගකීම ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලබන බවත් වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පෙරේදා (17) ප්‍රකාශ කළේය.

අධිකරණ ඇමැතිවරයාගේ ප්‍රකාශයක කොටසක් හුවා දක්වමින් විපක්ෂය 20 ගැන විකෘති මත පළ කරමින් සිටින බව ද හෙතෙම පැවැසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් අබේගුණවර්ධන මහතා මේ බව පැවැසීය.

නව ගමන් මාර්ගයකට රට ගෙන යෑමට රටේ රාජ්‍ය නායකයා කටයුතු කළ යුතු බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා එම නව විප්ලවීය වෙනස ඉටු කරමින් සිටින නායකයකු බව අද ඔප්පු වී තිබෙන බවත් කී ඒ මහතා, 20න් පසු රට හදන්න පුළුවන් නව ව්‍යවස්ථාවක් ගෙන ඒම රජයේ අරමුණ බවත් කීය.

එහිදී ඒ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි වගේම පොදුජන පෙරමුණු රජය කෙරෙහි මේ රටේ ජනතාව තැබූ විශ්වාසය නිසා තමයි අපට පසුගිය මැතිවරණය තුනෙන් දෙකක බහුතර බලයක් සහිතව ජයග්‍රහණය කරන්න අවස්ථාව ලැබුණේ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අහිතකර තත්ත්වය අප මැතිවරණයේදී ජනතාවට කිව්වා. රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ගෝලයෝ 19 ගෙනාවේ රාජපක්ෂවරු දිහා වෛරයෙන් බලමින් මිස වෙනත් අවශ්‍යතාවක් මත නොවේ. ලෝකයේ දේශපාලන ව්‍යුහය තුළ පවුලක් ඉලක්ක කරගෙන මෙවැනි සංශෝධනයක් ගෙනාව වෙන අවස්ථාවක් අප මින් පෙර දැක නැහැ.

ව්‍යවස්ථාදායක සභාවට පත් කරන්න ඕනෑ විපක්ෂයේ එකඟතාව අනුව කියලා. මේ අය 19ට ඇතුළු කර ගත්තා. එදා විපක්ෂය වුණේ දෙමළ සන්ධානයයි. විපක්ෂ නායක වුණු සම්බන්ධන් හා දෙමළ සන්ධානයත් මේ රජයටම සහාය දුන්නා. ඒ නිසා එදා තිබුණේ ආණ්ඩුවම පත් කරගත් විපක්ෂයක් පමණයි. විපක්ෂ නායකවරයාවත් ඇතුළේ තියාගෙන තමයි මේ අය 19 හැදුවේ. මේ නිසාම මේ 19 රටට අහිතකර දෙයක් බව පේනවා. මේ නිසා අපේ රජය වැඩ කරගෙන යද්දි මේ 19 බාධක අපට ගැටලු මතු කරනවා. ඒ නිසා අප ඒවා ඉවත් කරන්න අවශ්‍යයි. ජනතාව අපට බලය දීලා තිබෙන්නේ යහපාලන ආණ්ඩුව කරපු දේවල් කරන්න නොවෙයි. පාතාලය තුරන් කරන්න, මත්කුඩු ජාවාරම් නැති කරන්න, රට සංවර්ධනය කරන්න අපට අවශ්‍යයි. මේ 19 න් රජයේ වගේම ජනාධිපතිවරයාගේත් අත් බැදලා තිබෙන්නේ. අද 19 නිසාම රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙත් නැහැ. නමුත් මේක හදන්න කටයුතු කළ සිවිල් මහත්වරු පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නවා. මේක ගේන්න කටයුතු කළ මංගල, රනිල් අද හොයාගන්න නැහැ. තිර රචකයෝ හොයා ගන්න නැහැ. අප ගත්තු තීන්දු තීරණ ආපසු ගන්න රජයක් නොවන බව අප වගකීමෙන් කියන්න කැමැතියි. ජනතාවාදී තීන්දුවක් අප අරගෙන තිබෙනවා. 20 ගෙනාවට පස්සේ අප මේ රට හදන්න පුළුවන් නව ව්‍යවස්ථා සංශෝධනයක් අරගෙන එනවා. විපක්ෂයට අප අභියෝග කරනවා බොරුවට කෑ ගහන්නේ නැතිව තමන්ගේ බලය පෙන්නන්න කියලා.

ජනාධිපති ජනතාවට ආදර්ශ ගණනාවක් දීලා තිබෙනවා. එතුමා දක්ෂ වැඩ කරන නායකයෙක්. දවස ගානේ අමාත්‍යාංශ නිලධාරීන් ගෙන්වලා ප්‍රගතිය බලනවා. ජනාධිපතිට ඉන්නේ එකම එක පෞද්ගලික ලේකම්වරයෙක් විතරයි. අපේ ජනාධිපති ගෙනයන දේශපාලන සංස්කෘතිය ව්‍යවස්ථාවේ තිබුණේ නැහැ. රටේ නායකයා දැන ගන්න ඕනෑ නව ගමන් මාර්ගයකට රට ගෙනයන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ඒ නව විප්ලවීය වෙනස ඉටු කරන නායකයෙක් බව අද ඔප්පු වෙලා ඉවරයි. ඒ නිසා එතුමාට මේ ගමන යන්න මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් අවස්ථාව ලබාදිය යුතුයි. 20 වැනි සංශෝධනයෙන් කොමිසන් සභා හෝ තොරතුරු දැන ගැනීමේ පනත හෝ ඉවත් කර නැහැ. 19 තිබෙන අනිසි බලයෙන් අපට වැඩකරන්න අමාරුයි. 19 හොරු අල්ලනවා කිව්වට හොරු වැඩි කරපු එකයි කළේ. 19 ගෙනත් හොරකම් කළ අයත් ඉන්නවා.

මේ 20 ගෙනාවේ, එහි නිර්මාතෘ රටේ රාජ්‍ය නායකයායි. කැබිනට් මණ්ඩලය ලෙස අප එය සාකච්ඡා කර අනුමත කළා. කෙටුම්පත් දෙපාර්තමේන්තුව කෙටුම්පත් කළා. මෙහි වගකීම ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය ගන්නවා. මේ ගැන අධිකරණ ඇමැතිවරයාගේ කතාවේ කොටසක් පමණක් අරගෙන විපක්ෂය කරුණු විකෘති කරමින් ඉන්නවා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන්න නොයෙකුත් පක්ෂවලින් නියෝජිතයන් පත් වෙලා එනවා. ඒ අය 19 ගෙනා ආණ්ඩුව ගැනත් 19 ගැනත් ගැනත් හොඳට දන්නවා. රට හදන්න කැමැති ඕනෑම අයකුට පුළුවන් 19ට විරුද්ධ වෙලා 20ට සහාය දෙන්න. ඊට විරුද්ධ වෙන්නත් අයිතිය තිබෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වගේම පාර්ලිමේන්තුවේ තිබෙන ස්වාධීන අයිතියක්.

රනිල් මහත්තයයි ගෝලයෝ ටිකයි හොරු ඇල්ලුවේ නැති වුණාට දේශපාලන දඩයම් කළා. අපේ හැම අයෙකුටම නඩු දැම්මා. මේවා දේශපාලන දඩයම් පමණයි. සමහරු නඩුවලින් නිදොස් කොට නිදහස් කළා. මේවා කළේ රනිල්ගේ ආශිර්වාදය ඇතුවයි. 19 ගෙනත් විපක්ෂයේ කෑගහන අය හිරේ දාලා රට විකුණන්න උත්සාහ කළා. ඒකට ඉඩ තියන්නේ නැති බව රටේ ජනතාව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔප්පු කළා.

20න් පස්සේ ව්‍යවස්ථා සංශෝධනයක් එන්නේ, රටට ගැළපෙන, ජනතාවගේ අදහස්වලට ඇහුම්කන් දීලා, සියලු ජාතීන්ට නිදහසේ ජීවත් වෙන්න අයිතිය ඇතිවයි.රට ගොඩනඟන්න පුළුවන් ව්‍යවස්ථාවක් ගෙන එන්න බලාපොරොත්තු වෙනවායැයි කීය.

මේ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ද අදහස් දැක්වීය.

නව අදහස දක්වන්න