විශ්‍රාමික මේජර් ප්‍රසන්නගේ ඇප පෙත්සම ඉවතට | දිනමිණ

විශ්‍රාමික මේජර් ප්‍රසන්නගේ ඇප පෙත්සම ඉවතට

නෙල්කා මැදගෙදර

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවෙහි විභාග වන නඩුවක සාක්කිකරුවන්ට සහ වින්දිතයන්ට බලපෑම් කිරීමේ චෝදනාව මත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නීතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කරතිබූ පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරන ලදී.

පෙත්සම මඟින් ඉදිරිපත් කළ කරුණු ඇප දීමට තරම් සුවිශේෂී නොවන බවට තීරණය කළ අධිකරණය පෙත්සම ඉවත දැමීය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරු හමුවෙහි පෙත්සම කැඳවන ලදී.

එහිදී පෙත්සම්කාර විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා සඳහන් කළේ සිය සේවාදායකයා දිගින් දිගටම බන්ධනාගාරගත කර සිටින නිසා ඔහුගේ දියණිය මානසික පීඩාවට ලක්ව සිටින බවය.

එය සුවිශේෂී කරුණක් ලෙස සලකා ඔහු ඇප මත මුදා හරින ලෙස හෙතෙම ඉල්ලා සිටියේය. එහෙත් එය සුවිශේෂී කරුණක් ලෙස පිළිගැනීම අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

තරුණයින් එකොළොස් දෙනකු අතුරුදන් කරවීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයකට අදාළව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සාක්කිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට එරෙහිව චෝදනා නඟා තිබිණි.

එමඟින් වින්දිතයන් සහ සාක්කිකරුවන් සුරැකීමේ පනත යටතේ වරදක් කර ඇති බැවින් ඔහු රිමාන්ඩ්ගත කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නියම කළේය.

ඔහු සුදුසු ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

නව අදහස දක්වන්න