විස්ස හෙට එයි! | දිනමිණ

විස්ස හෙට එයි!

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනය හැකි ඉක්මනින් අහෝසි කළ යුතු බවත්; විසි වන සංශෝධනය සම්මත කරගෙන රට වේගවත් සංවර්ධනයක් කරා යොමු කළ යුතු බවත් මහා සංඝ රත්නයේ බහුතර මතය වී තිබේ. රටේත් ජාතියේත් උන්නතිය අපේක්ෂා කරන ප්‍රකට හිමිවරුන් මේ සම්බන්ධයෙන් ජනමාධ්‍යයට අදහස් දක්වා ඇත. ඈත අතීතයේ පටන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයට අදාළ වැදගත් උපදේශන සැපයීමට භික්ෂු සංඝයා ඉදිරිපත් වූහ. රාජ්‍ය නායකයෝ ඒ උපදේශන පිළිගනිමින් රටට හා ජාතියට යහපත උදා කළහ. රාජ්‍ය පාලනය හා භික්ෂු ශාසනය අතර පවත්නා අවබෝධාත්මක සම්බන්ධය කිසිදු නායකයකුට අමතක කළ නොහැකිය.

දහනවය රටට හා ජාතියට මහත් විපතක් ඇති කළ බව කුඩා දරුවෝ පවා හොඳින් දනිති. එය අසාර්ථක හා අඥාන ව්‍යවස්ථා සංශෝධනයක් වන්නා සේම රාජ්‍ය තන්ත්‍රය විකෘති කළ සංශෝධනයක් ද වන්නේය. පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය කෙලෙසීමට ද දහනවය හේතු සාධක වූ බව දේශපාලන විචාරකයන්ගේ මතය වෙයි. අමතක නොකළ යුතු කාරණය වන්නේ දහනවය අහෝසි කරන තුරු එහි වගන්ති සක්‍රිය නීතියක් ලෙස පවතින බවය. එහි සැබෑ අර්ථය වන්නේ දහනවයේ වගන්ති අදටත් වලංගු බවය. දැන් මුළු රටම කතා කරන්නේ අලුත් රටක් හා අලුත් රාජ්‍ය තන්ත්‍රයක් ගැන ය. ඊට ඇති ප්‍රධාන බාධාවක් ලෙස දහනවය සැලැකිය යුතුය. ඊට අනුව බලන විට ස්වාමීන් වහන්සේගේ උපදේශනයෙහි ඇති ප්‍රායෝගික වැදගත්කම හොඳින් වටහාගත හැකිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටක මූලික නීතිය වන අතර, කාලීන අවශ්‍යතා අනුව එය සංශෝධනයට ලක් කිරීම නරක දෙයක් නොවේ. කාලයත් සමඟ රටක අවශ්‍යතා වෙනස් වෙයි. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට හය වන සංශෝධනය ඉදිරිපත් වූයේ රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීම සඳහාය. දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් වූයේ අසල්වැසි ඉන්දියාවේ බලපෑම මතය. එය රටේ ස්වෛරිත්වයට එල්ල වූ පහරක් ලෙස ද සලකනු ලැබේ. දාහත් වන හා දහනව වන සංශෝධන මඟින් විධායකයේ බලය කපාහැරීමට පියවර ගෙන ඇති අතර, එය 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවේ මූලික පදනම අභියෝගයට ලක් කරන්නක් ලෙස ද පෙන්වා දිය හැකිය. එම සංශෝධන ප්‍රායෝගික නොවන්නේ ද ඒ නිසා යැයි කිව හැකිය.

වත්මන් ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත්තේ රටට ගැළපෙන, ජනතාවට පිළිගත හැකි නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම කෙරෙහිය. එහෙත් එය ක්ෂණිකව කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා යම් කාලයක් ගත වෙයි. එලෙස කාලයක් ගත වන තුරු ආණ්ඩුවට බලා සිටීමට අවස්ථාවක් නැත. රටේ ආර්ථිකය ගොඩනැඟීමට හා සමාජය යහපත් තැනක් වෙත ගෙන යෑමට වේගවත් වැඩ කොටසක් කළ යුතුව තිබේ. දැනටම ප්‍රමාද වැඩි යැයි සමහරු පෙන්වා දෙති. විසි වන සංශෝධනය සම්මත කරගන්නේ අන්තර්කාලීන වශයෙන් වැඩ කිරීමට බව කියති. එය ප්‍රායෝගික තත්ත්වයකි. නව ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා තුරු විස්ස වැඩ කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරයි.

ව්‍යවස්ථා සංශෝධනයකදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම අවශ්‍යයෙන්ම සිදු විය යුත්තකි. ජනතාවගෙන් අදහස් විමසීම ‍ෙස්ම ජනතා පරමාධිපත්‍යය සැලකිල්ලට ගැනීමත් ඉතා වැදගත්ය. දහනවය අහෝසි කිරීම සඳහා වාර දෙකකදී ජනතා අනුමැතිය ලැබී තිබේ. විසි වන සංශෝධනයට පාර කැපෙන්නේද ජනතා අභිමතය පරිදි යැයි කියන්නට පුළුවන. ආණ්ඩුව විසි වන සංශෝධනයේ කෙටුම්පත ගැසට් කළ අතර, එය නැවත නිරීක්ෂණය සඳහා කමිටුවක් ද පත් කළේය. පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී යළිත් මේ ගැන සාකච්ඡා කරන බව ද කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීම එම අවස්ථාවේදී සිදු කළ හැකි බව ද අගමැතිවරයා කියා ඇත. එය සාධනීය තත්ත්වයක් සේ සැලකිය හැකිය. කාලය ගත වන්නේ නිවැරැදි ස්ථාවරය තෝරා ගැනීමට නම්, එය නරක දෙයක් නොවේ.

දහනවය සංශෝධනයට එල්ල වන බලවත් විවේචනයක් වන්නේ එය දේශපාලන පක්ෂයක ඉලක්ක හා යටි අරමුණු පදනම් කරගෙන සම්පාදනය වූවක් යන්නය. සංශෝධනයේ මතුපිටින් කියවෙන ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණ ක්‍රියාත්මක තලයේදී දක්නට නොලැබිණි. දහනවය සම්බන්ධයෙන් යම් මහජන ප්‍රසාදයක් පළමුව පැවැතියද පසුව එය මුළුමනින්ම ආපස්සට හැරිණි. ජාතික ආරක්ෂාව අභියෝගයට ලක් වීම ඊට බලපෑ ප්‍රධාන කාරණයක් සේ සැලකිය හැකිය. ඕනෑම රාජ්‍යයක ජාතික ආරක්ෂාව අංක එකට පැමිණිය යුතු අතර, දහනවයේ ක්‍රියාත්මක වීමත් සමඟ එය නොසැලකිල්ලට ලක් විය. රටක මූලික නීතිය ජාතික ආරක්ෂාව ආරක්ෂා කළ යුතුය. විසි වන සංශෝධනය ද එය තහවුරු කළ යුතු බව භික්ෂු ශාසනයේ අදහස වෙයි.

විසි වන සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් ඉදිරිපත් කිරීමට පාර්ශ්ව තුනක් සූදානමින් සිටින බව ද වාර්තා වී ඇත. සමඟි ජන බලවේගය, ද්‍රවිඩ ජාතික සන්ධානය හා සිවිල් සංවිධාන කිහිපයක් එම පාර්ශ්ව තුන නියෝජනය කරති. විසි වන සංශෝධනයේ කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඊට එරෙහිව කරුණු දැක්වීමට අවස්ථාව උදා වෙයි. ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් ඉදිරිපත් වුව හොත් එය සම්මත කර ගැනීම තවත් ප්‍රමාදවීමට ඉඩ තිබේ. එහි සැබෑ අර්ථය වන්නේ කාර්යක්ෂමව වැඩ කිරීමකට ඇති අවස්ථාව තවදුරටත් කල්යෑමකි. විසි වන සංශෝධනය සම්බන්ධයෙන් සියලු පක්ෂවල සහයෝගය ලබා ගත හැකි නම්, එය අතිශයින්ම වැදගත්ය. එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලනයට අනුව ඒ කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැකිය.

කඹ අදින දේශපාලනය රටේ ඉදිරි ගමනට බාධාවකි. උගත් සංඝයා වහන්සේගේ අවධානය ඒ කෙරෙහි ද යොමු විය යුතුය.

නව අදහස දක්වන්න