පළාත් සභාව එපාම ද? | දිනමිණ

පළාත් සභාව එපාම ද?

මේ වන විට පළාත් සභා තිබෙන්නේ අක්‍රියවය. ඒවා පවත්වා ගෙන යනු ලබන්නේ ආණ්ඩුකාරවරුන්ගේ අධීක්‍ෂණය යටතේය. පළාත් සභා මැතිවරණය පැවැත්වීම දැන් අර්බුදයක්ව තිබේ. ඒ එම මැතිවරණයට අදාළ පනත යහපාලන ආණ්ඩු සමයේ සංශෝධනය කිරීමය. දැන් ගඟට පැදි ඔරුව වැනි තත්ත්වයකට මේ මැතිවරණය පත්ව ඇත. 

මධ්‍යයේ ඇති දේශපාලන හා පරිපාලන බලය පරිධිය දක්වා විතැන් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යූහයක් ලෙස පළාත් සභා ක්‍රමය හැඳින්විය හැක්කේ දේශපාලන විද්‍යානුකූලවය. කේමිබ්‍රිජ් විශ්වකෝෂයට (Cambridge Encyclopedia) අනුව බලය විමධ්‍යගත කිරීම යන වදන අරුත් ගන්වන්නේ රටේ ව්‍යවස්ථාදායකය සතු බල අධිකාරිය පහළ මට්ටමේ පිහිටි නියෝජන ආයතන වෙත පවරා දීම යනුවෙනි. එසේ නම් කේන්‍ද්‍රගතව ඇති බලය ජනතාවට සමීප කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් බව අවිවාදිතය. එහෙත් න්‍යායයන් තුළ එල්බගත් අතළොස්සක් හැර තවත් බොහෝ දෙනකු පළාත් සභා ක්‍රමය හැඳින්වූයේ ප්‍රජාතාන්ත්‍රීක ව්‍යූහයකටත් වඩා රටට බරක් වූ සුදු අලියකු ලෙසය. සුදු අලියා සුදු පාටින් තබා ගැනීමට නම් නිතර නහවා පිරිසුදුව තබා ගත යුතුය. කිලිටි වන නිසා වැඩකට යොදා ගැනීමටද නොහැකිය. කොට ඇදීමට, ගස් බිම හෙළීමට, පෙරහරේ ගෙනයෑමට යොදා ගන්නේ සාමාන්‍ය අලින් ය. වැඩකට නැති සුදු අලියකු නඩත්තු කිරීම සාමාන්‍ය ජනතාව මත පැටවේ නම් එය අපරාධයකි. පළාත් සභා ක්‍රමය මෙරට ජනතාවට බරක් වූ සුදු අලියෙක් ද? නැති ද? යන්න විපරම් කිරීම කාලෝචිත අවශ්‍යතාවකි. පළාත් සභා සියල්ල විසුරුවා හැර මේ වන විට සෑහෙන කාලයක් ගතව තිබේ. අදාළ කාලය තුළ ජනතාවට පළාත් සභා නොමැති නිසා සිදු වූ පාඩුව කුමක්ද යන්න සොයා බැලීමේදී පැහැදිලි වන කාරණය වන්නේ පළාත් සභා අක්‍රීය වී තිබෙන බව හෝ ඔවුන් නොදන්නා බවය. එසේ නම් මේවා ක්‍රියාත්මක විය යුතුද නැද්ද නොඑසේ නම් ඒවාට නව මුහුණුවරක් දිය යුතුද යන්න ගැඹුරින් සාකච්ඡා කළ යුතුව තිබෙන කාරණයකි.

 

ඉන්දීය මැදිහත් වීම

පළාත් සභා මෙරටට හඳුන්වා දෙන්නේම මෙරට දේශපාලන ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් තිබූණු වකවානුවක සිදු වූ ඉන්දීය ආක්‍රමණයක ප්‍රතිඵලයක් ලෙසිනි. 1987 ජූලි 29 දින ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා බිත්තියට හේත්තු කොට අස්සන් කරගත් ඉන්දු ලංකා ගිවිසුමට අනුව ඉන්දීය ආණ්ඩුවට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දීමවත් උතුරේ දමිළ ජනතාවට ස්වයංපාලනය දීමවත් නොව දකුණු ආසියාවේ ඉන්දීය හෙජමනිය හෙවත් ආධිපත්‍යය පවත්වා ගැනීමේදී 'ජයවර්ධන-ප්‍රේමදාස' ආණ්ඩුවේ දේශීය විදේශීය සහ කලාපීය පිළිවෙත බාධාකාරී ලෙසින් විවරණය කර ගැනීම මත ඇති වූ අමනාපය පිරිමසා ගැනීමය. උතුරු නැගෙනහිර දමිළ ජනතාවගේ ගැටලුවට දේශපාලන විසඳුමක් සොයනු වෙනුවට දිගින් දිගටම යුද්ධය පවත්වාගෙන යෑම නිසා බටහිර මැදිහත් වීම් මගින් බෙදුම්වාදයට ජයග්‍රහණ අත්පත් කර දුන හොත් එහි ප්‍රතිවිපාකයන්ට මුහුණදීමට සිදුවෙතැයි ඉන්දියාවට බියක් තිබිණි. ඒ වන විටත් ඉතා බරපතළ ලෙසින් බෙදුම්වාදයට නැඹුරුව තිබූ පංජාබය, ඇසෑමය හා තමිල්නාඩුව ලංකාව ආදර්ශයට ගනු ඇතැයි ඉන්දියාවේ නිගමනය විය. ලාංකික දමිළ ජනතාවගේ ගැටලුවට ඉන්දීය මධ්‍යම ආණ්ඩුව මැදිහත් විය යුතුය යන තෙරපීම ද තමිල්නාඩුව විසින් මතු කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලුවට ඉන්දියාවේ මැදිහත්වීම කෙරෙහි බලපෑ දෙවන කරුණ වූයේ අන්තර්ජාතික දේශපාලනය තුළ ඉන්දියාවට මුහුණදීමට සිදුව තිබූ ප්‍රශ්නයි. දකුණු ආසියානු කළාපය තුළ ඉන්දියාවේ අපේක්‍ෂාවන් පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය යම් බලපෑමක් කරනු ලැබීය. ත්‍රිකුණාමල වරාය අමරිකානු නැව් සඳහා පහසුකම් සැපයීමත් අමෙරිකානු හඬ (Voice of America) නම් ගුවන් විදුලි සම්ප්‍රේක්ෂකාගාරයට ඉරණවිල ප්‍රදේශයෙන් 1991 සිට 2020 දක්වා කාලයක් සඳහා හෙක්ටයාර 166.03ක් වසරකට ඩොලර් 40000ක මුදලකට පවරා දීමත් තමන්ට පරම සතුරු වූ එහෙත් අමෙරිකාවේ සහ චීනයේ දකුණු ආසියානු මිතුරා වූ පාකිස්තානය සමඟ ශ්‍රී ලංකාව යුදමය ගනුදෙනු පවත්වාගෙන යෑමත් ඉන්දියාව දුටුවේ තමන්ට කරන කෙනහිලිකම් ලෙසිනි. මේ සියල්ලේ ප්‍රතිඵලය වූයේ 1987 නොවැ 14 දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කළ 13 වන සංශෝධනය මගින් 1987 අංක 42 දරන පළාත් සභා පනත සම්මත කොට පළාත් සභා ක්‍රමය ස්ථාපිත කිරීමය. ජයවර්ධන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිවරයා ඇතුළු බොහෝ දෙනකුගේ විරෝධය එල්ල වී තිබියදී කවුරු විරුද්ධ වුණත් මම මෙය අත්සන් කරනවා යැයි කී ජයවර්ධන ජනාධිපතිවරයා ගිවිසුමට එළැඹ මාස කිහිපයකට පසු පළාත් සභා මැතිවරණ ද පැවැත් වූවේය.

 

සිහින රාජ්‍යය

ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් මැතිවරණ වර්ජනය කළේය. එල්.ටී.ටී.ඊ සංවිධානය මුලින්ම එය ප්‍රතික්ෂේප කොට තිබිණි. මධ්‍යම ආණ්ඩුව හා බැඳුණු එහි අධීක්‍ෂණයට යටත් වූ විසඳුමක් වෙනුවට ඔවුන් අපේක්ෂා කළේ ඊළම නම් වූ වෙනම රාජ්‍යයකි. එය 1949 දී චෙල්වනායගම් විසින් පිහිටුවාගත් ද්‍රවිඩ රාජ්‍ය පක්‍ෂය දුටු සිහින රාජ්‍යය විය. නැළියක් ඉල්ලූ තැනට පතක් දුන් විට එය ගැනීමට අකමැති වන්නාක් මෙන් එල්.ටී.ටී.ඊ ය පළාත් සභා ක්‍රමය පිළිගත්තේ නැත. පළාත් සභා වලංගු කිරීමට සිදු වූයේ උතුරට නොව එවැන්නක් නො ඉල්ලූ දකුණටය. පළාත් සභා ක්‍රමය මෙරට ස්ථාපිත වූයේ ඉන්දීය ආණ්ඩුවේ සහ ලංකාණ්ඩුවේ විධායකයේ අවශ්‍යතාවන්ට බැවින් එයට ප්‍රජාතන්ත්‍රවාදී උප්පැන්නයක් දීම අසීරු විය. එහෙත් අද වන විට පළාත් සභා ක්‍රමය මෙරට ස්ථාපිත වී තිබෙන්නේ එදා එය ප්‍රතික්ෂේප කළ දේශපලාන පක්ෂ පවා පළාත් සභා මැතිවරණවලට තරග කරන පසුබිමක් තුළ උතුරේ සහ දකුණේ පක්ෂ සියල්ලම එය පවත්වා ගෙන යාමට හවුල් වී තිබේ. සැබවින්ම එයට වැඩියෙන්ම ආකර්ෂණ වී තිබෙන්නේ දේශපාලන පවුල් ගස් වගාකරන්නන් යැයි කීවොත් එය නිවැරදිය. එදා ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහි වී පළාත් සභා වර්ජනය කළ ජවිපෙ තමන් පළාත් සභාවලට කරග කිරීම සාධාරණීකරණය කළේ එන බස් එකට ගොඩ නොවුණහොත් තමන් ට මඟ සිටීමට සිදුවන බැවින් පළාත් සභා බසයට ගොඩ වූ බව කියමිනි. ඊළාම් සිහිනය බොඳ වූ උතුරේ පක්‍ෂ 2013 වන තෙක් මේ බසයට ගොඩ වූයේ නැත.

කෙසේ වුවත් මේ වන විට පළාත් සභා තිබෙන්නේ අක්‍රීයවය. ඒවා පවත්වා ගෙන යනු ලබන්නේ ආණ්ඩුකාරවරුන්ගේ අධීක්‍ෂණය යටතේය. පළාත් සභා මැතිවරණය පැවැත්වීම දැන් අර්බුදයක්ව තිබේ. ඒ එම මැතිවරණයට අදාළ පනත යහපාලන ආණ්ඩු සමයේ සංශෝධනය කිරීමය. දැන් ගඟට පැදි ඔරුව වැනි තත්ත්වයකට මේ මැතිවරණය පත්ව ඇත. සමානුපාතික ක්‍රමයටද නොඑසේ නම් සමානුපාතික හා ආසන ක්‍රමයේ සම්මිශ්‍රන ක්‍රමයකටද මැතිවරණය පැවැත්විය යුත්තේ යන්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ එකඟතාව ගන්නා තෙක් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නොමැත. කෙසේ වුවත් වහාම මැතිවරණය පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දිය යුතු යැයි පළාත් සභා ක්‍රමයට ආලවන්තකම් දක්වන්නන්ගේ මතයයි. පළාත් සභා නැතැයි කියා සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගෙන යෑමට බාධාවක් නොමැති වූ බැවින් මේ ව්‍යුහය නඩත්තු කිරීම තේරුමක් නැතැයි තව කොටසකගේ මතය වී තිබේ. සැබවින්ම අවශ්‍ය දේ ඉටු වී ධනයත් ඉතිරි කරගත හැකි නම් අනවශ්‍ය දෙයක් සඳහා වෙහෙසෙන්නේ ඇයිදැයි කෙනකුට සිතිය හැකිය. 2018 වසරේ ඔක්තෝබර් මාසයේ මධ්‍යම පළාත් සභාවේ කාල සීමාව අවසන් වූ පසු මහජන නියෝජිතයන්ගේත් ඔවුන්ගේ කාර්ය මණ්ඩලත් නඩත්තු කිරීම වෙනුවෙන් වැය කෙරෙන මුදල්වලින් ලක්ෂ 4000 ක් පමණ මේ වන විට ඉතිරිව තිබේ.

 

සමාජීය විසමතා

කිසියම් ව්‍යූහයක වැදගත්කම මැනිය යුත්තේ එහි ඇති මානව උපයෝගීතාව (Human Utility) සහ පිරිවැය- වාසි විග්‍රහයට (Cost Benifits Analysis) අනුකූලවය. වාසියට වඩා පිරිවැය වැඩි නම් එවැන්නකින් සිදු වන්නේ සල්ලි දීලා හූනියම් කර ගැනීමක් නොවේදැයි කෙනකු සිතන්නට පුළුවන. ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටියෙන් බලන විට පළාත් සභා ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ආවේ දැයි විමසා බැලිය යුතුය. පළාත් සභා ස්ථාපිත කිරීමත් සමඟ ජනතාවගේ පාමුලට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන යෑමට එතෙක් තිබූ ගම්සභා සහ සුළු නගර සභා ක්‍රමය අපට අහිමි විය. ඒ වෙනුවට ජනතාවට සිදු වූයේ කාලයත් ධනයත් වැය කොට මේ මහා ව්‍යුහයන් සොයා ගොස් දින ගණන්, සති ගණන් කාලය වැය කිරීමටය. මේ ව්‍යූහයන් ගේ ඇති දේශපාලන හා පරිපාලන අකාර්යක්ෂමතාව ඉහළය. තමන් ජනනතාවගේ නියෝජිතයා බව දේශපාලනඥයන් වැඩි පිරිසකට අමතකව ඇත. ඔවුන් පළාත් සභාව යොදා ගන්නේ පාර්ලිමේන්තු සිහිනය ළඟා කර ගන්නා තෙක් ලගින අබ්බලමක් ලෙසටය. තමන් ජනතාවගෙන් නඩත්තු වන ජනතාවගේ සේවකයන් බව පරිපාලන නිලධාරීන්ට අමතකව ඇත.

පළාත් සභා ස්ථාපිත කිරීම මගින් පරිපාලනය කාර්යක්ෂම වන බවත් ඒ තුළින් සම්පත් වඩා ඵලදායි ලෙස භාවිත කළ හැකි බවත් මෙයට වසර 32 කට පෙර මෙම ක්‍රමය හඳුන්වාදුන් පාලකයෝ පැවසූහ. එහෙත් ඒ වෙනුවට සිදු වූයේ සමාජීය වශයෙන් දැඩි විසමතා ඇති වීමය. පළාත් සභා පාසල් හා මධ්‍යම රජයේ පාසල් අතර පහසුකම් අතින් පවතින පරස්පරතාව ඊට සුළු උදාහරණයකි. රෝහල් පද්ධතිය දෙස බැලුවොත් පළාත් සභාවලට අයත් රෝහල්වල මැස්සන් ඇහිරෙද්දී මධ්‍යම රජයේ රෝහල්වල ඉඩ හරවන්නට බැරි තදබදයක් ඇතිව තිබේ. ඒ පහසුකම්වල පවත්නා උස් පහත් බවේ ප්‍රතිඵලය. මධ්‍යම රජය සෑම විටම පළාත් සභාවලට දක්වන්නේ කුඩම්මාගේ සැලකිලිය. බලය විමධ්‍යගත කළ යුතුය. ඒ සම්බන්ධයෙන් තර්ක නොමැත.

පළාත් පාලන ආයතන ව්‍යුහය ශක්තිමත් කර ජනතාවට කාර්යක්ෂම සේවයක් ලබාදීමට පුළුවන. එය යම් තාත් දුරකට සිදුවෙයි. ඊට ඉහළින් ස්ථාපිත කර තිබෙන පළාත් සභා ඇත්තටම කොහාටවත් නැති දෙයකි. එය මධ්‍යම රජයට බරකි. පළාත් පාලන ආයතනවලට වදයකි. මේවන විට පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු හා මන්ත්‍රීවරියෝ 8000කට වැඩි පිරිසක් සිටිති. මෙම සංඛ්‍යාව වැඩි බවට කතාබහක්ද නිර්මාණය වෙමින් තිබේ. පළාත් සභාවලට වෙන් කරන මුදල්ද පළාත් පාලන අයතනවලට ලබා දී ඒවා ශක්තිමත් කිරීම මගින් මෙම මහජන නියෝජිතයන්ට වඩා හොඳ මහජන සේවයක් කිරීම පිණිස මඟ පාදා දීමට පුළුවන. කොට්ඨාස මට්ටමින් තරග කර ජයග්‍රහණය කර පළාත් පාලන අයතනවලට මොවුන් පත්වීම නිසා තමන්ට ඡන්දය දුන් ජනතාවට වැඩක් කරන්නට මේ පිරිස පළාත් සභා මන්ත්‍රීවරයකුට වඩා උනන්දු වන බවට තර්කයක් නැත. කොට්ඨාසයේ ජනතාවට සේවයක් නොකළොත් ඊළඟ අවස්ථාවේ ජයග්‍රහණය ඔහුට හෝ ඇයට නොලැබී යෑමට ඇති ඉඩ වැඩි නිසා ඔවුන් හැකි උපරිමයෙන් සේවය කර ඡන්ද පදනම රැක ගැනීමට උත්සාහ ගනිති.

 

ජනතා ප්‍රශ්න

උතුරු නැගෙනහිර ගැටලුවට දේශපාලන විසඳුමක් ලබාදීමේ අරමුණින් පළාත් සභා ඇති කළත් එම අරමුණු ඉටු නොවිණි. අවසානයේ බෙදුම්වාදය පරාජය කිරීමට සිදු වූයේ යුදමය වශයෙන් එල්.ටී.ටී.ඊ ය පරාජය කරමිනි. පළාත් සභා මගින් අපේකෂා කළ අරමුණු ඉටු නොවුණු බව තේරුම් ගැනීමට මෙයම ප්‍රමාණවත්ය. මධ්‍යම රජයේ මැති ඇමැතිවරුන්ට අමතරව පළාත් සභාවල ප්‍රධාන ඇමැතිවරයාද ඇතුළුව අමාත්‍යවරු සිව් දෙනෙක් ක්‍රියාත්මක වෙති. ඔවුන්ගේ කාර්ය මණ්ඩල සමඟ සෙසු මන්ත්‍රීවරුන් නඩත්තු කිරීමටත් ඔවුන්ට තීරුබදු රහිත වාහන ලබාදීමටත් වැය කරන්නේ මේ රටේ මහජන මුදල්ය. එලෙස වැය කරන කෝටි ගණන් මුදල්වලට සරිලන සේවයක් අපට පළාත් සභා ඔස්සේ ලැබුණේද යන්න සම්බන්ධව මේ රටේ බහුතර ජනතාවට ඇත්තේ ප්‍රශ්නයකි. පළාත් සභා නියෝජනය කළ මහජන නියෝජිතයන් මහජනතාවගේ ප්‍රශ්න අමතක කර පළාත් සභා මුදල් වැය කර රට සවාරී යද්දි ජනතාවට එපා වූයේ එම මන්ත්‍රීවරුන් නොව පළාත් සභා ක්‍රමය බව අප තේරුම් ගැනීම වැදගත්ය. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් බොහොමයකගේ දරුවන්, බිරින්දෑවරුන්, සහෝදරයන් බලා සිටින්නේ පළාත් සභා මැතිවරණය එනතුරුය. ඔවුන් පළාත් පාලන මැතිවරණයට තරග නොකරන්නේ එය මදිකමක් ලෙස සලකා මිස වෙනත් කාරණයක් නිසා නොවේ. පළාත් සභාවලට ජනතා ඡන්දයෙන් එන බොහෝ දෙනෙක් පළාත් සභා රැස්වීම්වලට පවා නිසිලෙස සහභාගි නොවෙති. මේ නිසා ඝන පූර්ණය නොමැතිව පළාත් සභා රැස්වීම් කල්දමන අවස්ථා අපි කොතෙකුත් දැක ඇත්තෙමු. අද රට ඇත්තේ දැඩි ආර්ථික අර්බුදයකය. ගඟට ඉනි කපන්නා සේ ජනතා බදු මුදල් වැය කිරීමට ආණ්ඩුවට හැකියාවක් නැත. මේ නිසා කිසිදු ප්‍රයෝජනයක් නොමැති සුදු අලි තවත් නඩත්තු කරන්නේද නැතහොත් ඒ වෙනුවට ඵලදායි වෙනත් විකල්පයක් වෙත යන්නේද යන තීරණය අප කඩිනමින් ගත යුතුව තිබේ.

 

 

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න