ධර්මසිරිගේ සිනමාවලෝකනය හා නාට්‍යාවලෝකනය | දිනමිණ

ධර්මසිරිගේ සිනමාවලෝකනය හා නාට්‍යාවලෝකනය

 

ධර්මසිරි බණ්ඩාරනායක පිළිබඳ 'එදවස සොඳුරුමය' තීරුවක් බද්දර මල්ල සඳහා එක් වූයේ 2015 ජූලි 07 වන දා ය. මිථ්‍යාමතික අතීතයේ සිට බණ්ඩාරනායක ඝාතනයේ යථාර්ථය දක්වා ඉතිහාසයෙන් බිඳක් ගෙන හැර පෑ 'පාරාදීසය සොයා' නම් වූ වාර්තාමය චිත්‍රපටයේ සිංහල පිටපත නැරැඹීමෙන් පසු ඒ තීරුව ලියැවිණ. කඳුළු සලන පාරාදීසය වික්ටර් අයිවන් මාධ්‍යවේදියාගේ රූපාකාරයෙන් කළ ප්‍රතිනිර්මාණයක් (Pictorial re- creation) ලෙස හැඳින්වූ බව ද මතකය. එහෙත් මෙවර තීරුව ඒ පිළිබඳ නොව 'ධර්මසිරි සිනමාවලෝකනය' නම් වූ ජීවන්ත දයානන්ද විසින් සම්පාදිත කෘතියක් පිළිබඳව ය. වම් ඉවුරේ තුන්වැන්නා ලෙස ටැග් කොට තිබූ මෙම කෘතිය කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ජනගත වූයේ පසු ගිය පහළොස්වන දා සැඳෑ භාගයේ දී ය. ආවර්ජන විමසුම් සඳහා සෞම්‍ය ලියනගේ, සනත් ගුණතිලක, ස්වර්ණා මල්ලවාරච්චි හා චින්තන ධර්මදාස එක්ව සිටි අතර කථන පුවරුවෙහි යශෝධා විමලධර්ම රංගවේදිණිය සිටියාය. ධර්මසිරි ලෝලීන්ගෙන් සැදි ප්‍රෙක්ෂාගාරය විවිධ කලා හා මාධ්‍ය ක්ෂෙත්‍ර හරස්කඩක එකතුවක් ලෙස හැඟිණ.

 

සෞම්‍ය ලියනගේ විසින් ධර්මසිරිගේ කලා භාවිතාව පිළිබඳ න්‍යාත්මක හා ගැඹුරු විමසුමක යෙදුණ අතර ධර්මසිරිගේ එකදු චිත්‍රපටයක හෝ රඟපෑමට හවුල් නොවුණු සනත් ගුණතිලක ධර්මසිරි පිළිබඳ වෙනස්ම කියවීමක් ඉදිරිපත් කළේය. ධර්මසිරිගේ සිනමා නිර්මාණ හා සෘජුවම සම්බන්ධ වූ හා එකී නිර්මාණ තුළ ඔහුගේ අධ්‍යක්ෂණයෙන් තම විශිෂ්ට රංග ප්‍රතිභාව විශද කළ ස්වර්ණාගේ මතකාවර්ජනය අපූරු අත්දකීමක් වූ සෙයක් වීය. ධර්මසිරි පිළිබඳ නිර්මාණය වූ කෙටි වාර්තාමය චිත්‍රපටය, ජනගත කිරීමෙහි එකාකාරීත්වයෙන් මුදවාගත් අංගයක් ලෙස එක් වීම විශේෂත්වයකි. චින්තන ධර්මදාසගේ කෙටි අදහස් දැක්වීම තුළ ඔහු ධර්මසිරිගෙන් ලද නිර්මාණාවේශය ඔහුගේ 'ඇවිලෙන සුලුයි' චිත්‍රපටයට බල පෑ ආකාරය හෙළිදරව් කිරීමක් ද වීය.

ධර්මසිරි බණඩාරනායකගේ සිනමාව හා ආශ්‍රිත භූමිකා පිළිබඳ පමණක් ජීවන්තගේ සිනමාවලෝකනය තුළ සඳහන් වෙතත්, ධර්මසිරි යනු වේදිකාවෙහි විකුම් පෑ රංගධරයකු මෙන්ම විශිෂ්ට නාට්‍ය නිෂ්පාදකයකු බව ද අමතක කළ නොහේ. ඔහු විසින් නිෂ්පාදිත වේදිකා නාට්‍ය අතර සුදු ඇතා ආවට පස්සෙ, ඒකාඅධිපති, මකරාක්ෂයා, ධවල භීෂණ, යක්ෂාගමනය හා ට්‍රෝජන් කාන්තාවෝ වැනි නාට්‍ය ඉතිහාසයෙහි කඩඉම් ලෙස සැලකිය හැකි නිෂ්පාදන වේ. සිනමාවෙහි මෙන්ම වේදිකාවෙහි ද ඔහු තම රංග ප්‍රතිභාව ප්‍රකට කළ බව ප්‍රේක්ෂකයනට අමතක කළ නොහේ. ඔහුගේ නිෂ්පාදන තුළ මෙන්ම දයානන්ද ගුණවර්ධනගේ ජසයා හා ලෙංචිනා, හෙන්රි ජයසේනගේ මකරා, බන්දුල විතානගේ බෙකට්, සුගතපාල ද සිල්වාගේ දුන්න දුනු ගමුවේ වැනි නාට්‍යයන්හි ධර්මසිරිගේ භූමිකා ඔහුගේ රංගන විශිෂ්ටත්වයට මනා නිදසුන්ය. හොඳම නිෂ්පාදක ලෙස රාජ්‍ය නාට්‍ය උලෙළේ දී කිහිපවරක්ම සම්මාන දිනන ධර්මසිරි තම රංගනය උදෙසා ද 'ඒකාධිපති'හි රඟ පෑම වෙනුවෙන් 1976 දී හොඳම නළුවාට හිමි සම්මානයට හිමිකම් කියන්නේය. ධර්මසිරිගේ සිනමාවලෝකනය මෙන්ම නාට්‍යාවලෝකනය ද බැහැර කළ හැක්කක් නොවන බව අපගේ හැඟීමයි. ඔහු සිනමාවට පිවිසෙන්නේ රංගනය මෙන්ම නිෂ්පාදනය පිළිබඳව ද වේදිකාවෙන් ලද නොමඳ අත්දැකීම් සහිතව බව සිහිපත් කළ යුතුය.

ධර්මසිරි සිනමා රංගනයෙහි ද විශිෂ්ටයාය. මා පළමුවරට ධර්මසිරිගේ සිනමා රංගනය හා ඔහු සැබැවින්ම දකින්නේ ද 1969 වර්ෂයේ දිනෙක කොළඹ කොම්පඤ්ඤ වීදියේ රියෝ සිනමා ශාලාවේ දී 'බක්මහ දීගේ' චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් තිරගත වූ අවස්ථාවකය. කාර්යාලයෙන් හොරෙන් පැන ගොස් පෙරවරුවේ පැවති දර්ශනය නරඹා එළියට එන කල සිනමා ශාලාවේ ලොබියේ කුලුනකට මුවා වී සිටි 'බක්මහ දීගේ' ප්‍රේමදාස දැක ගන්නට ලැබීම අනුලා, අයිරාංගනී දුටුවාටත් වඩා සතුටක් ගෙනා අවස්ථාවක් වූ බව මතකය. එතැන් පටන් සිනමාවේ දී ධර්මසිරිගේ රංග කුසලතා දැක ගන්නට ලැබෙන නිර්මාණ කිහිපයක් ම වේ. වසන්ත ඔබේසේකරගේ පළඟැටියෝ, ඔහුගේම හංස විලක්, සුනිල් ආරියරත්නගේ සතර පෙර නිමිති, සත්‍යජිත් මාඉටිපේගේ බොරදිය පොකුණ වෙසෙසි වේ. හංස විලක් හි ඩග්ලස්, මිරැන්ඩා කුටුම්බයට ගිනි අවුළුවන විවාහක පෙම්වතා, නිශ්ශංකගේ භූමිකාව තුළ භාවපූර්ණ රංගනයකට පණ පොවන ධර්මසිරි දැකගත හැකි වේ. අසම්මත ප්‍රේම අන්දරය සිනමා බසින් කීමෙහි ලා අධ්‍යක්ෂවරයකුගේ පළමු චිත්‍රපටය ලෙස ධර්මසිරි නව රැල්ලේ චිත්‍රපට නරඹා ලද ආභාසය මනාව භාවිත කරමින් ඔහුගේ අනන්‍ය ලකුණ සටහන් කරයි. තුන් වන යාමය හංස විලක්වලින් ඔබ්බට ගිය සිනමානුරූපී නිර්මාණයක් ලෙස විචාරකයන්ගේ සම්භාවනාවටද විවිධ ප්‍රතිවිරුද්ධ මතවාදයන්ට ද පාත්‍ර වූ නිර්මාණයකි. පුද්ගල මනෝභාව සියුම්ව විශ්ලේෂණය, ලිංගිත්වය පිළිබඳ ගැටලු සාකච්චා කෙරුණු සිනමා කාර්යයක් ලෙස 'තුන්වන යාමය' ධර්මසිරිගේ සිනමා නිර්මාණ අතරට එකතුවේ. චින්තන ධර්මදාස තුන්වන යාමය පිළිබඳ අභිරුචියකින් වර්ණනා කරන්නේ ඔහු සෘජුවම එහි ආකෘතිය ශෛලිය තම චිත්‍රපටය සඳහා කොපි කළ බව පවසමිනි. සුද්දිලාගේ කතාව, බව දුක බව කර්ම වැනි ධර්මසිරිගේ සෙසු සිනමා නිර්මාණ මෙරට සිංහල සිනමාවේ අතීත ස්මරණ අතර සටහන් වී ඇත්තේ වම් ඉවුරේ තුන් වැන්නාගේ චිත්‍රපට ලෙසද යන්න විවාදපන්නය. වම් ඉවුර නියෝජනය කළ පුරෝගාමීන් වන වසන්ත ඔබේසේකර හා ධර්මසේන පතිරාජ වැන්නවුන්ගේ සිනමාවෙහි විෂය ලෙස සාකච්ඡා කෙරුණු අන්තර්ගතයන්හි වූ දේශපාලනික, සමාජීය, ගැටලු ධර්මසිරිගේ චිත්‍රපටවල වී ද යන්න ඒ මතය දරන්නන් ගේ ප්‍රශ්නය විය හැකිය. වම් ඉවුරෙහි සිනමා කරුවා යන්නට වඩා පශ්චාත් නව්‍ය සිනමාවෙහි ආරම්භකයා ලෙස ධර්මසිරි හැඳින්වීමට චින්තන ධර්මදාස කැමැති බව පැවසූයේ එනිසාද?

'ධර්මසිරි සිනමාවලෝකනය' කෘතිය තුළින් ඔහුගේ සිනමා භාවිතාව පිළිබඳ නවකතිකාවකට මුල පිරී අතැයි සිතේ. ඔබේසේකර, පතිරාජ දෙදෙනාගෙන් පසු නව සිනමාවෙහි පුරෝගාමිත්වය ධර්මසිරිට අයිති වන බව ද ඒ පරපුර ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර හා තවත් තරුණ පිරිස් ගමන් ගන්නා බව නොවෙද දකින්නට ඇත්තේ කියා සිතේ. ජීවන්ත දයානන්දගේ වම් ඉවුරෙහි තුන්වැන්නා, ධර්මසිරි සිනමාවලෝකනය සිනමා සාහිත්‍යයට එක් වූ වෙනස් ආකාරයේ කෘතියක් ලෙස දකිමි. ඊට ඇතුළත් තොරතුරු සොයා ගැන්මෙහි ලා ඔහු බොහෝ වෙහෙස වී ඇති බව පෙනේ.

 

බුද්ධදාස ගලප්පත්ති
 

 

 

නව අදහස දක්වන්න