20ට ජනමත විචාරණයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් | දිනමිණ

20ට ජනමත විචාරණයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ‘20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත’ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කර එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (22) විශේෂ පෙත්සමක් ගොනුකර තිබේ.

මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයකු වන ඉන්දික ගාල්ලගේ මහතා විසින් මෙම පෙත්සම ගොනුකර ඇත. පෙත්සමෙහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා ‍නම් කොට සිටී.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 20 වැනි වරට සංශෝධනය කිරීම සඳහා වන 20 වන ව්‍යවස්ථා සංශෝධනය මෙම අගෝස්තු මස 28 දින ගැසට් මඟින් ප්‍රසිද්ධ කළ අතර, මෙම සැප්තැම්බර් මස 22 දින පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කළ බව පෙත්සමෙහි දැක්වේ.

පාර්ලිමේන්තු‍වට ඉදිරිපත් කර ඇති මෙම පනත් කෙටුම් පතෙහි ඇතුළත් වගන්තීන් කිහිපයක් මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන කිහිපයක් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර, ජනතා පරමාධිපත්‍යයට බලපාන එවැනි විධිවිධාන ඉවත් කිරීම හෝ වෙනස් කිරීම සඳහා ජනමත විචාරණයක් පවත්වා ජනතාවගේ අනුමැතිය ලබාගැනීම අත්‍යාවශ්‍ය බව පෙත්සම්කරු විසින් පෙන්වා දී තිබේ.

මෙම පනත් කෙටුම්පතෙහි 3 වන වගන්තිය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වගන්තිය ඉවත් කරන අතර, මැතිවරණ සම්බන්ධයෙන් රිට් පෙත්සමක් මඟින් අධිකරණයට පැමිණීමට ඇති අයිතියට ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඇ), 03, 12(1), 27(2) a, 27(3) යන වගන්තීන් වලට ද එමඟින් අහිතකර බලපෑම් ඇති කරන බව පෙත්සම්කරු පෙන්වා දෙයි.

එසේම එම පනත් කෙටුම්පතෙහි 15, 17(4), 22, 27, 40, 40(4), 54, යන වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(d) 3, 12(1), 27(2)a, 27(3) යන විධි විධානයන්ට පටහැනි බවට පෙත්සම්කරු පෙන්වා දෙයි. එබැවින් මෙම පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයාට නොතීසි නිකුත් කරන ලෙසත්, විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කරන ලෙස මෙම පෙත්සම මඟින් අධිකරණයෙන් ඉල්ලා ඇත.

එය පනතක් ලෙස සම්මත වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත විය යුතු බවට තීරණය කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.

එසේම මුල් ගැසට් පත්‍රයෙහි අඩංගු නොවූ යම් වගන්තියක් තිබේ නම් එය නීතියක් බවට පත්වීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට සහ පාර්ලිමේන්තු රීතීන්ට යටත්ව සිදු විය යුතු බවට තීන්දු කරන ලෙස ද පෙත්සම මඟින් ඉල්ලා තිබේ.

නීතිඥ දර්ශන වේරදුවගේ මහතා විසින් මෙම පෙත්සම ගොනු කරන ලදී.

නෙල්කා මැදගෙදර

 

නව අදහස දක්වන්න