බලවතුන් ඉදිරියේ දණ නැමිය යුතු ද? | දිනමිණ

බලවතුන් ඉදිරියේ දණ නැමිය යුතු ද?

වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් ජනාධිපතිවරයා කළ කතාව රටේ බොහෝ දෙනකුගේ අවධානයට ලක් වී ඇත. එක්සත් ජාතීන්ගේ අරමුණ විය යුත්තේ ලෝක සාමය හා සංවර්ධනය උදෙසා සහයෝගය දැක්වීම මිස රටවල්වල අභ්‍යන්තර දේශපාලනයට ඇඟිලි ගැසීම නොවේ. එසේ ඇඟිලි ගැසීම හෝ මැදිහත්වීම හෝ සැලැකිය හැක්කේ රටක ස්වෛරීභාවය හා නිදහස උල්ලංඝනය කිරීමක් හැටියටය. ලෝකයේ කිසිදු රාජ්‍යයක් තම ස්වාධීනතාව කෙලෙසා ගන්නට කැමැති නැත. ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සමුළුව හමුවේ ඉහත තත්ත්වය පැහැදිලි කළේය. එය ලෝක නායකයන්ගේ අවධානයට ලක් විය යුතු අදහසකි.

ඉරාකය 2002 වන තුරුත් පැවැතියේ ආසියාවේ අසිරිමත් රාජ්‍යයක් හැටියටය. ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන් ඒකාධිපති පාලකයකු ලෙස හඳුන්වනු ලැබූව ද රට සංවර්ධනය කළේය. ලෝකයේ දෙවන තෙල් නිෂ්පාදකයා හැටියට ඉරාකය ක්‍රියා කළේය. අමෙරිකන් මැදිහත්වීම මත රට තුළ දේශපාලන අර්බුද මතු වූ අතර, පසුව එය යුද්ධයක් දක්වා ව්‍යාප්ත විය. අමෙරිකන් හමුදා ඉරාකය ආක්‍රමණය කළහ, සදාම් හුසේන් එල්ලා මරා දමන ලදහ. අප්‍රිකානු මහාද්වීපයේ ඉසුරුමත් රාජ්‍යයක් ලෙස පැවැති ලිබියාවට සිදු වූයේ ද ඒ ටිකමය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉරාකය හෝ ලිබියාව හෝ බේරාගන්නට නොහැකි විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මීට වඩා යුක්ති සහගත ලෙස ද සාධාරණ ලෙස ද කුඩා රටවලට සැලැකිය යුතුව තිබේ. ජගත් සංවිධාන බලවත් රටවල පැත්ත ගෙන ක්‍රියා කිරීම සුදුසු දෙයක් නොවේ. එහෙත් යථාර්ථය ගතහොත් බලවත් රටවල් ජගත් සංවිධාන හසුරුවන බවක් දැක ගත හැකිය. බලවත් රටවල් දේශපාලනය සම්බන්ධයෙන් උපදේශන සේවාවක යෙදෙන අතර, ඒවා නිරීක්ෂණය සඳහා ජගත් සංවිධාන යොමු වී ඇති සැටියක් දැක ගත හැකිය. ඒකීය රාජ්‍යයන් ජන වර්ග අනුව හෝ ආගම් අනුව හෝ බෙදා වෙන් කිරීම අපරාධයක් සේ සලකන්නට පුළුවන. එහෙත් ගෙවී ගිය දශකය තුළ බෙදා වෙන් කිරීම් කිහිපයක් සිදු විය. කොසෝවෝ රාජ්‍යය එක් නිදසුනකි. සුඩානය තවත් නිදසුනකි.

ස්වාධීන රාජ්‍යයක් ජගත් සංවිධානවල පදයට හෝ බලවත් රටවල අණට හෝ කීකරු විය යුතු නැත. රටවල්වල අභ්‍යන්තර අර්බුද හා ගැටුම් විසඳා ගැනීමේ හැකියාව ‍එම රටවල නායකයන්ට තිබිය යුතුය. ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කරන්නට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමත් විය. තිස් වසරක් පුරාවට පැවැති ත්‍රස්තවාදය පරාජය කළේ දේශීය හමුදාව යොදාගෙන මිස සාම සාධක හමුදා ගෙන්වාගෙන නොවේ. රටේ අභ්‍යන්තර ගැටලු අපටම විසඳාගත හැකි බව ශ්‍රී ලංකාව සනාථ කර තිබේ. ජගත් සංවිධානවල උපදේශනවලට අනුව ක්‍රියා කළේ නම් මේ වන විටත් ශ්‍රී ලංකාව දෙකඩ වී හමාරය.

ජනාධිපතිවරයා සිය පදවියේ වැඩ භාර ගනිමින් සිදු කළ වැදගත් ප්‍රකාශයක් මෙහිලා සිහිපත් කිරීම වටී. ඔහු එදා පෙන්වා දුන්නේ ලෝක දේශපාලනයේදී කිසිදු බල කඳවුරක් නියෝජනය කරන්නේ නැති බව හා ස්වතන්ත්‍ර රාජ්‍යයක් ලෙස ක්‍රියා කරන බවය. රටට හානි කර ගිවිසුම් හා අණ පනත් ඉදිරිපත් කරන ඕනෑම ජගත් සංවිධානයකින් ඉවත් වීමට තමන් සූදානම් බව ද ජනාධිපතිවරයා එදා කියා සිටියේය. අදත් ඔහුගේ ස්ථාවරය වී ඇත්තේ එයමය. රාජ්‍ය පාලකයකුට මෙබඳු නිර්භීත ප්‍රකාශ නිකුත් කිරීමට ධෛර්යය තිබිය යුතුය. බලය ද තිබිය යුතුය. සාමාන්‍ය ව්‍යවහාරයට අනුව ගතහොත් නායකයකුට කොන්දක් තිබිය යුතුය.

ජගත් මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට වරින් වර චෝදනා පත්‍ර ඉදිරිපත් කරන්නේ පැරැණි තුවාලයක් නැවත නැවත හාරන්නා සේය. යුද්ධයත්, ත්‍රස්තවාදයත් නිමා කොට රටට සාමය උදා කළ රණවිරුවන් බිල්ලට ගැනීම කොමිසමේ අරමුණක් වී තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකාවට විවිධ බලපෑම් එල්ල කරන බව රහසක් නොවේ. යහපාලන ආණ්ඩුව මේ තත්ත්වය වඩාත් සංකීර්ණ තැනකට ගෙන ගියේ කොමිසමේ මතයට ඕනෑවටත් වඩා හිස නමමින්ය. දුර්වල ආණ්ඩු හා දුර්වල නායකයන් නිසා රාජ්‍යයන්හි ස්වාධීනතාව හා අභිමානය කෙලෙසී යයි. එබඳු රටවල් තුළ ජගත් සංවිධාන රිසි සේ හැසි‍රෙන බව ද දැක ගත හැකිය. ශ්‍රී ලංකාව ‍එවැනි තැනකට පත් විය යුතු නැත.

ජාත්‍යන්තර සබඳතා ඕනෑම රාජ්‍යයක අත්‍යවශ්‍ය දේශපාලන කටයුත්තක් සේ පවතී. බලවත් රටවල් සමඟ හොඳ හිත පවත්වා ගැනීම සේම අසල්වැසි රාජ්‍යයන් සමඟ සමීපව කටයුතු කිරීමත් ඉතා වැදගත් දේශපාලන ක්‍රියාවලියකි. ජේ.ආර්. ජයවර්ධන පාලන සම‍යේ ඉන්දියාව අපේ ගුවන් සීමාව උල්ලංඝනය කරමින් යාපනයට පරිප්පු දැම්මේය. සාම සාධක හමුදාවක් එවා උතුරේ කටයුතු අවුල් කළේය. නැවත 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලහත්කාරයෙන් මෙන් අප මත පැටෙව්වේය. මේ සියල්ල සිදු වූයේ නායකයන්ගේ දුර්වලතා නිසා යැයි සිතන්නට පුළුවන. නායකයන් විශ්වාසවන්ත ජාත්‍යන්තර සබඳතා ගොඩනැඟීමට උත්සුක වීම වඩාත් වැදගත්ය.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රටක හා ජාතියක අභිමානය තබා ගනිමින් ජාත්‍යන්තර සබඳතා පවත්වාගෙන යා යුතු බවය. බලවත් රාජ්‍යයන් ඉදිරියේ දීනවීමට හෝ ජගත් සංවිධාන ඉදිරියේ දණින් වැටීමට හෝ අවශ්‍යතාවක් අපට නැත. ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන්ම අභිමානවත් රාජ්‍යයෙකි. එය ඉදිරියටත් පැවැතිය යුතුය.

නව අදහස දක්වන්න