රටවල්වල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරනවා | දිනමිණ

රටවල්වල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරනවා

වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතීන්ගේ එක්දින සමුළුවේදී ජනපති කියයි

එක් එක් රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන බව වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ලෝකය පොදු හා අසමාන තර්ජනයකට මුහුණ පා සිටින බව පෙන්වා දෙන ජනාධිපතිවරයා “අපට අවශ්‍ය එක්සත් ජාතීන්” (United Nation We Need) යන පාඨය රාජ්‍යයන්ගේ ස්වෛරි සමානාත්මතාවට සහ භෞමික අඛණ්ඩතාවට දක්වන ගෞරවය නිසි අවධානයට ලක් කරනු ඇතැයි තමා විශ්වාස කරන බවද කියා සිටී.

සුළු පිරිසකගේ අවශ්‍යතාවට කිසිදු රටක් ප්‍රාණ ඇපයට නොගැනීමෙන්, සාමාජික රටවල් සහ එක්සත් ජාතීන් අතර හවුල්කාරිත්වය මෙන්ම එක්සත් ජාතීන්ගේ තිරසර පැවැත්ම උපරිමයෙන් සාක්ෂාත් කරගත හැකි බව පෙන්වා දී තිබෙන ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 වසරේ ජුනි මාසයේ දී එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් අතර වූ එකඟතාව අනුව එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සරයට සමගාමීව ඉහළ පෙළේ එක්දින සමුළුව පෙරේදා (21) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී‍ 7.45ට නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කේන්ද්‍ර කර ගනිමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ආරම්භ කෙරිණ.

එහිදී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී‍ 9.45ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව ඇමතීය. මහා මණ්ඩල සැසිවාරයේ සභාපති වොල්කන් බොස්කීර් (Volkan Bozkır) සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුතේරස් මහත්වරු 75 වන සමුළුවේ පළමු සහ දෙවන ප්‍රකාශ ඉදිරිපත් කළ අතර රාජ්‍ය නායකයෝ 180 දෙනෙක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමතූහ.

කොවිඩ් -19 වසංගතය රටවල ආර්ථිකය, සෞඛ්‍ය පද්ධති අඩපණ කරමින් ලෝකය පීඩාවට පත්කර ඇති අතර දැනුවත් මැදිහත්වීමක් මගින් කොවිඩ්- 19 අභියෝගයට සාර්ථකව මුහුණදීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය. ශ්‍රී ලංකාව පළමු රෝගියා හඳුනා ගැනීමටත් පෙර කොවිඩ් නිවාරණ ජාතික ක්‍රියාකාරී කමිටුව පත්කළ බව සිහිපත් කළ ජනාධිපතිවරයා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සහ ජාතික හා ප්‍රාදේශීය මට්ටමේ සිවිල් අධිකාරිය එම සංයුතියට ඇතුළත් වූ බවද ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 රෝගින්ගේ සුවවීමේ අනුපාතය සියයට 90 ඉක්මවන බවද කීය.

එය ගෝලීය සුවවීමේ අනුපාතයට ඉහළ අගයක් බව පෙන්වා දුන් ඒ මහතා “සොයා ගැනීම හා නිරෝධායනය” සාර්ථකත්වයට පිටිවහලක් වූ ප්‍රබලතම ශක්තිය බව සඳහන් කළේය. ගත වූ මාසයකට වැඩි කාලයක් ඇතුළත කිසිදු කොවිඩ් ආසාධිතයකු රටෙන් වාර්තා වී නැතැයි ද ජනාධිපතිවරයා කීය.

“ධරණීය සංවර්ධන න්‍යාය පත්‍රය 2030” සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව කැප වී සිටින අතර කෘෂිකර්මික පදනමක් සහිත නිෂ්පාදන ආර්ථිකයකින් දරිද්‍රතාව පිටුදැකීම තම රජයේ ප්‍රධාන අභිමතාර්ථය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආනයන මත අර්ධ සීමා පැනවීම හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීම වසර මුලදී දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනයට රජය ගත් ක්‍රියාමාර්ග කීපයක් වූ අතර එමගින් අපේක්ෂිත ප්‍රතිලාභ අත්කර ගැනීමට හැකි වූ බවද කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශක්තිමත් කිරීමට ගනු ලබන ප්‍රයත්න එහි සාමාජිකයකු වන අපගේ අනාගතය සහතික කිරීම පිණිස ඉවහල් වනු ඇතැයි ද ඒ මහතා විශ්වාසය පළ කළේය.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න