පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා රැකීම වෙළෙඳ භාණ්ඩ බදු පනතේ අරමුණයි ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන | දිනමිණ


 

පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා රැකීම වෙළෙඳ භාණ්ඩ බදු පනතේ අරමුණයි ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

  • රටට හතුරු සංශෝධන ගේන්නේ නෑ රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ
  • එජාපය රටේ  ප්‍රජාතන්ත්‍රවාදය නැති කළා රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ
  • 20 ඉල්ලන මන්ත්‍රීවරු කවදා හරි දුක් වේවි විජිත හේරත්
  • යහපත් රාජ්‍ය පාලනයකට 19 රැකිය යුතුයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
  • 19 අඩුපාඩුවලින් පාස්කු ප්‍රහාරය සිදු වුණා ප්‍රේමනාත් සී දොළවත්ත

පාරිභෝගිකයා හා නිෂ්පාදකයා යන දෙදෙනාම ආරක්ෂා කිරීම විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ අපේක්ෂා කරන බව වෙළෙඳ ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවසීය.

ගොවියාට වඩාත් ආරක්ෂිත වෙළෙඳපොළක් ලැබී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ බව පැවැසූ ඇමැතිවරයා මේ අණ පනත් මගින් දේශීය ගොවියා සහ පාරිභෝගිකයා සේම විදේශ විනිමයත් ආරක්ෂා වන බව කීවේය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පෙරවරු 10. 00ට පාර්ලිමේන්තුව රැස් විය. දිනට නියමිත යෝජනා, නිවේදන දැනුම් දීමෙන් පසු දිනට නියමිත කටයුතු ආරම්භ විය.

මුදල් පනත යටතේ නියෝග 07ක්, විදේශ විනිමය පනත යටතේ නියෝග 05ක්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 31ක්,

මුදල් පනත යටතේ නියෝග 07ක්, විදේශ විනිමය පනත යටතේ නියෝග 05ක්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 31ක් ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණි.

ඇමැති බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

රටක මුදල් සම්බන්ධ අයිතිය තිබෙන්නේ මේ සභාවට. එම සභාව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම එයට විරුද්ධ වෙනව නම් එහි නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ කරගෙන යන දෙයින් සිදුවන්නේ අපේ පාර්ලිමේන්තුවට කැලලක් ඇති වීමක් පමණයි. මෙතන ඉන්න ද්‍රවිඩ මන්ත්‍රීවරුන්ට අපි ගෞරව කරනවා. කුමන මතවාද, මත භේද ආණ්ඩු පක්ෂයත් එක්ක තිබුණත් ඔවුන් පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් ඉතා විනයවත් ලෙස හැසිරෙනවා. එය අනෙක් අයට හොඳ ආදර්ශයක්. මහජනතාව බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුව තුළ මේ මුදල් පනත් ගැන ප්‍රබුද්ධ විවාදයක් දැකීම. පසුගිය රජය විසින් දිගින් දිගටම කළේ ජනතාව පෙළීම පමණයි. ඒ වගේම මේ පනත යටතේ අපිට ගොවියා ආරක්ෂා කරන්න හැකි වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ පළමු වතාවට ගොවියාට ආරක්ෂිත වෙළෙඳපොළක් නිර්මාණය වී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේයි.

සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂ්ද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා- විසි වැනි සංශෝධනය ආපසු හරවන්න ඉඩක් නැහැ. රටට හතුරු වන කිසිදු සංශෝධනයක් ගෙන එන්නේ නැහැ. ඒ වගේම මහජන මුදල් වැය කරන පාර්ලිමේන්තුවේ කටයුතු අඩපණ කිරීමට විපක්ෂයේ විරෝධතාවලට ඉඩ තබන්නේ නැහැ.19වැනි සංශෝධනය අහෝසි කර මේ රටට අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. රජයට ලැබුණු ජනවරම යටපත් කිරීමට ඉඩ ලබා දෙන්නේ නැහැ. මහජනතාව ගෝඨාභය රාජපක්ෂ රජයට දුන් ජනවරමට අඹමල් රේණුවක වැරැද්දක් වීමට ඉඩ දෙන්නේ නැහැ.

එදා පාර්ලිමේන්තුව අණ පනත් සංශෝධනය කළ හැටි දැක්කා. ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ ආකාරය දැක්කා. මුදල් පනත් අප ගෙන එන්නේ ජනතා යහපතටයි. කොවිඩ් වසංගතයෙන් පසුවත් ජනතාවට සහන දුන්නා. අපි මේ රටට හතුරු වන සංශෝධන ගෙන එන්නේ නෑ.

කෘෂිකර්ම රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා- මේ පනත් සංශෝධනය ගෙනා පමණින් සම්මත කර ගන්නේ නැහැ. බලහත්කාරයෙන් මෙය සම්මත කර ගන්න අවශ්‍ය නැහැ. ඒ බව ඔබලා තේරුම් ගන්න. මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු සතියක් යන තුරු විරෝධතා ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම තිබියදී මේ විදියට හැසිරීම වැරැදියි. විපක්ෂ නායකවරයාට කුමක්ද අද වෙලා තිබෙන්නේ. අන්ත පරාජයක් ලැබුවා. වත්මන් ආණ්ඩුව ඉහළම ජයග්‍රහණයක් ලැබුවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කළ පක්ෂයක් තමයි එක්සත් ජාතික පක්ෂය. පළාත් සභා ඇතුළු මැතිවරණ කල් දමමින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය නැති කළා.

කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා- තමන්ට කැමරාව ලබාදෙන්න කියලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කළා. විජමු ලොකුබණ්ඩාර මහතාගේ කාලයේ ගත් තීරණයක් තමයි කිසියම් ගැටලුවක් සභා ගැබ තුළ ඇති වුවහොත් කැමරාව යොමු විය යුත්තේ කතානායකවරයා දෙසට හෝ සෙංකෝලය දෙසට බව.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා- මුදලට, වරප්‍රසාදවලට ආසාවෙන් කටයුතු කරන අය සමඟි ජනබලවේගය තුළ නැහැ කියලා මම කියනවා. මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට, රාජ්‍ය මූල්‍යයට මරු පහරක් එල්ල කරන යෝජනා විසි වැනි සංශෝධනයේ තිබෙනවා. මැතිවරණ ප්‍රචණ්ඩතාව පසුගිය කාලයේ තිබුණේ නැහැ. මැතිවරණ කොමිෂන් සභාව පැවැති නිසා තමයි එසේ සිදු වුණේ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ස්වාධීන කොමිෂන් පැවැති නිසා වැරදි දේ සිදු වුණේ නැහැ. තනි බලයක් ලබා දීම 19න් අපි ප්‍රතික්ෂේප කර තිබෙනවා. සංවරණ හා තුලන බලයක් සහිත ව්‍යවස්ථාවක් ගෙනා යුතුයි. යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා නිර්මාණය කළ 19 රැක ගැනීමට අපි කටයුතු කරනවා.

විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා- විපක්ෂ නායකවරයා කිවුවා විස්ස ගැන සාකච්ඡා කරමු කියලා. එදා 19 ගේන විට අපිට සිටියේ 42යි. විපක්ෂයේ ඔබලා සහාය දුන්න නිසා තමයි 19 අපට සම්මත කර ගන්න හැකි වුණේ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා. (ස.ජ.බ)- පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ බෑගය පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් ඒ. එස්. පී. මහත්මයකුට මාරු වීමක් ලබා දී තිබෙනවා. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න. මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ගේන දේ ගැන පරීක්ෂා කරන්න බැරිද?

කතානායකවරයා- ඒ. එස්. පී. මහතා මාරු කිරීමට හේතු වී තිබෙන්නේ විනය පිළිබඳ ප්‍රශ්නයක්. මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ගේන දේ ගැන පරීක්ෂා කරන්න පුළුවන්.

නි‍යෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා මුලසුනට පැමිණියේය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ මහතා. (පො.ජ.පෙ)- විසි වැනි සංශෝධනය කාලෝචිත දෙයක්. ඒ සඳහා අපි සහාය දිය යුතුයි.

මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියන් මහතා (දෙ.ජා.ස)- මඩකලපුවේ ජාතිවාදය වැපිරවීම සඳහා කටයුතු නොකළ යුතුයි. රජයේ සේවය ආරක්ෂා කරමින් හැමදෙනාම කටයුතු කළ යුතුයි. ඕනෑම ආගමකම පූජකවරයකුට අපි ගරු කළ යුතුයි.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය- විසි වැනි සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂය අද උදේ විශාල කලබැගෑනියක් කිරීම ගැන කනගාටු වෙනවා. පිටරටින් ගේන වාණිජ්‍ය විත්‍රපට සම්බන්ධයෙන් බද්දක් ඇති කළා. විදේශ ටෙලිනාට්‍ය චිත්‍රපට ශ්‍රී ලංකාව තුළ හඳුන්වාදිය යුතුයි. දරුවන්ගේ ආකල්ප අනුව යහපත් දේ රට තුළම නිර්මාණය කළ යුතුයි. මෙරට සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතුයි. දරුවන්ගේ ගුණධර්ම හැඳියාවට අප උදව් කළ යුතුයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා (ජා.ජ.බ)- 77 දී ජේ. ආර්. ජයවර්ධන මහත්මයා විසින් ලොව පුරා ඇති වුණ නව ලිබරල්වාදය අපේ රටට බලෙන් ඇතුළු කරන්න කටයුතු කළා. එදා සිට පත් වුණ සෑම ජනාධිපතිවරයකුම තමන්ගේ බලය පවත්වා ගෙන යන්න ජේ. ආර්. ජයවර්ධන මහත්මයගේ ව්‍යවස්ථාව යොදා ගත්තා. අද 20 ඕනේ 20 ඕනේ කියන මන්ත්‍රීවරුම කවදා හරි දුක් වේවි එදා මොකද කළේ කියලා. ඒ අනුව බලද්දී පේන එක දෙයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ මළ ගම තමයි අද ඉදිරිපත් කරනවා අප දැක්කේ.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා. (පො.ජ.පෙ)- අද මෙතන මුදල් පනත ගැන කතා කරන්න ගත්තම විපක්ෂය විසින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් අල්ලගෙන බොරු රඟපෑමක් කළා.

පත් කළ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා (ස.ජ.බ)- 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දවසේ කතා කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. මොකඳ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ගෙන එන එම සංශෝධනයට සමඟි ජන බලවේගය ලෙස අප සම්පූර්ණ විරුද්ධත්වය පළ කර සිටිනවා. ඒ ගැන ඉදිරියේ දී වැඩිදුරටත් කතා කරන්න අප සූදානමින් ඉන්නවා. මේ ආණ්ඩුව බලයට පත් වුණ මොහොතේ සියයට 20ක් තිබුණ වැට් බද්ද සියයට 08 දක්වා අඩු කළා.

පත් කළ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා (පො.ජ.පෙ)- අද මෙතන විවාදය වුණේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන නෙවෙයි. මුදල් පනත් ගැනයි. එහෙත් බංකොළොත් විපක්ෂය 20ක් අල්ලගෙන මේ පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කළා. හැබැයි අපි එක දෙයක් විපක්ෂයට කියන්න ඕනේ පසුගිය කාලයේ සහමුලින්ම ප්‍රජාතන්ත්‍රවාදය නැති කරලා අද ප්‍රජාතවාදය ගැන කතා කරනවා.

යාපන දිස්ත්‍රික් මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතා (දෙ. ජ.ජා.පෙ)- එක්සත් ජාතික පක්ෂය බලයේ ඉද්දී ඒ අයට බැරි වුණා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. 18 වැනි 19 වැනි වගේ 20 වැනි සංශෝධනයෙන්වත් මම හිතන්නේ නැහැ අපේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කටයුතු කරාවි කියලා.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා (පො.ජ.පෙ)- අද මුදල් පනත් ගැන විවාදය කරන්න තියෙද්දී 20 සභාගත කළාම ඊට ඇවිස්සුණු විපක්ෂය බොරු රඟපෑමක් කළා. එදා ලාම්පු කලගෙඩි සෙල්ලමෙන් ගෙනාව ජේ. ආර්. ගේ ව්‍යවස්ථාවට අද කෑ ගසන ජනතා විමුක්ති පෙරමුණ පවා සහයෝගය දුන්නා. මේ 20 වැනි සංශෝධනය වැරැදි නම් දැන් උසාවියට යන්න අයිතිය තිබෙනවා. එහෙම නැතුව බොරුවට කෑ ගහලා ඵලක් වෙන්නේ නැහැ.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා (ජා.ස.බ)- මේ රටේ ජනතාවගේ ජන ජීවිතය වගේම ආර්ථිකය ආරක්ෂා කරන්න වත්මන් රජයට බැරි වෙලා තිබෙනවා. අද අපේ රටට එන සංචාරකයන් අඩු වෙලා. ඒ නිසා එයින් යැපෙන බොහෝ පිරිසක් අසරණ තත්ත්වයට පත්වෙලා තිබෙනවා. ඒ වගේම පිටරටට වෙලා අපේ රටට මුදල් එවන විශාල ජනතාවක් කර කියා ගන්න දෙයක් නැතුව අසරණ වෙලා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා (පො.ජ.පෙ)- මීට පෙර කතා කළ දෙමළ ජාතික මන්ත්‍රීවරයා කිවුවා අම්පිටියේ හාමුදුරුවෝ අත්අඩංගුවට ගන්න කියලා. එතුමා කළ එම ප්‍රකාශයට අප දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කර සිටිනවා. අද සමහරු කලබල වෙලා මේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ලක් කිරීම ගැන.

නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා මුලසුනට පැමිණියේය.

පත් කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා (ජා.ස.බ)- මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය නිසා ආර්ථිකය කඩා වැටිලා. විරැකියාව වැඩි වෙලා. දවසින් දවස රැකියාව නැති වෙමින් යනවා. තෙල් මිල අඩු වෙලා. එහි කිසිම වාසියක් ජනතාවට ලැබී නැහැ.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා (පො.ජ. පෙ.)- ඩොලර් කෝටි 7,000ක ණය යහපාලන ආණ්ඩුව ඇවිත් දෙගුණ කළා. දැන් එය ගෙවන්න පවා වෙලා තිබෙන්නේ අපේ ආණ්ඩුවටයි. පසු ගිය ආණ්ඩුව ඉහළ බදු අය කරන්න කටයුතු කළ නිසා ආයතන රැසක් කඩා වැටුණා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ( ස.ජ.බ)- අපි මේ පාර්ලිමෙන්තුවට එනකොට අඳින්න ඇඳුමක් තිබෙනවා. ඒ ගැන අපි සියලු දෙනා සැලකිල්ලක් දැක්විය යුතුයි. එහෙම නැතුව මම මෙතෙන ජාතිවාදයක් ගැන කතා කරනවා නෙවෙයි. කාටත් එක නීතියක් තිබෙන්න ඕන. මොකද මෙය පකිස්තාන, ඇෆ්ගනිස්ථාන පාර්ලිමේන්තුවක් නෙවෙයි. මෙය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවයි කියන එක හැමෝම මතක තියා ගත යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී, ආචාර්ය හර්ෂද සිල්වා මහතා (ස.ජ.බ)- මෙතන ඉන්න ආණ්ඩුවේ කට්ටිය බදු ගැන සුරංගනා කතා කියනවා. ඒ අය එහෙම කිවුවට බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කියනවා සහල් ගෙන්වන්න වෙනවා කියලා. මෙය ඔබගේ ප්‍රතිපත්තියට විරුද්ධ නැද්ද. රූපවාහිනියට ඇවිත් සුරංගනා කතා කියලා මිනිස්සු රවට්ටන්න බැහැ.

පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගීකරණ රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා- අපේ ආණ්ඩුවේ ආර්ථිකය ගැන කතා කළ ආර්ථික ඔස්තාර් කෙනෙක් වුණ හර්ෂද සිල්වා මහත්මයලා ආර්ථිකය නංවපු නිසා තමයි ගෙදර යන්න වුණේ. එතුමගේ වාසනාවට තමයි එතුමා බේරුණේ. මේ ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුයි. නැත්නම් දුප්පත් පුද්ගලයකුට කවදාවත් පාර්ලිමේන්තුවට එන්න ලැබෙන්නේ නැහැ.

මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී කොවින්දන් කරුණාකරම් මහතා (දෙ.ජා.ස)- මඩකලපුවේ අම්පිටිය සුමනතිස්ස ස්වාමීන් වහන්සේ ඉතා කලහාරීකාරී ලෙස හැසිරෙමින් ඉන්නවා. උන්වහන්සේ පිට පළාත්වලින් පුද්ගලයන් ගෙන විත් බලෙන් පදිංචි කරමින් ඉන්නවා. ඊට එරෙහි වුණ පොලිස් නිලධාරීන්ට, ක්‍රිස්තියානි පූජකවරුන්ටත් පහර දෙන්න උත්සාහ කළා. අපි එක ස්වාමීන්වහන්සේ කෙනෙක් ගැනයි කතා කරන්නේ. එම ප්‍රදේශයේ තවත් ස්වාමීන්වහන්සේලා ඉන්නවා. අපි ඒ ස්වාමීන්වහන්සේලා ගැන කතා කළේ නැහැ. මේ තත්ත්වය දිගින් දිගට මඩකලපුවේ ජනතාව බලන් ඉන්නේ නැහැ.

වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදි කිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති වීමලරවීර දිසානායක මහතා- මේ මන්ත්‍රීවරයා දිගින් දිගට ස්වාමීන්වහන්සේට අපහාස කරනවා. මෙතුමට ඒ දේවල් ඔප්පු කළ හැකිද. වහාම මේ කතාව නතර කරලා විෂයට අදාළව කතා කරන්න කියන්න.

ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා- මේ මන්ත්‍රීවරයා දිගින් දිගට ස්වාමීන් වහන්සේ නමක් ගැන කතා කරනවා. එය වැරැදියි. මෙතුමා වෙනත් ජාතියක්, ආගමක් නියෝජනය කරන්නේ. මමත් එහෙමයි. ඒත් මේ බෞද්ධ රටක්. මෙය ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

පත් කළ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා. (පො.ජ.පෙ)- මෙතුමාට එහෙම මෙතන නැති ස්වාමීන්වහන්සේ නමක් ගැන කතා කරන්න අයිතියක් නැහැ. ඔබතුමා මෙය වහාම නතර කරන්න. මේ කතාව හැන්සාඩ්වලින් ඉවත් කරන්න කියා අපි ඉල්ලා සිටිනවා.

පත් කළ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා (පො.ජ.පෙ)- කර්තෘභාගය වෙනුවෙන් යම් බදු අය කිරීමක් සිදු කරනවා. මේ බදු ඉවත් කරන්න කියා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම චිත්‍රපට නිෂ්පාදකවරුන්ටත් ඒ ප්‍රශ්නය තිබෙනවා. මේ ආර්ථිකය කඩා වැටුණේ පසු ගිය ආණ්ඩුවේ දැඩි බදු ප්‍රතිපත්තිය නිසා. ඒ වගේම වෙළෙඳ ගිවිසුම් ගහගෙන ඒ රටවලට අවශ්‍ය විදියට කටයුතු කළා.

කුරුණෑගල දිස්ත්‍රික්ක මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා (ස.ජ.බ)- මේ 20 වැනි සංශෝධනය කියන්නේ 19 වැනි සංශෝධනය අහෝසි කරලා නැවත 18 ගේනවා කියන එකයි. 13 මොකක්ද, 18 මොකක් ද, 20 මොකක්ද කරන්නේ කියලා දන්නේ නැති මේ අලුත් පිරිස සභා මැදට ඇවිත් පොඩි විනෝදයක් ලැබුවා. මේ රටේ විගණන පනතක් අවශ්‍ය නැද්ද, මේ 20 ඕන ඕන කියන අයගෙන් මම අහන්නේ නිසි විගණන ප්‍රතිපත්තියක් අවශ්‍ය නැද්ද. ප්‍රසම්පාදනය ගැන විනිවිදභාවයක් අවශ්‍ය නැද්ද. මේකෙන් කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ කියන එකයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතා (පො.ජ.පෙ)- සමහරු රජකාලේ සිද්ධි ගැන කතා කරනවා. හැබැයි රාජපක්ෂ පවුලේ ඇතුළේ රජකාලේ දේවල් වෙන්නේ නැහැ. අද රාජපක්ෂවරු ගැන කතා කරන බොහෝ දෙනෙක් ඔවුන්ට එරෙහිව බොරු නඩු දාද්දී ඒ ගැන කතා කළේ නැහැ. 20 වැනි සංශෝධනය ගෙන්නේ 19 වැනි සංශෝධනයේ තිබෙන අඩුපාඩු වැරැදි හදලා රටට ගැළපෙන එකක් ගේන්න. තව එක් දෙයක් කියනවා මේ අලුත් අයට මස් කට්ටක් කියලා. විපක්ෂයේ අය මේ ගැන නොදැන කතා කළාට අපි හොඳ අවබෝධයෙන් තමයි කතා කරන්නේ. ආණ්ඩුවක් ගෙන ව්‍යවස්ථාව සියයට සියයක් හරි වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අඩුපාඩු සකස් කරගෙන ඉදිරියට යන්න කටයුතු කළේ. අනෙක මෙය ඕපපාතික නැහැ. මෙය හොඳ අධ්‍යයනයක් කරලා තමයි ගෙනැවිත් තිබෙන්නේ. 19 වැනි ව්‍යවස්ථාවේ අඩුපාඩු නිසා තමයි පාස්කු ප්‍රහාරය එල්ල වෙන්නේ. එම නිසා මම විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා මේ සඳහා සක්‍රීයව දායක වෙන්න කියලා. මේ ටයර් එකට විසි වතාවක් පැච් දාල තිබෙන්නේ. තව තවත් මේ සඳහා පැච් දාල ඵලක් වෙන්නේ නැහැ.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා (ස.ජ.බ)- මේ රටේ හැමදාම පවතින බදු ප්‍රතිපත්තියක් හා ව්‍යවස්ථාවක් අවශ්‍යයයි. එහෙම නැතුව ආණ්ඩුවක් පත්වෙන කොට ඒ ඒ ආණ්ඩුවට අවශ්‍ය විදියට මෙය වෙනස් වීම නතර කළ යුතුයි.

දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නාලක කොට්ටේගොඩ මහතා (පො.ජ.පෙ)- මේ අය කියනවා නවක මන්ත්‍රීවරු මස් කට්ටක් පස්සේ යනවා කියලා. අපි කවදාවත් මස් කටු පස්සේ ගියේ නැහැ. ජනතාව අපිව පාර්ලිමේන්තුවට එවුවේ මේ ව්‍යවස්ථාව වෙනස් කරලා රටට ගැළපෙන ව්‍යවස්ථාවක් හදන්නයි. පාස්කු ප්‍රහාරය, මහ බැංකු හොර අල්ල ගන්න බැරි වුණේ මේ 19 වැනි ව්‍යවස්ථාව නිසයි. යහපාලන ආණ්ඩුව තිබුණ නම් අද කොරෝනා වසංගතයෙන් අපේ රට විනාශ වෙලා. එම නිසා අපි ඉල්ලනවා බොරු බිල්ලෝ මවන්නේ නැතුව ඇත්තට මුහුණ දෙන්න කියලා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (ස.ජ.බ)- පාස්කු ප්‍රහාරය ගැන කතා කරනවා. හැබැයි පාස්කු ප්‍රහාරයට අඟිල්ල දික්වෙන හිටපු ජනාධිපතිවරයා අද ඉන්නේ ඔබේ පැත්තේ මුල් පේළියේ. එතුමා ඒ ප්‍රහාරය දැනගෙන රට ගියා කියලත් කතාවක් යනවා. එම නිසා ඔබතුමන්ලා ඒ ගැන කතා කරන්න කලින් කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් හොඳට බලන්න කියලා ඉල්ලනවා. මේ ආණ්ඩුව බලයට එන්න කලින් විශාල සහන ගැන කතා කළා. හාල් කීයද, පොල් මිල කීයද, පොල්තෙල් මිල ඉහළ ගිහින්. මේ විදිහට අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළ ගිහින්. පෞද්ගලික අංශයේ සියයට 50යි පඩි ගෙවන්නේ. රැකියා ලක්ෂ ගණන් නැති වෙලා. කොහොමද මේ රටේ ජනතාව ජීවත් වෙන්නේ. ඒකයි මම කිවුවේ මේ රජය කිසිදු සහනයක් දීලා නැහැ කියලා.

පත් කළ මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් මහතා (පො.ජ.පෙ.)- 20 වැනි සංශෝධනය ගැන විවිධ අදහස් පළ වුණා. ඒ ගැන මම දැන් කතා කරන්න කැමැති නැහැ. අනෙක් කාරණය තමයි මෙතන කියවුණා අපි සහන දුන්නට ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ කියලා. අපේ රජය බලයට පත් වුණාම මේ රටේ ආර්ථිකයට වෙලා තිබුණ දේ ගැන මුලින්ම අධ්‍යයනයක් කළා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුලසුනට පැමිණියේය.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා-නව රජය විසින් ලබා දී ඇති සහන ගැන විස්තර කළ යුතුයි. ජාතිය ගොඩනැඟීමේ බද්ද ඉවත් කළා. විත් හෝල්ඩින් ටැක්ස් ඉවත් කළා. විවිධ ආයතන ගෙවා සිටි බදු රැසක් බොහෝ දුරට අඩු කළා. අපනයන, ඉදි කිරීම් ක්ෂේත්‍රවල බදු සියයට 14 දක්වා අඩු කළා. උපයන බද්ද රුපියල් මිලියන තුන දක්වා අය කළේ නැහැ. එවැනි බදු සහන රැසක් දුන්නා. බදු සහනත්, පොලී සහනත් ලබාදී තිබෙනවා. පොලී අනුපාතයෙන් විශාල සහනයක් ජනතාවට ලැබෙනවා. කොවිඩ් වසංගතය කාලයේ රුපියල් 5,000ක සහනයක් දෙවතාවක් රටේ ජනතාවට දුන්නා. මේවා සහන ලෙස කියන්නට සමහරු අකමැති වුවත් ඒවා සහන බව කිව යුතුයි. කොවිඩ් කාලයේ සංචාරක ක්ෂේත්‍රයේ ආයතන නොවසා තැබීමට අපට හැකි වුණා. ණය විරාම ඇතැම් ආයතනවලට ලබාදී තිබෙනවා. ණය ගත් පුද්ගලයන් වෙත තව මාස හයක් පමණ කාලයක් තුළ ණය ගෙවීමට අවකාශයක් ලබාදෙන ලෙස බැංකුවලින් අපි ඉල්ලීමක් කරනවා. ලීසිං මුදල කලින් ගෙවා අවසන් කරන්න හිතනවා නම් ලීසිං පහසුකම් ගත් ආයතන ඒ පුද්ගලයන්ට එම අවස්ථාව දිය යුතුයි. එවැනි දේ මඟින් රටේ ආර්ථිකයේ නැවත පිබිඳීමක් ඇති කර ගත හැකියි.

පාර්ලිමේන්තුව අද (23) පෙරවරු 10. 00ට යළි රැස් වේ.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න