ගෙවතු විසි හතර ලක්ෂයක් වගා කිරීමට රජය තීරණය කරයි | දිනමිණ

ගෙවතු විසි හතර ලක්ෂයක් වගා කිරීමට රජය තීරණය කරයි

රටේ ජාතික ආර්ථිකය සවිමත් කිරීම සඳහා දේශීය නිෂ්පාදන දිරිමත් කරමින් ජාතික ගෙවතු වගා වැඩසටහන යටතේ රටපුරා ගෙවතු විසි හතර ලක්ෂයක්(2,400,000) වගා කිරීමට රජය තීරණය කරයි.

ඒ අනුව ජාතික ගෙවතු වගා වැඩසටහන යටතේ රටපුරා ගෙවතු විසිහතර ලක්ෂයක් බෝග වගාවන්ට හා සත්ත්ව පාලනයට යොමුකරන බව ආර්ථික පුනර්ජිවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

මෙම ගෙවතු වගා වැඩසටහනට සම්බන්ධ වන රජයේ ආයතන නිලධාරීන් සමඟ ඊයේ(22) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක් වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවැසීය.

ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක් යන සංකල්පය යථාර්ථයක් බවට පත්කිරීමට ආර්ථික, සමාජයීය හා පාරිසරික සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීම අරමුණු කරගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර මහා පරිමාණ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන අතරතුර ගෘහ ආර්ථීකය දියුණු කිරීමට ප්‍රමුඛතාව දෙමින් මෙම මහ කන්නයේ දී ජාතික වගා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබේ.

ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, කෘෂී පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී, ආර්ථික නිලධාරී සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී යන ග්‍රාමීය නිලධාරීන් හරහා මේ වනවිටත් ගෙවතු හඳුනාගැනීම ආරම්භ කර ඇති අතර ජාතික මට්ටමින්, පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින්, ප්‍රාදේශීය මට්ටමින් හා ග්‍රාමීය මට්ටමින් කමිටු පහක් යටතේ මෙම ගෙවතු අධීක්ෂණය සිදුකෙරෙයි.

එළවළු, පලතුරු, ඵලා සහ කැඳ වර්ග සකසන බෝග, කුළුබඩු සකසන පැළවර්ග, ඔසු පැළ, අපනයන කෘෂි බෝග, දැවමය ශාක ආදී සෑම වර්ගයකම පැළ වර්ග මේ යටතේ තෝරාගත් ගෙවතු සඳහා ලබාදෙන අතර ඒ ඒ ප්‍රදේශවලට උචිත, වැඩි ඵලදාවක් ලබාගත හැකි ශාක වර්ගවලට ප්‍රමුඛතාව ලබාදෙයි. එමෙන්ම ගෘහස්ත කුකුළු පාලනය, එළුවන් පාලනය, මිරිදිය වැව්, වතු ජලාශ හා ගෙවත්තේ මඩ පොකුණුවල මත්ස්‍ය වගාවට පහසුකම් සැපයීම, ගෘහස්ත කිරි කර්මාන්තය දියුණු කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කෙරේ.

මැදපෙරදිග රැකියා සඳහා කාන්තාවන් යොමුවීම වළක්වමින් පවුලේ ආර්ථීකයට කාන්තාවට දායකත්වයක් සැපයිය හැකි ආකාරයේ ආර්ථික තත්ත්වයක් ගොඩ නැංවීම මඟින් සාමාජයීය වශයෙන් ඇතිවන ප්‍රශ්න සඳහා විසදුම් ලබා ගතහැකි ආකාරයෙන් කාන්තාව සවිමත් කිරීම ද මෙමඟින් බලාපොරොත්තු වේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා,

සෑම අවස්ථාවකදීම පරිසරය රැක ගැනීමට ප්‍රමුඛතාව දිය යුතුයි. පරිසරය රැක ගැනීම ගෙවත්තෙන් අරඹමු. ඒ සඳහා ගෙවතු වගා වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී අපි සියලු දෙනාගේ අවධානය යොමු කරන්න අවශ්‍යයි. පරිසරයට හිතකර, පස සංරක්ෂණය කරන ශාක වර්ගවලට ප්‍රමුඛතාව දෙන අතරේ ජල මූලාශ්‍ර ආරක්ෂා කර ගන්නත් අවශ්‍යයි. ප්ලාස්ටික් භාවිතයෙන් බැහැර වෙමින් ඩෙංගු වැනි රෝගවලින් ආරක්ෂා වීමට පරිසරයේ පිරිසිදුකම ගැනත් අවධානය යොමු කිරීම වැදගත්. මේ සියලුම දේවල් අපි අපේ ගෙවත්තෙන්ම අරඹමු. ඒ සඳහා පරිසරය පිළිබඳ කටයුතු කරන ආයතන හා සංවිධානවල සහාය අවශ්‍යයි.

මේ වැඩපිළිවෙළ ඉදිරියට යාමේ දී ගෘහ පරිභෝජනයෙන් පසුව අතිරික්තය ග්‍රාමීය වෙළෙඳ පොළ තුළට යොමු කිරීම හරහා නිවසේ ආර්ථිකයට දායකත්වයක් දැක්වීමේ හැකියාව ලැබෙනවා. ගෘහස්ථ නිෂ්පාදන වෙළෙද පොළට නිකුත්වන විට වෙළෙඳ පොළේ ආහාර ද්‍රව්‍ය මිල පාලනයක් සිදුවෙනවා. අතරමැදියෝ නැතිව ගමේ නිෂ්පාදන ගම තුළම විකිණීම මඟින් ආදායම් ඉපයීමක් සිදුවෙනවා. වස විසෙන් තොර ගමේ නිෂ්පාදනවලට හොඳ ඉල්ලුමක් තියෙනවා. මේ හරහා විශාල වශයෙන් ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කළ හැකි නිෂ්පාදකයන්ට අපනයනය සඳහා අවස්ථාව හිමිවෙනවා.

මෙම අවස්ථාවට අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න