20 ට එරෙහිව සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු කළු පටි බැඳ විරෝධය පාති | දිනමිණ

20 ට එරෙහිව සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු කළු පටි බැඳ විරෝධය පාති

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (22) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී සමඟි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම කළු පටි පැලඳ විරෝධය පළ කෙළේය.

විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ ඇමති අලි සබ්රි මහතා ඉදිරිපත් කිරීමත් සමඟ නැගී සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ' අද දින ප්‍රජාතන්ත්‍රවාදයේ අඳුරුතම දිනය යැයි' සඳහන් කරමින් අදහස් දක්වන්නට විය‍.

ඒ සමඟ නැගී සිටි සමඟි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම කළුපටි පැළැඳ කළු පැහැති පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාව දක්වන්නට විය. සිය කණ්ඩායමේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට අදහස් දක්වන්නට පවා ඉඩ ලබා නොදෙමින් එම මන්ත්‍රීවරු 'විස්ස මාරයි- රට හමාරයි. රට වනසන විස්ස, ඒකාධිපති වියරුව පරදවමු ' ඩෝසර් ආදී සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත විය. දිගින් දිගටම විරෝධතාවයේ නිරත වූ සමඟි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම සභා ගැබ මැදට පැමිණ විරෝධතාවයෙහි නිරත වූ අතර පසුව කතානායකවරයා සහ සෙංකෝලය දෙසට පැමිණ විරෝධතාව දක්වන්නට වූහ.

විරෝධතාව දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අදහස් දැක්වීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියහ. එම අවස්ථාවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කෙළේ විපක්ෂ නායකවරයාට අදහස් දැක්වීමට අවස්ථාව ලබාදීම සඳහා සිය අසුන්වලට ගොස් අසුන් ගන්නා ලෙසයි. එහෙත් කතානායකවරයාගේ උපදෙස් නොසළකමින් කතානායකවරයාගේ ආසනය අසලට ගොස් එම මන්ත්‍රී කණ්ඩායම විරෝධතාව දැක්වූ අතර සභාව මැදට පැමිණි ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් ද විස්ස අවැසි බව දිගින් දිගටම ප්‍රකාශ කරන්නට වූහ.

මෙම විරෝධතාව මධ්‍යයේ සෙංකෝලය ආරක්ෂා කැර ගැනීම සඳහා වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සහ නියෝජ්‍ය වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා දැඩි පරිශ්‍රමයක් දැරූහ. මෙම විරෝධතා මධ්‍යයේ පාර්ලිමේන්තුව දිනට නියමිත මුදල් පනත යටතේ නියෝග පිළිබඳ විවාදය ආරම්භ කෙරිණි. මෙම ඝෝෂාකාරී තත්ත්වය පැයකට අධික කාලයක් පැවැති අතර විවාදය අතරතුර විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම එකිනෙකා සභා ගැබෙන් පිටව ගියහ.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර, සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න