ජනපතිගේ උපදෙස් මත සිල් රෙදි බෙදාදීම කළා | දිනමිණ


 

ජනපතිගේ උපදෙස් මත සිල් රෙදි බෙදාදීම කළා

නෙල්කා මැදගෙදර

ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අභියාචනාධිකරණයේදී පවසයි

2016 වසරේ ජනාධිපතිවරණයට බොහෝ කලකට පෙර ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත ජනාධිපතිවරයාගේ උපදෙස් මත සිල් රෙදි බෙදාදීමේ ව්‍යාපෘතිය සිදු කළ බවත්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකු වූ ජනාධිපති ලේකම්වරයාට අවසානයේදී දේශපාලන පළිගැනීමකට ලක් වීමට සිදු වූ බවත් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා ඊයේ (24) අභියාචනාධිකරණයේදී පැවසීය.

විනිසුරුවරයා ඇතැම් සාක්කි නොසලකා හරිමින් පූර්ව නිගමනවල සිට නඩුව විභාග කිරීම නිසා සාධාරණ නඩු විභාගයක් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට හිමිනොවූ බව හෙතෙම සඳහන් කළේය.

සිල් රෙදි බෙදාදීමේ ව්‍යාපෘතියට ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිසමේ මුදල් ගැනීමට එරෙහි නඩු තීන්දුව අභියෝගයට ලක් කළ පෙත්සම් කැඳවූ අවස්ථාවේදී ලලිත් වීරතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මේ බව කීය.

2016 ජනාධිපතිවරණ සමයේදී සිල් රෙදි බෙදාදීමේ ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිසමේ රුපියල් මිලියන 600ක මුදලක් වැය කිරීම මඟින් රජයේ මුදල් සාවද්‍ය වංක පරිහරණය ඇතුළු අධිචෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවෙහි නඩු පවරා තිබිණි.

එහි පළමු විත්තිකරු ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමෙහි හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා ද දෙවන විත්තිකරු ලෙස එම කොමිසමෙහි හිටපු සභාපති, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා නම්කර සිටියහ.

මෙම නඩුව මුලදී විභාග කළ විනිසුරුවරයා ස්ථානමාරුවීමෙන් අනතුරුව එය විභාග කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරුවන් අදාළ අධිචෝදනාවන්ට වැරැදිකරුවන් බවට තීරණය කෙළේය. ඒ වෙනුවෙන් වසර තුනක සිර දඬුවමක් සහ දඩ මුදල් ද වන්දි මුදල් ද නියම කෙරිණි.

එම මහාධිකරණ තීන්දුව වැරැදි ලෙස දෙන ලද්දක් බැවින් එය බල රහිත කරන ලෙස ඉල්ලා මෙම විත්තිකාර අභියාචකයන් විසින් වෙන වෙනම අභියාචන පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

මීට පෙර පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කාර අභියාචකයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා සහ නීතිඥ කංචන රත්වත්තේ මහතා කරුණු ඉදිරිපත් කළහ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා දින 6ක් සිය දේශන සිදු කළේය.

කුමුදුනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවෙහි මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී දෙවන විත්තිකාර අභියාචක ලලිත් වීරතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා මෙසේ කීය.

මෙම නඩුව විභාග කළ විනිසුරුවරයා පක්ෂග්‍රාහී ලෙස කටයුතු කර තිබෙනවා. ඒ ගැන අවධානය යොමු කිරීමට කැමතියි. මෙම නඩුවේ බහුතර කටයුතු පූර්වගාමී විනිසුරුවරයා හමුවේ සිදු කර ඇති බැවින් එම විනිසුරුවරයා ඉදිරියේ කැඳවන ලෙස මහාධිකරණයේදී විනිසුරු ගිහාන් කුලතුංග මහතාගෙන් විත්තියේ පාර්ශ්වය ඉල්ලා සිටියා. පූර්වගාමී විනිසුරුවරයා ස්ථානමාරු වන බව දෙපාර්ශ්වයම දැන සිටියා. ඒ අනුව කළයුත්තේ කුමක්ද යන්න ගැන විමසීමට අගවිනිසුරුවරයා වෙත යොමු ‍කළා.

කෙසේ වුවත් 6වන මහාධිකරණ ශාලාවේදී කැඳවූ අවස්ථාවේදී මෙම නඩුව පූර්වගාමී විනිසුරුවරයා ඉදිරියේ කැඳවන ලෙස ඉල්ලා සිටියා. ඒ වන විට සාක්කිකරුවන් 6 දෙනකුගෙන් සාක්කි කැඳවා අවසන් කර තිබුණා. අගවිනිසුරුවරයාගේ තීරණය පැමිණෙන තෙක් නොසිට එම ඉල්ලීම සම්බන්ධයෙන් විනිසුරුවරයා පූර්වගාමී නිගමනයකට පැමිණ නියෝග දී තිබුණා. ඔහු තීරණය කර තිබුණ සාක්කිකරුවන්ගේ සාක්කි දීමේ විලාශයෙන් නොව ලේඛන මත මෙම නඩුව පවත්වාගෙන යන බවත් එබැවින් තමා ඉදිරියේ මේ නඩුව විභාගයට ගැනීමෙන් අගතියක් නොවන බවට විනිසුරුවරයාම තීරණයකට එළැඹ තිබුණා. ඒ අනුව නඩුව ඔහු ඉදිරියේම විභාගයට ගැනීමට ඔහුට තීරණය කර තිබුණා. සාක්කිකරුවන් විත්තියට අගතිදායක නොවන සාක්කිකරුවන් බවට විනිසුරුවරයා තීරණය කර තිබුණා. එලෙස තීරණය කරන්නේ කෙසේද? එලෙස පූර්ව නිගමන මත තීරණ ගැනීම වැරදියි.

අගවිනිසුරුවරයාගේ නියෝගය එන තෙක් නොසිට ඔහු ඔහුගේ ඉදිරියේ කැඳවීමට තීරණය කළා.

විනිසුරු දේවිකා අබේරත්න - මේ ගැන ඒ අවස්ථාවේදී විරෝධය පළ කිරීමක් හෝ කරුණු දැක්වීමක් කළේ නැද්ද?

ජ.නීතිඥවරයා - නැහැ. ඒ අවස්ථාවේදී ඉල්ලීම් කළේ නැහැ. මෙහිදී විනිසුරුවරයා වැරැදි බවට චෝදනා කරන්නේ නැහැ. ඔහු ගත් තීරණ දෙකක් වැරැදියි.

සාක්කිකරුවන්ගේ හැසිරීම් මත නොව මෙය ලේඛන මත පවත්වන නඩුවක් බවට තීරණය කිරීම වැරැදියි. යුක්තිය ඉටුවීම පමණක් නොව යුක්තිය ඉටුවන බව පෙනෙන්නට තිබිය යුතුයි. අපට සාධාරණ නඩු විභාගයක් හිමි විය යුතුයි.

මෙහිදී පූර්වගාමී විනිසුරුවරයා සාක්කිකරුවන් 9 දෙනකුගේ සාක්කි විභාගයේදී ප්‍රශ්න කිහිපයක් පමණයි අසා ඇත්තේ. එහෙත් එක් සාක්කිකරුවකුගෙන් හරස් ප්‍රශ්න ඇසීමේදී විනිසුරුවරයා ප්‍රශ්න 91ක් අසා තිබෙනවා. මෙහිදී මගේ සේවාදායකයා වූ දෙවන විත්තිකරු සාක්කි ලබා දුන්නා. ඔහු රටේ ප්‍රධාන නිලධාරියෙක්. ඔහුගේ අවස්ථා 12කදී ප්‍රශ්න 51 අසා තිබෙනවා. විත්තිකරුවකුගෙන් මෙලෙස විනිසුරුවරයා ප්‍රශ්න නැගීම අස්වාභාවිකයි. සාක්කි මෙහෙයවන නීතිඥවරයා විසින් මෙය කිරීම සාධාරණයි. එහෙත් විනිසුරුවරයා එසේ කිරීම වැරදියි.

වාසනාවට හෝ අවාසනාවට මෙම විනිසුරුවරයා පූර්ව නිගමනවල සිට තීරණ ගෙන තිබෙනවා. එය නඩු තීන්දුවෙන් සහ නියම කළ දඬුවමෙන් පැහැදිලි වෙනවා.

විනිසුරු දේවිකා අබේරත්න මහත්මිය - මේ විනිසුරුවරයා මීට පෙරත් එසේද?

නීතිඥ කංචන රත්වත්තේ මහතා - ඔව්. අවස්ථා කිහිපයකදී මෙම විත්තිකරු සම්බන්ධයෙන් ප්‍රශ්න ගත ලෙස නඩු විමසා තිබෙනවා. එවැනි අවස්ථාවල මෙම විත්තිකරු වෙනුවෙන් මා පෙනී සිටියා.

විනිසුරු දේවිකා අබේරත්න මහත්මිය - ඒ අවස්ථාවල විනිසුරුවරයාගේ හැසිරීම ගැන පැමිණිලි කළේ නැතිද?

ජ. නීතිඥවරයා - නැහැ. සාමාන්‍යයෙන් විනිසුරුවරයාට ගරු කිරීම මිස එරෙහි වීමක් සිදු වන්නේ නැහැ.

විනිසුරුවරයා පූර්ව නිගමනවල සිට නඩුව විභාගකළ බව ඔහුගේ නඩු තීන්දුවෙන් පැහැදිලි වෙනවා.

විනිසුරු දේවිකා අබේරත්න මහත්මිය - එහි දැක්වෙන ‘චේතනාව’ යනු කුමක්ද?

ජ. නීතිඥවරයා - එම නඩු තීන්දුවෙහි ඔහු සඳහන් කර තිබෙනවා මෙම මුදල් විත්තිකරුවන්ගේ පෞද්ගලික පරිහරණයට ගෙන නැති බව. “එවකට පැවැති දේශපාලන සංස්කෘතිය” යන්න ඔහු එහි දක්වා තිබෙනවා. එම වචනවලින් ඔහු අදහස් කළේ කුමක්ද යන්න ගැටලුවක්.

ජනාධිපතිවරණයට බොහෝ කලකට පෙර මාර්තු මාසයේදී මෙම සිල් රෙදි ව්‍යාපෘතිය දියත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළේ. ඔහු විදුලි සංදේශ නියාමන කොමිසම භාරව සිටි ඇමැතිවරයායි. මාගේ සේවාදායකයා රාජ්‍ය නිලධාරියෙක් පමණයි. මෙම ව්‍යාපෘතියට මුදල් නැති බව ඔහු දැනගත්තේ ඔක්තෝබර් මාසයේදී ප්‍රධාන ගණකාධිකාරවරයා විසින් දැනුම් දීමෙන් අනතුරුවයි.

මෙම ව්‍යාපෘතියට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ දින 35කට පෙරයි. එසේම මුදල් නිදහස්කර ඇත්තේ විධිමත් අනුමැතිය ලැබීමෙන් පසුවයි.

විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය - ඔබ කියන්නේ මෙය සාමාන්‍ය ගනුදෙනුවක් බවද? ඔව්. එය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළා.

‍ විනිසුරු දේවිකා අබේරත්න මහත්මිය - ඒ සම්බන්ධ ලේඛන තිබෙනවාද?

ජ.නීතිඥවරයා - ඔව්. ඒවා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එම අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය දෙසැම්බර් 15 දින ලැබුණා. නමුත් ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඊට පෙර ලැබී තිබුණා.

විනිසුරු දේවිකා අබේරත්න මහත්මිය - අනුමැතිය ලැබී ඇත්තේ මුදල් බැර කිරීමෙන් පසුව නේද?

ජනාධිපති නීතිඥවරයා - ඔව්. එහෙත් අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව සෑම සාමාජිකයකුටම යැව්වා. ඔවුන් සාමූහිකව හමු නොවුනත් වාචිකව ඔවුන් අනුමැතිය දී තිබුණා. ලිඛිත අනුමැතිය දීමට පෙර මෙම මුදල් සම්ප්‍රේෂණය කිරීමට. ඒ සඳහා ලිඛිත අනුමැතිය ලැබී ඇති බව මහාධිකරණ සාක්කි විභාගයේදී ද සඳහන් කළා.

සාමාන්‍යයෙන් සාමාජිකයන් හමු වී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හමු නොවුනත් වාචික අනුමැතිය දීම ප්‍රායෝගික තත්ත්වයක්.

විනිසුරු දේවිකා අබේරත්න මහත්මිය - මෙය අධ්‍යක්ෂ මණ්ඩලයේ සාකච්ඡා වූ බවට න්‍යාය පත්‍රයේ හෝ සඳහන්ව තිබුණාද?

නි.සො. ජනරාල්වරයා - නැහැ. එවැනි කිසිඳු සටහනක් නැහැ.

විනිසුරු දේවිකා අබේරත්න මහත්මිය -වාචික අනුමැතිය ලැබුණු බව ඔප්පු කරන්නේ කෙසේද?

ජ.නීතිඥවරයා - මුදල් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ සාක්කියේදී ඔහු පැවසුවා මෙම මිලියන 600 සම්ප්‍රේෂණය කිරීම ගැන. මේ වන තෙක් කිසිඳු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් පැමිණිලි කර නැහැ. මෙය බෞද්ධ රටක්. සිල් රෙදි බෙදා දීම වරදක් වන්නේ කෙසේද?

විනිසුරු දේවිකා අබේරත්න මහත්මිය - එහෙත් ටී.ආර්.සී. නීතිය තිබෙනවා. එම පනත ඉක්මවා කටයුතු කළ නොහැකියි.

ජනාධිපති නීතිඥවරයා - පුණ්‍ය කටයුතුවලට මුදල් වැය කිරීම සාමාන්‍යයෙන් සිදු වන්නක්. වෙනත් ආයතනවලත් එය සිදු වෙනවා.

විනිසුරු දේවිකා අබේරත්න මහත්මිය - නීතිය නොතකා එවැන්නක් කළ හැකිද?

ජනාධිපති නීතිඥවරයා - අදාළ නඩු තීන්දුවෙහි “දේශපාලන සංස්කෘතිය” ලෙස සඳහන් කරනවා. දේශපාලන බලපෑමකට අනුව එම වරද කළ බව විනිසුරුවරයා සඳහන් කර තිබෙනවා. මෙම මුදල් වැය කිරීම කළේ 2014 වසරේදීයි. ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2016 වසරේදියි.

විනිසුරුවරයා මෙම නිගමනයට එළඹී ඇත්තේ කිසිදු සාක්කියක් නැතිවයි. ජනාධිපතිවරයා මෙවැනි නියෝගයක් කළ බව සඳහන් කළ රූපවාහිනී වැඩසටහනක් පමණයි සාක්කි ලෙස පැවතියේ.

සිල් රෙදි ව්‍යාපෘතිය සඳහා 2014 දී සූදානම් වූ බව සුමතිපාල නම් සැපයුම්කරුගේ සාක්කියෙන් තහවුරු වුණා. එසේම ප්‍රධාන ගණකාධිකාරීවරයා සඳහන් කළා 2014 මුල් කාලයේදී මෙවැනි ව්‍යාපෘතියකට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබුණු බව. පාසල් ළමුන්ට නිල ඇඳුම් බෙදා දීම සහ පන්සල් දහසකදී සිල් රෙදි බෙදා දීම යන ව්‍යාපෘති දෙකම සමාජ සත්කාරක ව්‍යාපෘති යටතේ සිදු කෙරුණා. එය සිදු කළේ ජනාධිපතිවරණයට බොහෝ කළකට පෙර සිටයි. මෙම ව්‍යාපෘතිය ගැන ජනාධිපතිවරයා දෙවන විත්තිකරුට නැවත සිහි කැඳවීමක් 2015 මාර්තු මාසයේදී කර තිබෙනවා. සෝමානන්ද හිමියන් සම්බන්ධීකාරකවරයකු ලෙස කටයුතු කරමින් පන්සල් ගැන තොරතුරු එක්රැස් කළා. ජනාධිපතිවරණය පැවැත්වීමට තිබුණේ 2016 නොවැම්බර් මාසයේදීයි. මෙම ව්‍යාපෘතිය සැලසුම් කළේ ඊට වසර දෙකකට ආසන්න කාලයකට පෙරයි.

මෙම ව්‍යාපෘතියට මුදල් නොමැති බව ප්‍රධාන ගණකාධිකාරීවරයා දැනුවත් කළේ ඔක්තෝබර් මාසයේදීයි. රාජ්‍ය නිලධාරියකු ලෙස මුදල් සොයා ගත යුතුව තිබුණා. නැවත ප්‍රතිපූරණය කිරීමේ පදනම මත ටී.ආර්.සී.මුදල් ලබා ගැනීමට තීරණය කළේ ඒ අනුවයි.

ටී.ආර්.සී. සතුව ඇත්තේත් රජයේ මුදල් තමයි. චෝගම් සඳහා රුපියල් මිලියන 600ක මුදල් ලබා ගත්තා. ඒවා පොදු කටයුතු සඳහායි. එහෙත් යහපාලන සමයේදී මුස්ලිම් ආගමික උත්සවයක් සඳහා මිලියන 34ක් ටී.ආර්.සී. මුදල් ලබාදී තිබෙනවා. පොතක් දොරට වැඩීම සඳහාත් එම මුදල් ලබා දුන්නා. එය පෞද්ගලික කටයුතු සඳහා මුදල් ලබා ගැනීමක් සහ ලබා දීමක්.

චෝගම් සඳහා ලබා දුන් මුදල් ගැන දෙවන විත්තිකාර අභියාචකගෙන් නඩු විභාගයේදී ප්‍රශ්න කළා. චිත්‍රපටයක් එළි දැක්වීමට, මුස්ලිම් නීතිඥවරයකුගේ උත්සවයක් සඳහා මුදල් ලබාදී ඇති බව එහිදී අනාවරණය කෙරුණා. ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ කාලය තුළ 2005 - සිට 2015 තුළදී රුපියල් බිලියන 170ක් විවිධ ව්‍යාපෘති සඳහා ලබා දුන් බව එහිදී ඔහු ප්‍රකාශ කළා. චෝගම් සඳහා මුදල් ලබා දුන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයටයි.

සමහර රජයන් ඊ.පී.එෆ් මුදල් මෙවැනි කටයුතු සඳහා ලබා ගත්තා. එහෙත් මෙහිදී එවැන්නක් සිදු වූයේ නැහැ. බෞද්ධ රටක වෙසක් දිනකදී පහනක් දැල්වීම වරදක් ලෙස දැක්විය නොහැකියි.

දේශපාලන සංස්කෘතියේදී පමණක් නොවෙයි. විවිධ සංස්කෘතීන්වලදී සාමාජීය වගකීම් තිබෙනවා. එවැනි අවස්ථාවලදී සාම්ප්‍රදායිකව කටයුතු කරන පිළිවෙළක් තිබෙනවා. අනුමැතිය ලබා හෝ අනුමැතිය ලබා ගැනීමට යටත්ව එවැනි අවස්ථාවලදී කටයුතු කරනවා. ටී.ආර්.සී. සතු මිලියන 170ක් විවිධ කටයුතු සඳහා වසර දහයකදී දී ඇත්තේ ඒ අනුවයි. මෙම මිලියන 600 සම්ප්‍රේෂණය කිරීම පිළිබඳව සෑම අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙක්ම වාචික අනුමැතිය දී තිබුණා. මහාධිකරණ නඩු විභාගයේදී ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීම ගැන විත්ති‍කාර සාක්කිකරුගෙන් ප්‍රශ්න කළා. එහෙත් ඒ පිළිබඳ දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට උත්සාහ කළ අවස්ථාවලදී. විනිසුරුවරයා මෙම ප්‍රශ්නයට ඉඩ නොදෙමි” ලෙස සටහන් කර තිබෙනවා.

මෙම සිල් රෙදි ව්‍යාපෘතිය “සමාජ සංවර්ධන මූලාරම්භන ව්‍යාපෘතිය” යටතට ගැනෙන්නක්. ඒ සඳහා වෙන්කළ මුදල් ප්‍රමාණවත් නොවන බව ප්‍රධාන ගණකාධිකාරීවරයා විසින් ජනාධිපති ලේකම් වෙත දන්වා තිබුණා. ඒ අනුව මුදල් සොයා ගැනීමට ඔහුට සිදු වුණා. ඒ අනුව එම මුදල් ලබා ගැනීමට ටී.ආර්.සී. අධ්‍යක්ෂ ජනරාල්වරයාට දෙවන විත්තිකාර අභියාචක විසින් ලිඛිත ඉල්ලීමක් යොමු කර තිබුණා. ඒ ඔක්තෝබර් 14 වැනිදායි. ඒ අනුව එම මිලියන 600 ලබා ගැනීමට අදාළ මණ්ඩල පත්‍රිකාව ඔක්තෝබර් 30 දින පිළියෙල කර තිබුණා. වැඩිහිටියන් සහ සිසුන් සඳහා සිල් රෙදි දීම සඳහා මුදල් ලබා ගැනීමට යොමුව තිබුණේ ටී.ආර්.සී සතු වෙනම සමාජ වගකීම් සම්බන්ධ අරමුදලකින්. මෙවැනි ව්‍යාපෘති සඳහා වෙනම අරමුදලක් තිබුණා. මෙහිදී මෙම පත්‍රිකාව වෙන් වෙන්ව සෑම අධ්‍යක්ෂ මණ්ඩල සාමජිකයෙක් වෙතම යොමු කළා. එය අනුමැතිය ලබා ගැනීමේ එක් ක්‍රමයක්. මීට අමතරව අයිපෑඩ් මඟින් තාක්ෂණික ක්‍රමයට අනුමැතිය දීමත් සිදු වෙනවා. මෙහිදී සිදු කළේ මණ්ඩල පත්‍රිකාව යොමු කිරීමයි. ඔවුන් එම පත්‍රිකාවට වාචික අනුමැතිය දී තිබුණා. 2014 නොවැම්බර් 30 දින පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට සභාපතිවරයා සහභාගි වූයේ නැහැ. ඒ අනුව වාචික අනුමැතිය සෙසු සාමාජිකයන් දී තිබුණා. මෙම සාක්කි සියල්ල මහාධිකරණ විනිසුරුවරයා විසින් නොසලකා හැර තිබෙනවා. එහෙත් ඇතැම් සාක්කි නිවැරදි බවට ඔහුම තීරණය කර තිබෙනවා. සාක්කිකරුවන්ගේ ප්‍රකාශ විත්තියට අගතියක් නොවන බවත්, දන්නා දේ හැර අසත්‍ය නොවන බවටත් තීරණය කර ඇති විනිසුරුවරයා එම සාක්කි පිළිගත හැකි නිවැරදි සාක්කි බවට තීරණය කර තිබෙනවා.

2015 දෙසැම්බර් 15 අනුමැතිය ලැබුණත් දෙසැම්බර් මස 05 දින එම මුදල් සම්ප්‍රේෂණය කිරීම ගැන මහාධිකරණ නඩු විභාගයේදී ප්‍රශ්න කළා. වාචික අනුමැතිය ලබා ගැනීම මත එම මුදල් සම්ප්‍රේෂණය කර පසුව ලිඛිත අනුමැතිය ලබා ගත් බව සඳහන් කෙරුණා. එය නඩුව විභාග කළ විනිසුරුවරයා භාර ගත්තා. සියලු සාක්කි පිළිගත් විනිසුරුවරයා ඒ පිළිබඳ සැලකීමකින් තොරව තීන්දුව ලබා දී ඇති බව පැහැදිලියි.

මෙම සිද්ධියට අදාළව සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට එරෙහිව චෝදනා ගොනු නොකළේ ඇයි? එසේම ඔවුන් සාක්කියට හෝ කැ‍ඳෙව්වේ නැහැ. එසේ තිබියදී මාගේ සේවාදායකයාගේ දෑතට මාංචු දැමීමක් සිදුව තිබෙනවා.

විවිධ අවස්ථාවලදී රජ‍ෙය් කටයුතු සඳහා රාජ්‍ය ආයතන සහ මහා භාණ්ඩාගාරය අතර මුදල් හුවමාරුව සිදු වෙනවා. ඒ අනුව තමයි බිලියන 170ක් හුවමාරුවී ඇත්තේ.

විශේෂ සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් මෙම මිලියන 600 වැය කර ඇත්තේ ටී.ආර්.සී.පනතේ 17 වගන්තියට අනුවයි. සමාජ සත්කාරක කටයුතු සඳහා වෙන් කළ වෙනම අරමුදලක් තිබෙනවා. එම පනතේ 22 වන වගන්තිය මගින් එම සමාජ සත්කාරක කටයුතුවලට මුදල් ලබා දීම වළක්වන්නේ නැහැ. එම මුදල් ජනාධිපති ලේකම් කාර්යාල ගිණුමට දෙසැම්බර් 05 වැනිදා බැරවී ඇතත් එම මුදල් වැය කර ඇත්තේ දෙසැම්බර් 29 වැනිදායි. නිසි අනුමැතිය ලැබීමට පෙර එම මුදල් වැයකර නැහැ.

මහාධිකරණ විනිසුරුවරයා මෙහිදී 22 වගන්තිය උල්ලංඝනය කර ඇති බවට තීරණය කිරීම වැරදියි. සමාජ සත්කාරක ව්‍යාපෘති සිදු කිරීම 17 වගන්තිය යටතේ කළ හැකියි. එවැනි වගන්තියක් නොමැති නම් වෙසක් සමයට තොරණක්, පහන් කූඩුවක් හෝ ඉටිපන්දමක් දැල්වීමක් කළ නොහැකියි.

මෙම නඩු තීන්දුව ප්‍රකාශ කිරීමේදී මහාධිකරණ විනිසුරුවරයා එම වගන්තිය නොසලකා හැර තිබෙනවා. ඒ නිසා විත්තිකරුවන්ට සාධාරණ නඩු විභාගයක් හිමි වූයේ නැහැ.

මහාධිකරණ නඩු විභාගයේදී සුමතිපාල නම් සැපයුම්කරු සාක්කි දෙමින් ප්‍රකාශ කර තිබෙනවා. මෙම ඇණවුම් ලැබුණේ 2014 මුල් කාලයේදී බව එහිදී බෙදාහැරීම ගැන සඳහන්ව නැහැ.

මෙම විශේෂ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිල් රෙදි බෙදා දීමේ වැඩසටහන ජනාධිපතිවරයා විසින් ආරම්භ කර ඇති බව සාක්කි විමසීමේදී අනාවරණය වී තිබෙනවා. භාණ්ඩාගාරය ඒ බව දැනුවත් වෙනවා. අක් මුදල් අවසන් වූ විට ප්‍රතිපූරණය කිරීමට යටත්ව මුදල් ලබා ගැනීම සිදුවන බවට සාක්කි විභාගයේදී අනාවරණය වී තිබෙනවා.

2014 දෙසැම්බර් 15 අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මේ සඳහා අනුමැතිය දී තිබුණා.

විනිසුරු දේවිකා අබේරත්න මහත්මිය - මණ්ඩල පත්‍රිකාව අනුව මෙය නව ව්‍යාපෘතියක් ලෙස සඳහන් වෙනවානේ.

ජ.නීතිඥවරයා - එහි ඔක්තෝබර් 30 දින මණ්ඩල පත්‍රිකාවේ මේ බව සඳහන්ව තිබුණා.

විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ - ඒ ගැන සඳහනක් නැහැ.

ජ.නීතිඥවරයා - එය ලේකම්වරිය අතින් වූ වරදක් ඔක්තෝබර් මස 30 මණ්ඩල පත්‍රිකාව සෑම අයෙකු විසින්ම පිළිගෙන තිබෙනවා. එම සාක්කි පිළිගෙන ඇති අතර කිසිදු අවස්ථාවක ප්‍රතික්ෂේප කර නැහැ.

නි.සො.ජනරාල්වරයා - ලේකම්වරිය අත්වැරැද්දක් කළා නම් ඒ ගැන සාක්කි විභාගයේදී ප්‍රශ්න කළ යුතුව තිබුණා. එහෙත් එවැන්නක් කර තිබුණේ නැහැ.

ජනාධිපති නීතිඥවරයා - ඒ ගැන ප්‍රශ්න කිරීමට අවශ්‍ය වූයේ නැහැ.

මුදල් විධි විධාන පනතේ 156 අනුව වාචික අනුමැතිය ලබා ගත් ගනුදෙනුවකට පසුව ලිඛිත අනුමැතිය ලබා ගත හැකියි.

නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරුවරයා සියලු සාක්කි ප්‍රතික්ෂේප කිරීමකින් තොරවම පිළිගෙන තිබෙනවා. ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය සිදු කළා. එසේ කටයුතු කිරීම හැර නිලධාරියකුට කළ හැක්කේ කුමක්ද? අවසානයේදී ඔහු දේශපාලන පළිගැනීමකට ලක් වුණා.

නඩු විභාගයේදී සාක්කි දුන් වටිනාපහ සෝමානන්ද හිමියන් ප්‍රකාශ කළේ මෙම සිල් රෙදි බෙදා දීම සඳහා තොරතුරු රැස් කළ බවයි. ඒවා බෙදා හැරීම උන්වහන්සේගේ අධීක්ෂණය යටතේ සිදු කළ බවත්, ලලිත් වීරතුංග මහතා සිල් රෙදි බෙදා දීමට කිසිදු අවස්ථාවක සහභාගි නොවූ බව එම හිමියන් පවසා තිබෙනවා. එසේම සිල් රෙදි සමඟ තිබූ පත්‍රිකාව ඊට ඇතුළත් කිරීමට ලලිත් වීරතුංග සම්බන්ධ නොවූ බවට ද උන්වහන්සේ සාක්කි දී තිබුණා. එහෙත් එම සාක්කි විත්තිකරුට යම් ළැදියාවකින් ලබා දුන් බව විනිසුරුවරයා තීරණය කර තිබෙනවා.

ඊට පෙර පන්සල්වලට ශබ්ද විකාශන යන්ත්‍ර බෙදා දීම සිදු කළ බවත් සාක්කි විභාගයේදී අනාවරණය වුණා.

මෙම නඩුව ගොනු කළේත් පවත්වාගෙන ගියේත් ටී.ආර්.සී. පනතේ 22 වගන්තිය මුල්කර ගනිමින්. එම වගන්තියට පටහැනිව කටයුතු කිරීම මත නඩුව පවත්වාගෙන ගියා. එහෙත් 17 වගන්තිය මෙහිදී සම්පූර්ණයෙන් නොසලකා හැර තිබෙනවා. 22 වගන්තිය ‍ කියවීමේදී සමාජ සත්කාරක වගකීම යන්න පිළිබඳව සැලකීමක් කර නැහැ. ආවරණ අනුමැතියකට යටත්ව මුදල් දීම අවස්ථා කිහිපයකදීම සිදු කර තිබෙනවා.

මෙම විත්තිකාර අභියාචකයන් ඍජුවම ජනාධිපතිවරයාගෙන් පත් වීම නිසා ඔහුට ළැදියාවකින් කටයුතු කළ බවත් පැවැති “දේශපාලන සංස්කෘතිය” අනුව එය කළ බවත් නඩු තීන්දුවෙහි සඳහන්.

විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ - දේශපාලන සංස්කෘතිය යන්න අනවශ්‍ය වචනයක් නේද?

ජ.නීතිඥවරයා - එය ඕපාදූප කතාවලදී යොදන වචනයක් වැනියි. මෙහිදී දෙවැනි විත්තිකාර අභියාචකගෙන් ප්‍රශ්න 287ක් ඇසීම විනිසුරුවරයා සිදු කර තිබෙනවා. සාක්කිකාර සෝමානන්ද හිමියන්ගෙන් ප්‍රශ්න 91ක් අසා තිබෙනවා. විනිසුරුවරයා පැමිණිල්ල මෙහෙය වන්නකු බවට පත්ව තිබෙනවා. එය සැබවින්ම පැමිණිල්ල මෙහෙයවන්නාට කළ අවමානයක්.

මෙම නඩු විභාගය සාධාරණ නැහැ. දේශපාලන සංස්කෘතිය යන්න නුසුදුසු වචනයක්. සතයක්වත් සිය සාක්කුවට නොදාගත් විත්තිකරුට මිලියන 50ක දඩයක් පැනවීම විමතියක්.

මෙම කරුණු සියල්ලෙන් පැහැදිලි වන්නේ සාධාරණ නඩු විභාගයක් හිමි නොවූ බවයි. එබැවින් එම නඩු තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලනවා.

පෙත්සම් නැවත කැඳවීම සැප්තැම්බර් 30ට කල් තැබිණි.

නීතිඥවරුන් වන ශාන්ත ජයවර්ධන, කීර්ති තිලකරත්න සමඟ ජනාධිපති නීතිඥවරුන් වන ෆයිස් මුස්තාපා මහතා සහ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා දෙවන විත්තිකාර අභියාචක වන ලලිත් වීරතුංග මහතා වෙනුවෙන්පෙනී සිටියහ.

නීතිඥවරුන් වන ජනක රණතුංග, අමානි පිලපිටිය සමඟ නීතිඥ කංචන රත්වත්තේ මහතා පළවන විත්තිකාර අභියාචක අනුෂ පැල්පිට මහතා වෙනුවෙන් පෙනී සිටියහ.

නියෝජ්‍ය සොලිසිටර් ‍ජනරාල් තුසිත් මුදලිගේ මහතා සහ රජයේ නීතිඥ චතුරි විජේසිංහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියහ.

නව අදහස දක්වන්න