නිවාස අධිකාරියේ තවත් කතාවක්! | දිනමිණ


 

නිවාස අධිකාරියේ තවත් කතාවක්!

කෙනකුගේ මතයට අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය වනාහි කිසිදා අලුත් නොවන සාම්ප්‍රදායික අංශයකි. අකාර්යක්ෂමතාව, කල් මැරීම හා ජනතාව පීඩාවට පත් කිරීම එහි කැපී පෙනෙන ලක්ෂණ වෙයි. මේ කතාව සම්පූර්ණ සත්‍යයක් නොවන්නේ වුව; සම්පූර්ණ අසත්‍යයක් ද නොවන්නේය. පොදු ජනතාව හැම විටම රාජ්‍ය සේවයට බැණ වදිති. ඔවුන් තුළ රාජ්‍ය සේවය කෙ‍රෙහි යම් කෝපයක් පවතින බව පෙනෙයි. කෝපයට පත් ඇතමකු පිං පඩිකාරයා යැයි රාජ්‍ය සේවකයන් අමතනු දැක ගත හැකිය. පිං පඩිකාරයා යනු රාජකාරියක් ඉටු නොකර වැටුපක් ගන්නා තැනැත්තාය. රාජ්‍ය සේවය පිං පඩි ගන්නා තැනකට තල්ලු වී ගියහොත් රටට සිදු වන්නේ කුමක්ද? රටේ අනාගතයට සිදු වන්නේ කුමක්ද?

ඉහත පූර්විකාව ලියා තබන්නේ ජනාධිපතිවරයා හදිසියේම සිදු කළ නිරීක්ෂණ චාරිකාවක් නිසාය. රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ද ඒවායෙහි නිලධාරීන්ගේ වැඩ කටයුතු සම්බන්ධයෙන් ද පැමිණිලි ජනාධිපතිවරයා වෙත දිනපතාම ලැබෙයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නාරාහේන්පිට කාර්යාලයට යන්නේ ද ලැබී ඇති පැමිණිලි ගණනාවක් නිසාය. එම ආයතනයේ වීඩියෝ දර්ශන බලන කල කාර්යාලයේ අවිධිමත්බව, අපිළිවෙළ හා අපිරිසුදුකම හොඳින් දැක ගත හැකිය. එය වැඩකරන තැනක් ලෙස පෙනී යන්නේ නැත. මහජන පැමිණිලිවලට අනුව මේ ස්ථානයෙන් රාජකාරි ඉටු කරවා ගැනීමට එන අය නිලධාරීන් විසින් ආපසු හරවා යවනු ලැබේ. සමහරුන් එළවා දමන බවට ද චෝදනා තිබේ.

රාජ්‍ය ආයතන පිහිටුවා ඇත්තේ මහජන කාර්යයන් ඉටු කරමින් ජාතික ආර්ථිකය ගොඩනැඟීම සඳහාය. එහි සේවක මණ්ඩල ඉටු කළ යුතු ජාතික කාර්යභාරයක් තිබේ. එය ඉටු නොවන්නේ නම්; රාජ්‍ය ආයතන සඳහා රජය වැය කරන මහජන මුදල් නාස්ති වෙයි. මහජන මුදල් නාස්ති කිරීම ජාතික අපරාධයකි. සෑම රාජ්‍ය සේවකයකුම සතියේ දින පහ තුළ පැය අට බැගින් වැඩ කළ යුතුය. එහෙත් එය නිසි ලෙස ඉටු වන්නේ නැත. සමහරු රාජකාරි කාලය තුළ සාප්පු සවාරි යති. සමහරු චිත්‍රපට බලති. තව සමහරු බාර්වල මත්පැන් බොති. තවත් සමහරු රජයේ වාහන ද ගෙන පෞද්ගලික කටයුතු ඉටු කර ගනිති. මේවා නැවැත්වීම සඳහා පියවර ගන්නා කෙනකු නැත. ජනාධිපතිවරයා හෝ ඒ ගැන සොයා බැලීම වටී.

ජනාධිපතිවරයා නිවාස අධිකාරියේ අදාළ කාර්යාලයට ගොස් කාර්ය මණ්ඩලයෙන් ප්‍රශ්න කළ අතර, නිලධාරීන්ට කටඋත්තර නැති විය. ගෙවීමක් සිදු කිරීමට පැමිණි කාන්තාවක් දින දෙකක් රස්තියාදු වී ඇත. ගෙවීම කරන්නට ලැබී නැත. කාර්යාල කාර්ය සහායකයකු නැති බව ද ගණකාධිකාරීවරයකු නැති බව ද කාර්ය මණ්ඩලයේ උත්තරය වී තිබේ. ඔප්පුවක් ගැනීම සඳහා පැමිණි ආබාධිත තැනැත්තකු ද මෙහිදී දැකගන්නට ලැබිණි. ඔහු හඬා වැටෙමින් තම දුක ජනාධිපතිවරයාට කියා සිටියේය. මහජනයා රස්තියාදු කිරීම ගැන නිවාස අධිකාරිය පොදු සමාවක් ගත යුතුය. මහජනයා රස්තියාදු කිරීම නිවාස අධිකාරියේ සාමාන්‍ය තත්ත්වයක් බව පෙනී යයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පිහිටුවනු ලබන්නේ 1979 දී සම්මත කර ගත් විශේෂ පනතක් මඟිනි. එහි අර්ථය වූයේ රටේ නිවාස ඉදි කිරීම් ක්‍රියාවලිය කඩිනම් එකක් බවට පත් කිරීම හා පුළුල් එකක් බවට පත් කිරීමය. ඊට පෙර නිවාස ඉදි කිරීම ඇතුළත් වූයේ නිවාස දෙපාර්තමේන්තුවටය. දෙපාර්තමේන්තුවට වඩා ශීඝ්‍ර උන්නතියක් අධිකාරියෙන් අපේක්ෂා කරන ලදි. එක් කාලසීමාවකදී එම ආයතනය කාර්යක්ෂම විය. තව කාලයකදී එය දේශපාලනීකරණයට යටත් විය. තවත් කාලයකදී එය වැඩ නොකරන හා රජයට බරක් වූ ආයතනයක් හැටියට පැවැතිණි. අද වන විට ද එහි සේවය ගැන සතුටු විය නොහැකිය. නාරාහේන්පිට සිද්ධියෙන් පැහැදිලි වන්නේ ද එයමය.

රාජ්‍ය සේවය ශක්තිමත් කොට ඒ ඔස්සේ රටේ ආර්ථිකය ගොඩනැඟීමේ ආර්ථික දැක්මක් ජනාධිපතිවරයා ක්‍රියාවට නංවයි. එය ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයකට හොඳින්ම ගළපා ගත හැකිය. රාජ්‍ය සේවය සඳහා අලුතින් පිරිස් බඳවා ගැනීමේ අර්ථය වන්නේ එය තවදුරටත් ශක්තිමත් කරමින් පුළුල් ජනතා සේවයක් ඉටු කිරීමය. ජනාධිපතිවරයා වරක් පෙන්වා දුන්නේ ජනතාවගෙන් බහුතරයකට ඇත්තේ සරල පොදු ප්‍රශ්න බවය. ඇතැම් ප්‍රශ්නයක් විසඳීම සඳහා අවශ්‍ය වන්නේ අස්සනක් පමණි. එහෙත් නිලධාරීන් එම අස්සන ලබා දෙන්නේ නැත. ඒ සඳහා කල් මරයි, නැතහොත් අල්ලසක් ඉල්ලා සිටියි. මේ ක්‍රමය මුළුමනින්ම වෙනස් කරන තුරු රාජ්‍ය සේවය හදන්නට බැරිය.

කලකට පෙර රාජ්‍ය ආයතනවල එකිනෙක අංශවල වැඩ නිරීක්ෂණය සඳහා හදිසියේම උසස් නිලධාරීන් කඩා පනින ක්‍රමයක් තිබිණි. පාසල්වලට පැමිණි පරීක්ෂකවරු ළමයින්ගේ අධ්‍යාපනය ගැන පමණක් නොව ළමයින්ගේ සෞඛ්‍යය ගැන ද සොයා බැලූහ. පාසලට පැමිණි පරීක්ෂකයෝ දරුවන් පමණක් නොව, ගුරුවරුන් ද ප්‍රශ්න කිරීමට ලක් කළහ. ඇතැම් විට විදුහල්පතිගෙන් ද ප්‍රශ්න කළහ. එය හොඳ ක්‍රමයකි. ඕනෑම ක්ෂේත්‍රයකට පසු විපරමක් තිබීම වැදගත්ය. එහෙත් අද ඒ ක්‍රමය නැත. ඒ නිසා ආයතනවල පිස්සු නැටීම වැඩි වී ඇත. ජනාධිපතිවරයා තවත් ආයතන දෙක තුනකට මේ අයුරින් නිරීක්ෂණ චාරිකාවල යෙදුණහොත් රාජ්‍ය අංශයේ අඩු පාඩු බොහෝමයක් සකසා ගත හැකිය.

නව අදහස දක්වන්න