ජාතික ඔලිම්පික් කමිටුව අනාගත ක්‍රීඩා ශූරයන්ට රු. කෝටි 4ක් පිරිනමයි | දිනමිණ


 

ජාතික ඔලිම්පික් කමිටුව අනාගත ක්‍රීඩා ශූරයන්ට රු. කෝටි 4ක් පිරිනමයි

ප්‍රින්ස් ගුණසේකර
ජාතික ඔලිම්පික් කමිටු මහ ලේකම් මැකස්වෙල් ද සිල්වා හා ක්‍රිස්බෝ ආයතනයේ වෙළෙඳ හා අලෙවි ප්‍රවර්ධන ජ්‍යෙෂ්ඨ කළමනාකරු අමරෙස් සෙල්ලා යන මහත්වරු අවබෝධතා ගිවිසුමට අස්සන් තැබූ අයුරු. ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා සහ ඔලිම්පික් ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය ද මෙහි වෙති. ඡායාරූපය - සුලෝචන ගමගේ

අනාගතයේදී ජාත්‍යන්තර තලයේ පදක්කම් දිනාගත හැකි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20ක් අතර රුපියල් කෝටි 4ක මුදල් ශිෂ්‍යත්ව පිරිනැමීමට ජාතික ඔලිම්පික් කමිටුව කටයුතු යොදයි. මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වර්ධනය වෙනුවෙන් දිගුකාලීන වැඩ පිළිවෙළක් යටතේ විශාල මුදලක් වෙන් කෙරෙන පළමු අවස්ථාව මෙය වන අතර ක්‍රිස්බෝ ආයතනය පූර්ණ අනුග්‍රහය ලබාදී ඇත. මේ සම්බන්ධයෙන් කොළඹ පදනම් ආයතනයේදී ජාතික ඔලිම්පික් කමිටුව සමඟ වසර දෙකක අනුග්‍රාහක ගිවිසුමකට ක්‍රිස්බෝ ආයතනය ඊයේ එළැඹි අතර එම ආයතනයට වසර 50ක් පිරීම ද විශේෂත්වයකි.

වසර 2022 දී පැවැත්වෙන යොවුන් ඔලිම්පික් තරගාවලිය, ආසියානු තරගාවලිය 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය හා දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ ඉලක්ක කොට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගොඩ නැඟීම මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමේ දැවැන්ත අරමුණකි.

මෙම මුදල් ශිෂ්‍යත්වය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණු කටයුතු, පෝෂණ දීමනා හා බෙහෙත් විටමින් ඇතුළු වියදම් සඳහා යෙදවීමටත් පුහුණුකරුවන් වෙනුවෙන් ගෙවිය යුතු දීමනා වෙනුවෙන් යෙදවීමටත් අපේක්ෂා කෙරේ.

වයස අවුරුදු 20ට අඩු යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම මුදල් ශිෂ්‍යත්ව පිරිනැමෙන අතර ඊයේ දිනයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහක් සඳහා මුදල් පිරිනැමීම සංකේතාත්මකව සිදු කෙරුණි. අනෙක් දක්ෂ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15ක් ඉදිරියේදී පැවැත්වෙන ජාතික කනිෂ්ඨ ක්‍රීඩා තරගවල දක්වන විශේෂ දක්ෂතා අනුව තෝරා ගැනීමට අපේක්ෂා කරන බව ජාතික ඔලිම්පික් කමිටු මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවැසීය.

මෙම මුදල් ශිෂ්‍යත්ව පිරිනැමීමේ කටයුතු කොළඹ පදනම් ආයතනයේ පැවැති උත්සවයකදී ඊයේ ආරම්භ කළ අතර එහිදී කුරුණෑගල සාන්ත ජෝන් කොතලාවල මහ විදුහලේ මලල ක්‍රීඩක එච්. එච්. ආර්. එස්. ජයසුන්දර, වලල ඒ රත්නායක විදුහලේ මලල ක්‍රීඩිකා තරූෂි කරුණාරත්න, බද්දේගම අනගාරික ධර්මපාල විදුහලේ බර ඉසිලීමේ ක්‍රීඩක දේෂාන් කපිල කුමාර, පෝද්දිවෙල මහ විදුහලේ බර ඉසිලීමේ ක්‍රීඩිකා සචිනි රාජිකා ලක්සරණී හා ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා මෙම මුදල් ශිෂ්‍යත්ව ලබා ගත්හ.

ඔවුන්ට සෑම මාසයකම ස්ථීර මුදලක් හිමිවන අතර දක්ෂතා මැන බැලීමක් ද සිදු කෙරේ. සෑම මාසයකම ඔවුන්ගේ දක්ෂතා වර්ධනය වන ආකාරය අධීක්ෂණයට ලක් කෙරෙන අතර ඒ අනුව දිරි ගැන්වීමක් ලෙස මුදල් ශිෂ්‍යත්ව පිරිනැමීමට වැඩි කිරීමට කටයුතු කෙරේ.

ක්‍රීඩා කිහිපයකට පමණක් සීමා නොවී සෑම ක්‍රීඩා සංගමයක් කෙරෙහි අවධානය යොමු කරමින් මෙම වැඩපිළිවෙළ දියත් කිරීමට ජාතික ඔලිම්පික් කමිටුව කටයුතු යොදා ඇත. එබැවින් ඉදිරියේදී පවත්වන සෑම ජාතික කනිෂ්ඨ ක්‍රීඩා තරගාවලියක් කෙරෙහිම අවධානය යොමු කිරීමට විශේෂ වැඩ පිළිවෙළක් යොදා ඇතැයි ද ජාතික ඔලිම්පික් කමිටු මහ ලේකම්වරයා පැවැසීය.

නව අදහස දක්වන්න