තිත්තවැල්ල කුඹල් ගමේ දිරාපත්වන යන්ත්‍රවලට පණ දෙන්න | දිනමිණ


 

තිත්තවැල්ල කුඹල් ගමේ දිරාපත්වන යන්ත්‍රවලට පණ දෙන්න

හිරියාල මැතිවරණ කොට්ඨාසයේ කුඹුක්ගැටේ- තිත්තවැල්ල පාරම්පරික කුඹල් ගම්මානයේ මැටි ආශ්‍රීත නිෂ්පාදන දියුණු කිරීම සඳහා මීට වසර දොළහකට පෙර ඉදිකරන ලද පොදු පහසුකම් මධ්‍යස්ථානය විවෘත කළ දින පටන් මේ වනතුරු කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වසා දමා ඇතැයි මැටි භාණ්ඩ නිපදවන්නෝ පවසති. මේ ගම්මානයේ ජීවත්වන පිරිසගේ එකම ජීවනෝපාය වළං කර්මාන්තය වන අතර ඔවුන්ට නවීන තාක්ෂණික දැනුම ලබා දීම සඳහා රුපියල් ලක්ෂ ගණනක් වැය කොට ඉදි කළ මේ පොදු පහසුකම් මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කරන ලද්දේ 2009 පෙබරවාරි 11 වැනි දිනය.

මැටි ඇනීම, දිය කිරීම, පදම් කිරීම, ඇතුළු මැටි ආශ්‍රිත සියලු නිෂ්පාදනයන් පහසුවෙන් සහ කඩිනමින් සිදු කිරීමේ හැකියාව ඇති යන්ත්‍රෝපකරණ රැසකින් සමන්විත මේ පොදු පහසුකම් මධ්‍යස්ථානය මඟින් තමන්ට ඉමහත් පිටිවහලක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුව සිටි බැව් මැටි කර්මාන්තකරුවෝ කියා සිටිති. මේ ගොඩනැඟිල්ලේ ඇති රුපියල් ලක්ෂ ගණනක් වටිනා යන්ත්‍රෝපකරණ දිරාපත් වෙමින් තිබෙන බවද ඔව්හු පෙන්වා දෙති. මේ මධ්‍යස්ථානය විවෘත කරදෙන ලෙස පසුගිය රජයෙන් කිහිප වතාවක්ම ඉල්ලීම් කළ ද ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව පවසන ඔව්හු දැන් මැටි කර්මාන්තය වෙනුවෙන් වෙනම අමාත්‍යවරයෙකු් සිටින බැවින් මේ සම්බන්ධයෙන් සාධනීය පියවරක් ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ඔව්හු වැඩිදුරටත් පැවැසූහ.

නව අදහස දක්වන්න