ප්‍රමිතිය වළලන අවදානම් ඉදිකිරීම් | දිනමිණ


 

ප්‍රමිතිය වළලන අවදානම් ඉදිකිරීම්

අසේල කුරුළුවංශ

පළාත් පාලන ආයතන මඟින් අනුමැතිය ලබාගත් පසු අදාළ ඉදිකිරිම් එම අනුමැතීන්ට යටත්ව සිදුවන්නේද නැද්ද යන්න සොයා බැලීම සඳහා නිසි ක්‍රමවේදයක් කිසිදු පළාත් පාලන ආයතනයක් සතුව නොමැත. මහල් තුනකට අනුමැතිය ගත් පුද්ගලයා මහල් හතරක් හෝ පහක් දක්වා ඉදිකිරීම පුළුල් කළහොත් ඒ සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වන්නේ මහජන පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත් පමණි.

අධික බෑවුම් සහිත අවදානම් ස්ථානවල සිදුකර තිබෙන ඉදිකිරීම් නාගරික ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙයි. නාගරික ප්‍රදේශවල ඉඩම්වල මිල අධික වීමත් යම් ඉදිකිරීමක් කළහැකි හිස් ඉඩම් ඉතා සීමිත වීමත් නිසා පවතින ඉඩකඩෙන් උපරිම ප්‍රයෝජන ගැනීම පිණිස අහස උසට ගොඩනැඟිලි ඉදිකිරීමට බොහෝ අය පෙළඹෙති. තමන්ගේ ආර්ථික ශක්තියට ගැළපෙන ලෙස සැලසුමක් අනුව ඉදිකිරීමක් කිරීමෙන් අනතුරුව ආර්ථික පදනම ශක්තිමත් වෙත්දී ඉදිකළ ගොඩනැඟිල්ලට අලුතින් අංග එකතු කිරීමට ඇතැම්හු පෙළෙඹෙති. එවැනි අමතර බරක් දරා ගැනීමට ගොඩනැඟිල්ලේ පාදම ශක්තිමත් නොවූ විට සිදුවන්නේ එය කඩා වැටීමය. පසුකාලීනව අලුතින් අංග එකතු කිරීම අපේක්ෂා කරන්නේ නම් ඉදිකිරීම් ආරම්භයේදී ම ඒ ගැන සැලකිලිමත් වී පාදම දමා ගැනීමත් ඊට උචිත ඝනත්වය ඇති කම්බි ඉදිකිරීම්වලදී භාවිත කිරීමත් අතිශයින් වැදගත්ය. මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස් මහල් ගොඩනැඟිල්ල කඩා වැටීමත් සමඟ මෙම ඉදිකිරීම්වල ප්‍රමිතිය සම්බන්ධව දැඩි කතාබහක් නිර්මාණය වී ඇත. මෙතෙක් කල් අයාලේ ගිය ස්වභාවයක් පෙන්නුම් කළ මෙරට ඉදිකිරීම් අංශය නව මානයක් වෙත යොමු කිරීමට මෙම ඛේදවාචකය මඟ පාදා තිබේ. මෙම සිද්ධිය ඔස්සේ මතුව තිබෙන කාරණා සුළුවට නොතකා ඒ සම්බන්ධව ගැඹුරින් කල්පනා කර තීන්දු තීරණ ගැනීමට බලධාරීන් කටයුතු කළහොත් මින් ඉදිරියට හෝ මෙවැනි ව්‍යසන වළක්වා ගැනීමට හැකිවනු ඇත.

මහනුවර ගොඩනැඟිල්ල

අනුමත සැලසුමෙන් පිට ඉදිකිරීම් සිදු කිරීම, ප්‍රමිතියෙන් තොර අමුද්‍රව්‍ය භාවිතය, පවතින භූමියේ ස්වභාවය නිවැරදි ලෙස හඳුනා නොගැනීම මෙරට ගොඩනැඟිලි ඉදි කිරීමේදී බහුලව දක්නට ලැබෙන වැරදි කිහිපයකි. මහනුවර කඩා වැටුණු ගොඩනැගිලි ඉදිකිරීමේදී මෙම වැරදි සියල්ල කර තිබෙන බව පෙනෙන්නට තිබේ. මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා පවසන පරිදි නගර සභාව මගින් අනුමතකර තිබෙන්නේ සිව් මහල් ගොඩනැඟිල්ලකි. එය පස්මහලක් වී තිබෙන්නේ සැලසුමට පිටින් යමිනි. ගොඩනැඟිල්ල කඩා වැටී තිබෙන්නේ එහි බර කුළුණුවලට දරා ගැනීමට නොහැකිව බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහචාර්ය අතුල සේනාරත්න මහතා ස්ථාන පරීක්ෂාවකින් පසු පැවසුවේය. ගොඩනැඟිල්ල ඉදිකර තිබෙන ස්ථානය නිම්නයක් බවත් භූමියේ ස්වභාවය නිවැරැදි ලෙස හඳුනා නොගෙන මෙම ඉදිකිරීම සිදුකර තිබෙන බවත් පවසන්නේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා ය. මෙම කරුණු තුනෙන් එකක්,දෙකක් පමණක් නොව තුනම කඩ කරමින් ඉදිකළ ගොඩනැඟිලි මහනුවර පමණක් නොව තදාසන්න ප්‍රදේශ රැසක දක්නට ලැබෙයි. තිදෙනකුට මරු කැඳවමින් පස් මහල් ගොඩනැඟිල්ල කඩා වැටීමත් සමඟ දැන් මෙම ඉදිකිරීම් මොනවාද යන්න සෙවීම සඳහා බලධාරීන්ගේ පමණක් නොව සාමාන්‍ය ජනතාවගේද අවධානය යොමුව තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා අවදානම් සහිත තට්ටු ගොඩනැගිලි මොනවාද යන්න සොයා බැලීමට දස පුද්ගල කමිටුවක් පත්කර තිබේ. මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පළාත් අධ්‍යක්ෂ (සැලසුම්) ඩබ්ලිව්.එම්.ඒ වික්‍රමසිංහ මහතා සභාපතීත්වය දරන මෙම කමිටුවට නාගරික සංවර්ධන අධිකාරිය, මහනුවර මහ නගර සභාව, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය නියෝජනය කරමින් ඉංජිනේරුවරු සහ භූ විද්‍යාඥයින් ඇතුළත්ව සිටිති. මහනුවර නගර සීමාවේ අවදානම් ස්ථානවල අවදානම් ලෙස ඉදිකර තිබෙන ගොඩනැඟිලි පරීක්ෂාවට ලක්කර මෙම කමිටුව මගින් වාර්තාවක් ආණ්ඩුකාරවරයා වෙත බාරදීමට නියමිතය. ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට අවසර ලබා දීමට සපුරාලිය යුතු අවශ්‍යතා රැසකි. ඒ සියල්ල හඳුන්වාදී තිබෙන්නේ මහජන යහපත පිණිසය. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, පළාත් පාලන ආයතනයේ සැලසුම් අංශය ආදි ආයතන රැසක් මේ සම්බන්ධයෙන් කටයුතු කරයි. එසේ වුවත් අතයට ගනුදෙනුවලට අනවසර ඉදිකිරීම් සිදුවන බව රටම දන්නා කරුණකි. ඇතැම් පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් කිසිදු සොයා බැලීමක් නොකර හිතවත්කම් හා මුදල් මත සැලසුම් අනුමත කරදෙන අවස්ථා ඕනෑතරම් තිබේ. මහජනතාව පත්කර යවන නාගරික මන්ත්‍රීවරු අනවසර ඉදිකිරීම් රැක ගැනීමට මූලිකත්වය ගන්නා බවද ප්‍රසිද්ධ රහසකි.

මහනුවර මහ නගර සීමා බලප්‍රදේශයේ කඩා ඉවත් කිරීමට අධිකරණ නියෝග ලබාදුන් ගොඩනැඟිලි දෙසීයකට වැඩි ප්‍රමාණයක් තිබෙන බව මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා තමන්ට දැනුම්දුන් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පවසයි. එම නියෝග මෙතෙක් ක්‍රියාත්මක නොවීම නිසා ඒවා ඉදිකළ වුන් නගර සභාවට පස්ස හරවා පසුපසින් සිනා සෙනවාට සැක නැත.

දේශපාලන බලපෑම්

පළාත් පාලන ආයතන කරන්නේ නාගරික සංවර්ධන පනතට අනුව අධිකරණයෙන් අනවසර ඉදිකිරීම කඩා ඉවත් කිරීමේ නියෝගයක් ගැනීම බවත් එම නියෝගය ලැබෙන විට අදාළ ඉදිකිරීම සිදුකර අවසන් බවත් පවසන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සිවිල් අධිකරණයට ගොස් තහනම් නියෝගයක් ගැනීම ඊට වඩා පහසු බව පෙන්වා දෙයි. ඉදිරියේදී මෙය මධ්‍යම පළාතේ ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන බව ඒ මහතා පවසන්නේ හතු පිපෙන්නාක් මෙන් මතුවන අනවසර ඉදිකිරීම් නතර කිරීමට වෙනත් මඟක් නොමැති නිසා වන්නට පුළුවන. අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීම වැළැක්වීමේ ක්‍රියාවලිය පසුපස දේශපාලන බලපෑම් එමට තිබෙන බව සැවොම දන්නා කරුණකි. එහෙත් එය නිලධාරීන් එළිපිට කතා කරන්නට මැළි වන්නේ අනවසර ඉදිකිරීම කඩා ඉවත් කරනවාටත් වඩා ඉක්මනින් නිලධාරියාට ඉවත් වීමට සිදුවන බැවිනි.

මහනුවර පමණක් නොව රටේ බොහෝ ස්ථානවල අවදානම් සහිත ගොඩනැගිලි තිබෙන බවත් ඒවා සම්බන්ධව විධිමත් විමර්ශනයක් සිදුකිරීම කාලෝචිත අවශ්‍යතාවක් බවත් මහචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. මෙතනදී රාජ්‍ය අංශ වගේම ජනතාවත් අවංක විය යුතුය. තමන්ගේ ගොඩනැඟිල්ල අවදානම් ස්ථානයක පිහිටා තිබෙන්නේ නම් එහි ඉදිකිරීම් ප්‍රමිතිය ගැන තමන්ට අවිශ්වාසයක් තිබෙනවා නම් වහාම ආපදා කළමනාකරන මධ්‍යස්ථානයට දැනුම්දී අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා ගන්නා ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා කීය. ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේදී පිහිටි පොළොව දක්වා ගමන්කර කම්බි ඒ මත සිට ඉහළට ගෙන ඒමෙන් ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දෙන ගොඩනැඟිල්ලක් ඉදිකළ හැකි බවත් සැලසුම් අනුමත කරගත් පසු තමන්ට අවශ්‍ය ලෙස ගොඩනැඟිලි ඉදිකිරීමට යාම අනතුරුවලට පාර කපා ගැනීමක් බවත් හෙතෙම අවධාරනය කළේය. මෙරට දිස්ත්‍රික්ක හයක නාය යෑමේ අවදානම් සහිත ස්ථාන 1884 වසරේදී සිතියම් ගතකළ බවත් එම අනතුරුදායක ස්ථානවල ඉදිකිරීම් කරන විට භූ විද්‍යා හා පතල් කාර්යාංශයේත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේත් නිර්දේශ ලබා ගැනීම වැදගත් බවත් සැලසුම් අනුමත කරන ආයතන අදාළ අනුමැතීන් ලබා දෙන්නේ මෙම නිර්දේශ මත බවත් හෙතෙම පැවසුවේය. මෙම ක්‍රියාවලිය එක් තැනකින් හෝ බිඳුණොත් ආරක්ෂිත ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේ අවකාශය අහිමිවී යාමේ අවදානමක් පවතින බවත් එය ගොඩනැඟිලි හිමිකරුට පමණක් නොව සෙසු ජනතාවටද ප්‍රශ්නයක් වන අවස්ථා දැකිය හැකි බවත් මහචාර්යවරයා කීය. 

පළාත් පාලන ආයතන මගින් අනුමැතිය ලබාගත් පසු අදාළ ඉදිකිරිම් එම අනුමැතීන්ට යටත්ව සිදුවන්නේද නැද්ද යන්න සොයා බැලීම සඳහා නිසි ක්‍රමවේදයක් කිසිදු පළාත් පාලන ආයතනයක් සතුව නොමැත. මහල් තුනකට අනුමැතිය ගත් පුද්ගලයා මහල් හතරක් හෝ පහක් දක්වා ඉදිකිරීම පුළුල් කළහොත් ඒ සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වන්නේ මහජන පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත් පමණි. සැලසුමක් අනුමත කරගත් පසු වැඩි දෙනකු කරන්නේ කොන්ත්‍රාත් සමාගමක් මගින් ඉදිකිරිම් කරවා ගැනීමය. නැතහොත් පෙදරේරු වෘත්තියේ නිරත පුද්ගලයකුට වැඩේ පැවරීමය. ඉදිකිරීම සඳහා ඔවුන් යොදන ප්‍රමිතිය සම්බන්ධව හිමිකරු අවධානය යොමුකරන අවස්ථා ඉතා අඩුය.

නිවැරැදි කර ගැනීම

වැයවන මුදල අවමකර ගැනීම සඳහා ඇතැම් ඉදිකිරීමේ සමාගම් ප්‍රමිතියෙන් තොර යකඩ හා කොන්ක්‍රීට් යොදනු ලබයි. මහනුවර කඩා වැටුණු ගොඩනැඟිල්ල ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ගෙන තිබුණේද දිවයිනේ ප්‍රසිද්ධ කොන්ත්‍රාත් සමාගමක් මගිනි. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් පසුගියදා යකඩ කම්බි, කොන්ක්‍රීට් ඇතුළු ඉදිකිරීමට යොදාගත් ද්‍රව්‍යවල සාම්පල පරීක්ෂාව සඳහා රැගෙන ගියේය. එහි ප්‍රතිඵල නුදුරේදීම ලැබීමෙන් පසු මෙහි ඉදිකිරීම්වල තත්ත්වය සම්බන්ධව නිශ්චිත ප්‍රකාශයක් කිරීමට හැකිවනු ඇත.

අවදානම් මට්ටමක තිබෙන ගොඩනැඟිල්ලක් ස්ථාවර කිරීමේ ක්‍රම තිබෙන බවත් යම් කෙනකුට තමන්ගේ ගොඩනැගිල්ල සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිකිරීම් ඉංජිනේරුවරයකු හමුවී අදහස් ලබාගත හැකි බවත් මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පළාත් අධ්‍යක්ෂ (සැලසුම්) ඩබ්ලිව්.එම්.ඒ වික්‍රමසිංහ මහතා පවසයි. මුලින්ම සැලසුම් කර ස්ථාවර ගොඩනැඟිල්ලක් හදනවාට වඩා අස්ථාවර ගොඩනැඟිල්ලක් යළි ස්ථාවර කිරීමට අතිවිශාල මුදලක් වැයවන බවත් මේ නිසා සැලසුම ගොඩනගන අවස්ථාවේ සිටම ඒ ගැන සැලිකිලිමත් වීම වැදගත් බවත් ඒ මහතා පවසයි.

ඡායාරූප-රුවන් මීගම්මන

නව අදහස දක්වන්න