පොදු ජනයාගේ රාජ්‍ය පාලකයා! | දිනමිණ

පොදු ජනයාගේ රාජ්‍ය පාලකයා!

ගමෙන්-ගමට, නගරයෙන්-නගරයට යමින් ජනතා ගැටලු විචාරන රාජ්‍ය නායකයකු මීට පෙර අප දැක නැත. අපේ දේශපාලන සංස්කෘතිය තුළ පැළපදියම් වී ඇති කුප්‍රකට ලක්ෂණය වන්නේ ඡන්දයක් ආසන්නයේදී ජනතාවට කාරුණික වීම හා බලය ලබාගත් පසු ජනතාව අමතක කිරීමේ සම්ප්‍රදායයි. වත්මන් රාජ්‍ය නායකයා ඒ ක්‍රමය මුළුමනින් ම වෙනස් කර තිබේ. ඔහුගේ රාජ්‍ය පාලන සංකල්ප හා රට ගොඩනැඟීමේ න්‍යාය පාදක කර ගන්නේ ජනතාව අංක එකෙහි තබා ගනිමින්ය. ජනතාව වැදගත් කොට සලකන ආර්ථික විද්‍යාවක් හා දේශපාලන විද්‍යාවක් ජනාධිපතිවරයා ළඟ තිබේ. එය මෙරට දේශපාලනයේ හා රාජ්‍ය පාලනයේ බලවත් වෙනසකට හේතු-සාධක වෙයි.

ගමෙන්-ගමට යන වැඩසටහන ඊයේ ආරම්භ වූයේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රදේශයේ කුඩා ගම්මානයකින් ය. බදුල්ල-මොනරාගල වැනි දිස්ත්‍රික්ක දිළිඳුකමේ සංකේත ලෙස ද දුෂ්කර ම භූගෝලීය කලාප ලෙස ද සටහන් වී ඇත. මෙබඳු ප්‍රදේශවලට රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු වන්නේ ඉතා කලාතුරෙකින්ය. පාසල් වැසී යෑම, මාර්ග අබලන් වීම, කෘෂිකර්මය අසාර්ථක වීම හා නිලධාරීන්ගේ දැඩි ග්‍රහණයට පොදු ජනයා හසු වී සිටීම මෙබඳු කලාපවල පොදු ලක්ෂණය වෙයි. සංවර්ධනයේ අරුණලු නොදකින ප්‍රදේශ ලෙස ද මේවා හඳුන්වනු ලැබේ. ඒ සියලු අභාග්‍යයන් වෙනස් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ පැමිණීම යොදා ගත හැකිය.

ඉහත ගම්මානයට ගිය රූපවාහිනී කණ්ඩායමක් ජනතා අදහස් විමසමින් පූර්ව ප්‍රචාරක වැඩසටහනක් සම්පාදනය කර තිබිණි. එහිදී එක්තරා ගැමියෙක් සතුටු කඳුළු වගුරවමින් කියා සිටියේ අපේ ගමට කවදාවත්ම ජනාධිපතිවරයකු පැමිණ නැති බවය. ජනාධිපතිවරයා ගමට පැමිණීම බලාපොරොත්තු දල්වන සුළු අවස්ථාවෙකි. පාසල් යන දැරියක් අපේ ඉස්කෝලෙට නැටුම් - චිත්‍ර - සංගීතය උගන්වන්නට කෙනකු නෑ යැයි මැසිවිල්ලක් ඉදිරිපත් කළාය. පාර හදල දෙන්න යැයි පිරිසක් ඉල්ලා සිටිති. ජනාධිපතිවරයා ඉදිරියේ තමන්ගේ ගැටලු කියන්නට බොහෝ දෙනෙක් කැමැත්තෙන් සිටිති. එය විශ්වාසවන්ත විසැඳුම් මාර්ගයක් ලෙස ගැමියෝ සලකති.

ගම්වල ඇති ඇතැම් ගැටලු පහසුවෙන් විසැඳිය හැකිය. අවශ්‍ය වන්නේ ආයතනවල හා නිලධාරීන්ගේ අවධානය ඒ කෙරෙහි යොමු කිරීමය. ඇතැම් පාසල්වල ගුරු හිඟයක් පවතින අතර, ඇතැම් පාසල්වල ගුරු අතිරික්තයක් පවතී. මේවා සමාලෝචනය කරන වැඩසටහනක් අපට නැත. ගුරු සේවයට අලුතින් සැලැකිය යුතු පිරිසක් බඳවාගෙන තිබේ. මේ අය රාජ්‍ය සේවකයන් වන බැවින් නිශ්චිත කාලසීමාවක් තුළ දුෂ්කර සේවයක ද නිරත විය යුතුය. එය රට වෙනුවෙන් සිදු කරන යුතුකමක් බව රාජ්‍ය සේවකයන්ට ඒත්තු ගැන්වීම ඉතා වැදගත්ය. අවශ්‍ය වන්නේ මේ සඳහා සංවිධානගත වීම ය.

ජනාධිපතිවරයා වරක් පෙන්වා දුන්නේ ගැමියන්ගේ ඇතැම් ගැටලු ඉතා සරල හා පොදු ඒවා වන බවය. නිලධරයකුගේ එක අස්සනකින් විසඳාගත හැකි ගැටලු ඒ අතර පවතී. එහෙත් නිලධරයා අවශ්‍ය අස්සන ලබා දෙන්නේ නැත. ඒ සඳහා කල්මරයි. තීරණ ගැනීම කල්හරියි. රාජ්‍ය නායකයා ගමකට ගිය පසු එම තත්ත්වය වෙනස් වෙයි. ආයතනවල මෙන් ම උසස් නිලධාරීන්ගේ ද අවධානය වහා ම ගම වෙත යොමු වෙයි. රාජ්‍ය නායකයාගේ වැඩසටහන්වලට කැමැත්තෙන්ම ඉදිරිපත් වී වැඩ කිරීමට ද නිලධාරීන් තුළ කැමැත්තක් තිබේ. ඒ සියල්ලටම කදිම අවස්ථාවක් දැන් උදා වී ඇත. එය සංවර්ධනය පිළිබඳ අලුත් අත්හදා බැලීමකි.

ජනතාවගේ ඇත්ත ගැටලු නායකයන් විසින් හඳුනාගත යුතුව තිබේ. එහෙත් අපේ ක්‍රමයට අනුව ඊට ඉඩක් නැත. නායකයා ජනතා ගැටලු හඳුනාගන්නේ එක්කෝ නිලධාරී පැළැන්තියේ මාර්ගයෙන්ය. නැතහොත් මන්ත්‍රීවරුන්ගේ මාර්ගයෙන්ය. මේ මාර්ග දෙකම සාර්ථක නැති බව අපගේ පිළිගැනීමය. නිලධාරියා කටයුතු කරන්නේ වැඩ පමා කරන තැනෙක සිටය. මන්ත්‍රීවරයා කටයුතු කරන්නේ තමන්ගේ පක්ෂයේ හෝ තමන්ගේ හෝ වාසියට වැඩි බර තබමින්ය. රාජ්‍ය නායකයා ජනතාව හමුවට යෑමෙන් මේ සියල්ල වෙනස් කළ හැකිය. එහි සාධනීය ලක්ෂණ දෙකක් ඇත. පළමුවන්න ජනතා ගැටලුවල සැබෑ තත්ත්වය වටහා ගැනීමට හැකි වීමය. දෙවන්න නිවැරැදි විසැඳුම් මාර්ග තීරණය කිරීමට අවස්ථාව ලැබීමය.

නයිජීරියාවේ මහා ලේඛක චිනුවා අචෙබෙ පොදු ජනයාගේ මිනිසෙක් නමින් ප්‍රබන්ධ කථාවක් ලියා තිබේ. එම කෘතියෙන් අවධාරණය කරන්නේ සමාජ නායකයා පොදු ජනයාට සමීප වීම අවශ්‍යයෙන්ම සිදු විය යුතු බවය. එසේ නොවන සෑම අවස්ථාවක්ම අසාර්ථක අවස්ථාවක් බව අචෙබෙ සඳහන් කරයි. චිනුවා අචෙබෙ යනු නයිජීරියාවේ දේශපාලනය හා එහි නායකයන් දැඩි ලෙස විවේචනයට ලක් කළ නිර්භීත ලේඛකයෙකි. ඔහුගේ අදහස වූයේ නයිජීරියානු නායකයන් කිසි කලෙක පොදු ජනයාට ඇහුම්කන් දුන්නේ නැති බවය. රටක් අවුල් ජාලාවක් බවට පත්වීමට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ නායකයන් පොදු ජනයා අමතක කොට කටයුතු කිරීමය.

ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය නායකයාගේ දේශපාලනය ආරම්භ වන්නේ ද පොදු ජනයාට සමීප ක්‍රියාවලියක් හැටියටය. ඔහු ජනාධිපති අපේක්ෂකත්වයට පත්වන්නේ පොදු ජනයාගේ ඉල්ලීම මතය. ඔහු ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නේ ද බහුතර ජනයාගේ කැමැත්ත නිසාය. වත්මන් ජනාධිපතිවරයා යනු පොදු ජනයාගේ අපේක්ෂාව හා විශ්වාසය ලෙස සැලැකිය හැකිය. එබඳු නායකයකුට ජනතාව අමතක කොට රාජ්‍ය පාලනය ගෙන යා නොහැකිය.

නව අදහස දක්වන්න