බංග්ලාදේශ ක්‍රිකට් පිලට කොරෝනා වසංගතය විහිළුවක් | දිනමිණ


 

බංග්ලාදේශ ක්‍රිකට් පිලට කොරෝනා වසංගතය විහිළුවක්

ප්‍රින්ස් ගුණසේකර

- දින 7ක් හෝටලයේ ඉන්න බෑ කියයි
- නිරෝධායනය දින 3ක් කරන ලෙස අලුත් ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව සිටි බංග්ලාදේශ ක්‍රිකට් පිල මෙතෙක් තිබූ නිරෝධායන සම්බන්ධ ස්ථාවරය වෙනස් කරමින් ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත තවත් ලිපියක් යොමු කිරීමෙන් සංචාරය යළි අර්බුදයකට ලක්ව තිබේ.

මුලින් නිරෝධායන කාල සීමාව දින හතක් දක්වා අඩු කරන ලෙස බංග්ලාදේශ ක්‍රිකට් කළමනාකාරීත්වය ඉල්ලීම් කළ ද ඊයේ යොමු කළ ලිපියෙන් නිරෝධායන කාලසීමාව දින 3ක් විය යුතු බව දැනුම් දීමෙන් මේ නවතම අර්බුදය නිර්මාණය වී ඇත.

ශ්‍රී ලංකාවට ඇතුළු වන සෑම පුද්ගලයෙකුම කොරෝනා ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා දින 14ක ජාතික සැලැස්මක් ක්‍රියාත්මක වෙද්දී ඔවුන් කලින් කරන ලද දින 7ක ඉල්ලීම පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබූ අතර, ඊයේ යොමු කළ ලිපියෙන් බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරය නියමිත පරිදි පැවැත්වීමට නොහැකි වනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

ටෙස්ට් තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා සංචාරයට හෙට දින බංග්ලාදේශ කණ්ඩායම පැමිණිය යුතුව තිබිණි. ඒ සඳහා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෛද්‍ය දෙපාර්තමේන්තුව විසින් ඊයේ එරටදී පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා වන කොරෝනා වයිරස පරීක්ෂණය ද කල් දමා තිබේ.

“සංචාරය අවිනිශ්චිත බැවින් කොරෝනා වයිරස පරීක්ෂණය නතර කළා. නව කාලසටහනක් සකස් කර ඉදිරියේදී අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරනවා”යනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෛද්‍ය ප්‍රධානී ඩෙබාෂිස් චෞද්රි මාධ්‍ය වෙත පැවැසීය.

මේ තරග සංචාරය පසුගිය අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණ ද කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් දින නියමයක් නැතිව කල් දැමුණි. එහෙත් ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය යම් දුරකට පාලනය වී ඇති හෙයින් බංග්ලාදේශ පිලේ තරග සංචාරය සැප්තැම්බර් - ඔක්තෝබර් අතරතුර පැවැත්වීමට දෙරට ක්‍රිකට් පාලක මණ්ඩල එකඟතාවකට පැමිණියහ.

ඒ අනුව බංග්ලාදේශ ක්‍රිකට් පිල හෙට ශ්‍රී ලංකාවට පැමිණ දින 7ක නිරෝධායනයෙන් පසු පුහුණුවීම් ආරම්භ කිරීමට කලින් අවසර ඉල්ලා තිබිණි. අයි.සී.සී. ටෙස්ට් ශූරතාවලියට අයත් මේ ටෙස්ට් තරග සංචාරය පැවැත්වීමට නම් බංග්ලාදේශ පිල මේ මස 27 වැනිදා පැමිණ ලබන මස 10 වැනිදාට පසුව පුහුණුවීම් ආරම්භ කිරීමට කැමැති විය යුතුව තිබිණි.

බංග්ලාදේශ පිල අවසන් වරට ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ 2017 වසරේ මාර්තු මාසයේදී වන අතර, තරග 2කින් සමන්විත වූ එම තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ජයගත් අතර, පී. සරා ඒවල් පිටියේ පැවැති දෙවැනි තරගය බංග්ලාදේශය කඩුලු 4කින් ජය ගත්තේය. එම තරගය බංග්ලාදේශය ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ පළමු ටෙස්ට් ජයග්‍රහණය ලෙස ඉතිහාස පොතට එක්විය.

කොරෝනා වයිරසය හේතුවෙන් ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය පැවැත්වීමට නොහැකි වුවහොත් මේ වසරේ ශ්‍රී ලංකාවේදී කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ අවස්ථා අහිමි වී යනු ඇත.

නව අදහස දක්වන්න