පොලොන්නරුවේ ඉන්දු - ශ්‍රී ලංකා ත්‍රෛභාෂා පාසල දැන් සුදු අලියෙක් | දිනමිණ

පොලොන්නරුවේ ඉන්දු - ශ්‍රී ලංකා ත්‍රෛභාෂා පාසල දැන් සුදු අලියෙක්

ඉන්දියානු ආධාර යටතේ රුපියල් මිලියන 1200ක මුදලක් වැය කරමින් පොලොන්නරුවේ ඉදි කළ ශ්‍රි ලංකා ඉන්දියා මිත්‍රත්ව ත්‍රෛභාෂා පාසල මේවන විට සුදු අලියකු බවට පත්ව ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසති.

ශ්‍රී ලංකා ඉන්දියා සහ ජාතික සංහිදියාව තහවුරු කරමින් වාර්ගික හා ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිතව නව ජාතික පාසලක් ඉදිකිරීම සඳහා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සින්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව කඳුරුවෙල නගරය අසන්නයේ 2017-10-29 දින මුල්ගල තබා එම පාසලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළා.

මේ වන විට එහි එම පාසලේ ඉදිකිරීම් කටයුතු දෙමහල් ගොඩනැඟිල්ලක් ලෙස ඉදිකර තිබුණත් එහි කටයුතු නිමා නොකර වසර කීපයක් ගතව ඇතැතත් මේ වන විට අඩක් නිමවා ඇති එම ගොඩනැඟිල්ලේ ඇති වටිනා දේවල් ඇතැම් අය විසින් ගලවාගෙන ගොස් ඇති බවත් මත් ලෝලින්ගේ සහ විවිධ නීති විරෝධී කටයුතු සිදු කරන පුද්ගලයන්ගේ රජ දහනක් බවට පත්ව ඇති බව ප්‍රදේශවාසීහු කියති.

මේ සඳහා ඉන්දීය රජය විසින් ලබා දුන් රුපියල් මිලියන 1200ක මුදලට එවකට ආණ්ඩුව විසින් ගිල දැම්මාද ? එසේත් නැතිනම් මෙය ඉදිකිරිම් භාරව කටයුතු කළ කොන්ත්‍රාත් සමාගම ගිල දැම්මා ද? මේවන විට මෙම ගොඩනැඟිල්ලේ තිබුණු වටිනා දැව සහ යකඩ විවිධ පුද්ගලයන් විසින් හොර රහසේ රැගෙන ගොස් තිබේ. එම නිසා මෙම ගොඩනැඟිල්ල වැඩ නිමකර ත්‍රෛභාෂා පාසල ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස හෝ එසේ නොමැති නම් මහජනතාවට අත්‍යවශ්‍ය කාර්යාල ගොඩඟිල්ලකට භාවිතයට ගැනීමට කටයතු කරන ලෙස ප්‍රදේශයේ ජනතාව වර්තමාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි.

මෙම ගොඩනැඟිල්ලේ ඉදිකිරිම් කටයුතු නවතා දැමිම පිළිබඳ පොලොන්නරු දිස්ත්‍රික් කාර්යාලයෙන් විමසිමක් කළ විට එහි සිටි නිලධාරියකු පවසා සිටියේ එහි පාරිපාලන කටයුතු සිදු කරන්නේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් බවයි.

පසුව පොලොන්නරුව කලාපය බාර අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයෙන් විමසා සිටි අතර එහි නිලධාරියකු පවසා සිටියේ උතුරු මැද පළාත් අධ්‍යාපන කාර්යාල වලින් විමසන ලෙසයි. ඒ අනුව උතුරු මැද පළාත් අධ්‍යපන අධ්‍යක්ෂිකාව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් නොහැකිවිය.

නව අදහස දක්වන්න