අභියෝග හමුවේ නොවැටෙන රටක ආර්ථික දිශානතිය | දිනමිණ


 

අභියෝග හමුවේ නොවැටෙන රටක ආර්ථික දිශානතිය

මුළු ලෝකයටම වසංගතයක් වී, ආර්ථික, සමාජීය කටයුතු මුළුමනින්ම බිඳ වැටෙද්දී, අප රටට ද මේ වසංගතයෙන් පීඩා එල්ල විය. එය, ලෝකයේ සංවර්ධිත හා දියුණුම රටවලට එල්ල වූ පීඩනයට වඩා සිය දහස් ගුණයක් අඩුවෙන් පාලනය කර ගැනීමට, වර්තමාන ශක්තිමත් රාජ්‍ය නායකත්වය සමත්වී තිබේ. එය අප ලැබූ විශාල ජයග්‍රහණයකි. කොවිඩ් වසංගතය හමුවේ අප රටේ ද ආර්ථික කටයුතු මුළුමනින්ම නතර කර, මාස තුනක කාලයක් ගත විය.

2015 සිට 2019 දක්වා කාල පරිච්ඡේදයේදී රටේ ආර්ථික තත්ත්වය සෑම අංශයකින්ම පිරිහීමට ලක් විය. ඊට ප්‍රථම වාර්ෂිකව 6% ඉක්මවූ ආර්ථීක වර්ධන වේගයක් වාර්තා කළ පාලන කාලයේ, අප රට ‘මුඩුබිමක්’ නොව ‘එකම වැඩ බිමක්’ බවට පත්ව තිබිණි. එදවස මෙරට පාලනය ගෙන ගිය වර්තමාන අගමැති හා මුදල් ඇමැති ධුරය දරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ අපට අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදු විය. පළමුවැන්න නම්, තිස් වසරක් පුරා පැවැති මහා බියකරු ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදයයි. දෙවැන්න වසර 2008 නැඟෙගෙනහිර ආසියාවේ ඇරැඹි මූල්‍ය අර්බුදයයි. තෙවැන්න ලෝක වෙළෙඳ පොළේ විශාල ලෙස බොරතෙල් මිල ඉහළ යෑම නිසා ඇති වූ විදේශ වෙ‍ෙලඳාමේ හිඟයයි. සිව්වැන්න ස්වාභාවික විපත් මුල් කර ගත්, කිසිවකුට නවතාලිය නොහැකි ආපදායි.

මෙවන් ඉතා අභියෝගාත්මක තත්ත්ව හමුවේ පවා රටේ ත්‍රස්තවාදය රණ බිමේදී සම්පූර්ණයෙන්ම පරාජයට පත් කරමින්, ‍එමෙන්ම රට පුරා විහිදුණු ආර්ථික යටිතල පහසුකම් සංවර්ධන වැඩපිළිවෙළක් ද එවකට ක්‍රියාවට නැංවිණි. ජනතාවගේ සුබසාධනය පෙර කවරදාටවත් වඩා ශක්තිමත් කළේය. එලෙස පැවැති රජයක් බිඳ දමා බලයට පත් යහපාලන රජය, රට ආපසු අප වෙත බාර දෙන විට ආර්ථිකය මුළුමනින්ම කඩා බිඳ දමා විනාශයට පත්කර තිබිණි.

 

ආර්ථික වර්ධනය

මේ විනාශය මෙතරම් වේගවත් වීමට පාස්කු ඉරිදා ප්‍රහාරය හේතු විය. එවකට පැවැති පාලනයේ මූල්‍ය කළමනාකරණය ප්‍රධාන, ආණ්ඩු කිරීමේ දුර්වලතා මූලිකවම බලපා තිබිණි. ජනතාව අත ගැවසෙන මුදල් හිඟව පැවතිණි. රටට විදේශ ආයෝජන තබා, දේශීය ආයෝජකයන් හෝ අලුත් යමක් කිරීමට උනන්දු නොවන තත්ත්වයක් මතුව තිබිණි. මේ සියල්ල හරහා 6% ක වාර්ෂික ආර්ථික වර්ධන වේගයක් පැවැති අප රට, 4.1%ක හෝ ඊටත් පහළ ආර්ථික වර්ධනයක් වාර්තා කරන තත්ත්වයක් කරා ඉතා කනගාටුදායක ලෙස ගෙනැවිත් තිබිණි. එලෙස ඉතා කනගාටුදායක තත්ත්වයකට අප රටේ ආර්ථිකය බිම හෙළූ අවස්ථාවක, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම තනතුරට පත් වීමෙන් පසු, නැවත එම වැඩසටහන බලගැන්වීමට වැඩපිළිවෙළ සැකසිණි. ඉතා දැඩි බදු බරකින් පීඩා විඳි මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ප්‍රජාවට සහ පාරිභෝගික ජනතාවට විශාල අස්වැසිල්ලක් ලබා දෙමින්, පළමුව බදු සහන සහ බදු අහෝසි කිරීම් ගණනාවක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නියමයෙන් ලබාදුනි. එහිදී වර්තමාන අගමැතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස අප සමඟ ප්‍රකාශ කළේ, කෙතරම් අභියෝගාත්මක කටයුත්තක් වුවත්, රජයේ ආදායම් කෙතරම් අහිමි වුවත්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයාට, පාරිභෝගිකයාට සහ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට බදු ක්‍රමය හරහා ලබා දෙන සහන ලිහිල් කළ යුතු බවය.

ඒ අනුව, නව බදු සංශෝධන ගණනාවක් සිදු කර, බදු බර පහත හෙළීය. ඊට අමතරව සමහර බදු මුළුමනින්ම අහෝසි කළේය. සමහර බදු ගෙවීමට ලබාදී තිබූ සහන කාලය දීර්ඝ කළේය. එපමණක් නොව, රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට තම වැටුප් මත ගෙවීමට සිදුවූ ආදායම් බදු සීමා ඉහළ නංවා, සුවිසල් සහනයක් එක්කෙරිනි. මෙලෙස බලයට පත් සැණින් රජය ක්‍රියාත්මක කළ බදු සහන යටතේ ආර්ථිකයේ යම් පිබිදීමක් ඇති කිරීමට ජවය සැපයිනි. එලෙස ජවය සැපයීමේදී එතෙක් බදු ගෙවූ පිරිස අත බදු සහන නිසා මුදල් ඉතිරි විණි. මේ මුදල් නව ආයෝජන ලෙස හෝ ඉතිරි කිරීම් ලෙස හෝ ක්‍රියාවට නංවා, ඒ මඟින් අකර්මණ්‍ය වූ ශ්‍රී ලංකා ආර්ථිකය නැවත බලගැන්වීම රජයේ අපේක්ෂාව විය. මේ අන්දමට ඉතා කුඩාවට බලගැන්වීම ආරම්භවූ ශ්‍රී ලංකා ආර්ථිකයට නැවත වතාවක් මහත් අභියෝගයකට මුහුණ දීමට සිදු විය. එය ඔබ අප කවුරුත් දන්නා කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වයයි.

මුළු ලෝකයටම වසංගතයක් වී, ආර්ථික, සමාජීය කටයුතු මුළුමනින්ම බිඳ වැටෙද්දී, අප රටට ද මේ වසංගතයෙන් පීඩා එල්ල විය. එය, ලෝකයේ සංවර්ධිත හා දියුණුම රටවලට එල්ල වූ පීඩනයට වඩා සිය දහස් ගුණයක් අඩුවෙන් පාලනය කර ගැනීමට, වර්තමාන ශක්තිමත් රාජ්‍ය නායකත්වය සමත්වී තිබේ. එය අප ලැබූ විශාල ජයග්‍රහණයකි. කොවිඩ් වසංගතය හමුවේ අප රටේ ද ආර්ථික කටයුතු මුළුමනින්ම නතර කර, මාස තුනක කාලයක් ගත විය. අනතුරුව , සෞඛ්‍යාරක්ෂිත ක්‍රම යටතේ රට විවෘත කළ ද, තවමත් සියයට සියයක් තත්ත්වය පහව ගොස් නොමැත. එනමුත් අප රටේ මේ වන විට ආර්ථිකයේ යම් පිබිදීමක් ඇතිව තිබේ. ඒ පිළිබඳ කතිකා කිරීමට ප්‍රථම අප කොවිඩ් 19 වසංගතය හමුවේ රට වසා තැබූ මාස කිහිපයේ ආර්ථිකයේ සහ මහජනතාවගේ සුභසිද්ධිය උදෙසා රජය ගනු ලැබූ ක්‍රියාමාර්ග, ඒවායින් අත් වූ ප්‍රතිලාභ පිළිබඳ සිහිපත් කර බලමු.

පළමුව රට වසා තැබූ ‍මොහොතේ මේ ‍රටේ ජනතාවට තම ජීවනෝපාය අහිමිව, කිසිවක් කර කියා ගත නොහැකිව සිටි මොහොතේ, ජීවිතය පවත්වාගෙන යෑමට අතදීමක් ලෙස රජය අවශ්‍යම පිරිස් තෝරා, මාසිකව රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට පියවර ගත්තේය. මෙලෙස ලබා ගත්, ආපසු නොගෙවන දීමනාව නිසා, ජනතාවට යම් ආකාරයක සහනයක් ලැබුණු බව නොරහසකි. ඊට අමතරව, කොවිඩ් වසංගතය නිසා බිඳ වැටුණු ව්‍යාපාර යළි ශක්තිමත් කිරීම සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙහෙයවීම මත, සෞභාග්‍යා පුනරුද ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරිනි. එහිදී, 4%ක් තරම් වූ අඩු පොලියක් යටතේ ව්‍යාපාර යළි ඇරැඹීමට කාරක ප්‍රාග්ධනය බැංකු පද්ධතිය හරහා ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබා දුන්නේය. මේ සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා, ශ්‍රී ලංකා මහ බැංකුවට සෘජු උපදෙස් ලබා දෙමින්, එම වැඩපිළිවෙළ වේගවත් කිරීමට පියවර ගත්තේය. ශ්‍රී ලංකා මහ බැංකුව මේ කාරක ප්‍රාග්ධන ණය වැඩසටහන යටතේ රුපියල් කෝටි 15000ක මුදලක් ලබා දීමට ඇස්තමේන්තු කළේය. ඒ අනුව දැනටමත් එම මුදල අබිබවා බැංකු මඟින් ණය ලබාදීමට මහ බැංකුව අනුමැතිය දී ඇත.

මෙවන් මූල්‍යාධාර යටතේ යළිත් ශක්තිමත් ව්‍යාපාර ආරම්භ කළ පරිසරයක, අප රටේ අපනයන ආදායම වැඩි වීමට පටන්ගෙන තිබේ. සියයට දෙකක, තුනක ප්‍රතිශතයකින් අපනයන ආදායම වැඩි වී තිබෙන අතර, එය තව දුරටත් ඉදිරියේදී වර්ධනය වනු ඇත. මීට අමතරව ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩු වීමේ වාසිය, සංචාරක ව්‍යාපාරයෙන් අහිමි වූ මුදලින් කොටසක් වක්‍රාකාරයෙන් පාලනය කර ගැනීමට අපට පහසු වී තිබේ.

මෙරට භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර සඳහා නැවත විදේශ ආයෝජන ගලා ඒමක් දක්නට ලැබේ. වසර 2014දී අමෙරිකානු ඩොලර් මිලියන 3400ක් වූ එම ආයෝජන ප්‍රමාණය, වසර 2018 නිමා වන විට ඩොලර් මිලියන 500 දක්වා අඩුවී තිබිණි. එය වසර 2019 නිමා වනවිට ඊටත් පහළට ඇද දමා තිබිණි. එනමුත් අප නැවත වතාවක් රුපියලේ අගය අඩු නොවන ආකාරයට විදේශ ආයෝජකයන්ට ඔවුන් රැගෙන එන ඩොලර් සඳහා මුදල් ලබා දීමට එකඟතාවක් ඇති කරගෙන, නව ක්‍රමෝපාය හඳුන්වා දීමට ගත් පියවර නිසා, නැවත මූල්‍ය හා ආයෝජන වෙළෙඳ පොළ පිබිදීමක් ඇති විය. ආයෝජන මඟින් ශ්‍රී ලංකා ආර්ථිකයට දරාගත හැකි ‍පොලී ප්‍රතිශත මත, විදේශීය මුදල් වැඩි වශයෙන් රටට ගලා ඒම නිසා, ඉදිරියේදී ජාතික අයවැයට විශාල බාධාවක් වන රුපියලේ අගය පිරිහීම නමැති නරක සාධකය පවා යහපත් අතට පත් කරගැනීමට අපට හැකි වනු ඇත.

සංචාරක ව්‍යාපාරයෙන් සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ඉපැයීම් ලෙස මෙරටට ලැබුණු විදේශීය මුදල් ලැබීම් මේ වන විට පහළ මට්ටමකට වැටී තිබේ. එලෙස බිඳ වැටුණු මේ දෙඅංශයේ ආදායම් ඉපැයීම්, නැවත වතාවක් සක්‍රීය මට්ටමකට රැගෙන ඒමට, රජය විශාල සහන සහ දිරිගැන්වීම් ගණනාවක් සලසා ඇත. ඒවායේද සහාය සහිතව ඉදිරියේදී නැවත වතාවක් සංචාරක ව්‍යාපාරය මුලින්ම දේශීය සංචරණය මුල් කරගෙන ද, පසුව විදේශීය සංචාරකයන් වැඩි වශයෙන් කැන්දාගෙන එන අයුරින් වර්ධනය වනු දැකීම ද අපගේ බලාපොරොත්තුවයි. ඒ හරහා සංචාරක ක්ෂේත්‍රයේ කුඩා ආදායම්ලාභියාගේ සිට මහා පරිමාණ ආදායම්ලාභියා දක්වා පුබුදුවාලීම සිදු වනු ඇත. සංචාරක ව්‍යාපාර‍යේ නියැළෙන්නන්ට බදු සහන ගණනාවක් ලබාදී ඇත. එපමණක් නොව, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කටයුතු කරන්නන්ට ද දිරිදීම් බොහෝ ප්‍රමාණයක් අප ලබාදී තිබේ. මේවා සියල්ල සඳහා රජය විශාල කැප කිරීමක් සිදු කර ඇත. රජයේ ආදායම් අහිමි කරගෙන ඇත. එලෙස රජය අහිමි කරගත් ආදායම, අනෙක් පැත්තෙන් ජනතාවට සැපයූ සහනාධාර මුදලක් ලෙස, නැතිනම් ඔවුන්ට නැගී සිටීමට ලබා දෙන්නා වූ දිරිදීම් දීමනාවක් ලෙස සැලකිය යුතුය.

 

සැලසුම් සම්පාදනය

මේ අතරම, ඉතා විද්‍යාත්මක පදනමක් මත කැබිනට් අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ විෂයපථය සහ කාර්යය බෙදා වෙන් කර, කාර්ය සාධනය පදනම් කරගත් ප්‍රතිඵල මැන බැලෙන කළමනාකාරිත්වයක් ඔස්සේ අමාත්‍යාංශ මෙහෙයවීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇත. එපමණක් නොව, රජයේ සෑම සංවර්ධන කාර්යයකදීම ජනතා කේන්ද්‍රීය, ජනතා සහභාගිත්වය සහිත කාර්යයක් කිරීමට උපදෙස් ලබාදී ඇත. මේ සියල්ල හරහා ද හැකිළුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැවත පුබුදුවාලීම ඉලක්ක කර ඇත. මෙතෙක් කලක් කිසිදු විධිමත් ‍සොයා බැලීමකින් සහ නිසි අවදානයකින් තොරව ගමන් කළ ශ්‍රී ලංකා ආර්ථිකය නැවත ශක්තිමත්ව එහි දිශානතිය තේරුම් ගත් ආකාරයට ඉදිරියට ගෙන යාමට ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති මාලාව හරහා කටයුතු කරමින් සිටියි. ස්වදේශිකත්වය මුල්කරගත් අපේකමට නැවත පණගැන්වෙන ජාතික ආර්ථිකයක් ගොඩනැගීම ඉලක්ක කර, මේ වන විට රජය සියලු සැලසුම් සම්පාදනය කර තිබේ. ඒ හරහාද ජනතාවගේ අවශ්‍යතා සහ වුවමනා ඉටුවන සෞභාග්‍යමත් දේශයක් ගොඩනැඟීමට මුල් පියවර තබා, ඒ ඇරැඹි ප්‍රතිඵල ද සාර්ථක ලෙස අත්කර ගනිමින් සිටියි. මේ සාර්ථක ප්‍රතිඵල තුළ වඩාත් සෑහීමකට පත් නොවී, ඊටත් එහා ගිය සාර්ථකත්වයක් උදෙසා පෙර කවරදාටවත් වඩා රටවැසියනුත්, පාලකයනුත් කටයුතු කළ යුතු කාලය එළැඹ තිබේ. මෙහිදී සියලු ශ්‍රී ලාංකේය පුරවැසියන්, සියලු වාද බේද අමතක කර, ආර්ථීකය ගොඩනැඟීම මුල්කොට, තම දු දරුවන්ට යහපත් අනාගතයක් උදා කර දීමට උපරිම කැපවීමෙන් සහ උනන්දුවෙන්, අවංකව වැඩ කළ යුතු මො‍හොත උදා වී ඇත.

 

ජයසිරි මුණසිංහ

නව අදහස දක්වන්න