නැ‍ඟෙනහිර මුහුදේ දියමන්ති මෙහෙයුම! | දිනමිණ

නැ‍ඟෙනහිර මුහුදේ දියමන්ති මෙහෙයුම!

අද අපගේ අවධානය යොමු වන්නේ දියමන්ති මෙහෙයුම දෙසටය. දියමන්ති මෙහෙයුම යනු නැ‍ඟෙනහිර මුහුදේ දී අනතුරට පත් ‘නිව් ඩයමන්ඩ්’ නම් තෙල් නෞකාව බේරා ගැනීම සඳහා අපේ ආරක්ෂක අංශ ක්‍රියාවට නැංවූ බරපතළ මුහුදු ක්‍රියාන්විතය වන්නේය. එම තෙල් නෞකාවේ ගබඩා කර ඇති මුළු තෙල් සංචිතය මෙ.ටො.2,70,000ට වැඩිය. නෞකාව පුපුරා ගියේ නම්; තෙල් තොගය සාගරයට මුසු වනු ඇත. ගින්න මේ වන විට පාලනය කර ඇති අතර නැවේ සේවක මණ්ඩලය බේරාගෙන ඇත. එකම එක මරණයක් ද වාර්තා වී තිබේ. මෙහෙයුමේ ප්‍රධානීන් පෙන්වා දෙන අන්දමට විනාශයකින් තොරව සියල්ල සාධනීය ලෙස නිමා වීමට කටයුතු යෙදී ඇත.

නිව් ඩයමන්ඩ් නෞකාව ක්වේටයේ සිට ඉන්දියාව බලා යාත්‍රා කරමින් තිබූ අතර අනතුර වාර්තා වූයේ පසුගිය සිකුරාදාය. තෙල් නැවක් ගිනිගත් විට එය නිවා දැමීම දුෂ්කරය. බොහෝ විට සිදු වන්නේ නැව පුපුරා ගොස් තෙල් සංචිත සාගර ජලයට මුසුවීමය. සාගර ජලයට මුසු වන තෙල්වලින් 60%ක්ම ආපසු පෙරා ගත නොහැකි බව පිළිගත් මතය වෙයි. එවිට විශාල පාරිසරික විනාශ‍යක් සිදු වෙයි. මේ නැව පුපුරා ගියේ නම්: මෙතෙක් සාගර ජලය හා මුසු වූ වැඩිම තෙල් තොගයට අදාළ පාරිසරික විනාශය වාර්තා වන්නට ඉඩ තිබිණි. එය වැළැකී ගියේ ආරක්ෂක අංශවල බලවත් කැපවීම නිසාය.

නැවේ බොයිලේරුවක් පිපිරී ගොස් ඇත්තේ නැ‍ඟෙනහිර වෙරළ මුහුදේ සංගමන්කන්ද තුඩුව ආසන්නයේදීය. ඒ වන විට නෞකාව ගොඩබිමට තරමක් ආසන්නයෙන් යාත්‍රා කරමින් තිබූ අතර මේ වන විට මුහුදු සැතපුම් හතළිහක් පමණ ඈත ගැඹුරු මුහුදට යාත්‍රාව රැගෙන ගොස් තිබේ. ඒ අනුව අපේ මුහුදු සීමාවට කිසිදු අනතුරක් තෙල් නැවෙන් සිදු නොවනු ඇත. ගිනිගත් නැවක් ඇදගෙන යෑම ද, නැව පුපුරා යෑමෙන් වළක්වා ගැනීම ද විශේෂ ක්‍රියාන්විතයකි. එම අභියෝගය අපේ නාවික හමුදාව භාර ගැනීම විශේෂ සිද්ධියක් ලෙස සැලැකිය හැකිය. ‍මෙහෙයුමට රුසියන් නෞකා දෙකක් ද ඉන්දීය නාවික හමුදාවේ යාත්‍රා කිහිපයක් ද සහයෝගය දක්වා ඇත.

සාගරයේදී ඇති වන අනතුරුවල දී සාමූහිකව ක්‍රියා කිරීමේ ජාත්‍යන්තර සම්මුතියක් තිබේ. එම සම්මුති පිළිගනිමින් මෙහෙයුම සිදු වෙයි. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ මෙහිදී ක්‍රියා කර ඇති ආකාරය ගැන කාගේත් පැසසුම හිමි වී ඇත. ජනාධිපතිවරයා ද අගමැතිවරයා ද මෙහෙයුමට සම්බන්ධ සියලු අංශවලට සිය කෘතඥතාව පළ කර තිබේ. ඕනෑම අභියෝගයකට මුහුණ දෙමින් ඒවා ජය ගැනීමට ශක්තියක් අපේ ආරක්ෂක අංශවලට ඇති බව මේ සිද්ධියෙන් සනාථ වෙයි. තෙල් නෞකාව පැනමා රාජ්‍යයට අයත් බව ද එය වසර විස්සක් පමණ පරණ නෞකාවක් බව ද වාර්තා වී ඇත. ඒ කුමක් වුව තෙල් නෞකාව හා බරපතළ අනතුර බේරාගැනීමේ කීර්ති නාමය ශ්‍රී ලංකාවට හිමි වනු ඇත.

පසුගිය අගෝස්තු පස්වන දා මුරිසි දූපත ආසන්නයේදී ජපානයට අයත් තෙල් නෞකාවක් පුපුරා ගොස් තෙල් ටොන් 1400ක් ඉන්දීය සාගරයට මුසු විය. දූපත අවට කොරල්පරවලට සේම සාගර ජීවීන්ට ද මෙයින් බරපතළ හානි සිදු වී ඇති බව වාර්තාවල සඳහන් වේ. කැරීබියන් මුහුදේදී තෙල් නැව් දෙකක් එකට ගැටීමෙන් තවත් බරපතළ විනාශයක් සිදු විය. ඒ 1979 දීය. මුහුදු ගමන්වල දී තවත් තෙල් නැව් ගණනාවක් මේ අයුරින් අනතුරුවලට ලක් වී ඇත. තෙල් නැවක් ගිනි ගැනීමෙන් මෙතෙක් සිදුවී ඇති බරපතළ විනාශය වාර්තා වන්නේ 1978 දී අමාකෝ කර්ඩීස් නෞකාව පුපුරා යෑමෙන්ය. එය බ්‍රිතාන්‍යය හා ප්‍රංශය අතර මුහුදු සීමාවේ දී සිදුවී ඇත. තෙල් ටොන් 2,46,000ක් මුහුදට කාන්දු වී ඇත.

නිව් ඩයමන්ඩ් නෞකාව ගිනි ගෙන පුපුරා ගියේ නම්: ඉහත සඳහන් අනතුරුවලට වඩා බරපතළ හානියක් සිදු වීමට ඉඩ තිබිණි. පාරිසරික විශේෂඥයන් පෙන්වා දෙන අන්දමට එමගින් ඇති විය හැකි ව තිබූ බරපතළ තත්ත්වය සිතා ගැනීමටත් බැරි තරම්ය. අනතුර සිදු වූයේ නම්: එහි ප්‍රතිවිපාක කෙළින්ම ශ්‍රී ලංකාවට බලපානු ඇත. හේතුව නිව් ඩයමන්ඩ් තෙල් නෞකාව ගිනිගන්නා විට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ රැඳී සිටීමය. නෞකාව බේරාගැනීම හා අනතුර වළක්වා ගැනීම බරපතළ අභියෝගයක් වී ඇත්තේ මේ දිනවල පවතින මුහුදේ රළු ස්වභාවය නිසාය. සුළ‍ඟේ වේගය අධික වන අතර සාගර තරංග වඩා වේගවත්ය. ඇතැම් ස්ථානවල කුණාටු තත්ත්වයක් ද පවතී.

රටකට ශක්තිමත් ආරක්ෂක හමුදාවක් අවශ්‍ය බව මේ සිද්ධියෙන් තවදුරටත් සනාථ වෙයි. ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව අත්දැකීම් සහිත නිපුණ හමුදාවකි. ලෝකයේ දරුණුම ත්‍රස්ත සංවිධානය මර්දනය කළ ත්‍රිවිධ හමුදාවක් අපට සිටිති. ඉන් කියැවෙන්නේ අපේ හමුදාව අභියෝග මග හැර පලා යන හමුදාවක් නොවන බවය. එහෙත් යහපාලන ආණ්ඩු සමයේ ත්‍රිවිධ හමුදාවේ චිත්ත ධෛර්යය බිඳී ගියේය. පාලකයෝ ආරක්ෂක අංශ නොසලකා හරිමින් ක්‍රියා කළෝය. එහි ප්‍රතිඵලය වූයේ ජාතික ආරක්ෂාව දුර්වල වී පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි ඛේදවාචකවලට රට වැසියා මුහුණදීමය. යහපාලන සමයේ අපේ මුහුදු සීමාව තුළ මෙබඳු අනතුරක් සිදු වූයේ නම්: එය මැඬපැවැත්වීමට නොහැකි වනු ඇත.

‘නිව් ඩයමන්ඩ්’ තෙල් නැව පිළිබඳ සිද්ධිය මේ වන විටත් ලෝක සිදුවීම් ගොන්නට එකතු වී ඇත. අනතුර වළක්වා ගැනීමට ශ්‍රී ලංකාව ක්‍රියා කර ඇති ආකාරය ද ඊට ඇතුළත්ය. ලෝකයේ හොඳ හිත අපට ලැබෙනු ඇත. ඊට පෙර ජාතියේ කෘතඥතාව අපේ නාවික හමුදාවට මෙන්ම ගුවන් හමුදාවට ද හිමි විය යුතුය.

නව අදහස දක්වන්න