- ජාතික ජන බලවේගයේ පා.ම. ආචාර්ය හරිනි අමරසූරිය
- නව ව්‍යවස්ථාවක් ගේනවා නම් 20 මොකට ද?
19 අහෝසි කර විස්ස ගෙනෙන්නේ තාවකාලිකව බව ආණ්ඩුව පවසන අතර නව ව්‍යවස්ථාවක් ගෙනෙන්නේ නම් විසිවැනි සංශෝධනයක් අවශ්‍ය ඇයි දැයි යන ගැටලුව මතු වන බවත්, විස්සට විරුද්ධ වීමෙන් පමණක් නියම ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමට ප්‍රමාණවත් නොවන බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පසුගියදා කොළඹදී පැවති ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයකදී පැවසුවාය. ඇය එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියාය.
මේ දවස්වල ප්‍රජාතන්ත්‍රවාදය ගැන සාකච්ඡා, සම්මන්ත්‍රණ පාර්ලිමේන්තුව ඇතුළෙත් පිටත් සංවාදගත වන මොහොතක විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු තාක්‍ෂණික කරුණුවලට වඩා මතවාදීව මේක තේරුම් ගන්නේ කොහොමද කියන සාකච්ඡාවට වාමාංශික සංවිධාන විදියට අපි මැදිහත් විය යුතු ආකාරය ගැන අදහස් කිහිපයක් සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා.
විසිවැනි සංශෝධනයේ ඇතුළත් වගන්ති පිළිබඳ කරුණු ගැන ඕනෑ තරම් සාකච්ඡා වෙනවා. එහෙත් වාමාංශික ව්‍යාපාරයක් විදියට අපි මේක දිහා බලන්නේ වෙනස් විදියකට. මේ ගැන කතා කරනකොට අපිට ඉතිහාසය ගැනත් බලන්න වෙනවා. 1978 හඳුන්වා දුන් මේ ව්‍යවස්ථාව විසි වතාවක් මේ වෙන කොට සංශෝධනය වෙලා තියෙනවා. මේ තරම් සංශෝධන අඩංගු ව්‍යවස්ථාවක් මොකටද කියන එකත් ප්‍රශ්නයක්. අපි කාලයක් තිස්සේ කියන්නේ සංශෝධන වෙනුවට බරපතළ අර්බුද තිබෙන මේ ව්‍යවස්ථාව වෙනුවට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය බවයි. ආණ්ඩුවත් කියන්නේ, විස්ස තාවකාලිකව ගෙනැවිත් අලුත් ව්‍යවස්ථාවක් ගේන බවයි. එහෙමනම් තාවකාලික සංශෝධනයක් මොකටද අවශ්‍ය කියලා අහන්න වෙනවා.
ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1978 මේ ව්‍යවස්ථාව අපට ඉදිරිපත් කරන්නේ මොන අරමුණකින්ද? මේ ව්‍යවස්ථාව ගෙන ඒමේ ප්‍රධාන අරමුණ අලුත් ආර්ථික මොඩලයක් රටට හඳුන්වා දීමයි. ඒ මොඩ්ල් එක ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ව්‍යවස්ථාවක් ගේන එක තමයි ඔහුගේ ප්‍රධාන අරමුණ වුණේ. 1978 ව්‍යවස්ථාව ගැන සාකච්ඡාව එනකොටම එයට ප්‍රතිවිරුද්ධව විශාල මතවාදයක් ගොඩනැඟුණා. විවිධ සමාජ කණ්ඩායම්, දේශපාලන ව්‍යාපාර විරෝධය පළ කළා. ව්‍යවස්ථාව ගෙනාවේ ඒ විරෝධතා මර්දනය කරමින්. ඒක බොහෝ දෙනකුට අමතකයි.
ඒකාධිපති, මර්දන ස්වරූපය මේ ව්‍යවස්ථාව ආපු දවසේ ඉඳන් පාවිච්චි කළා. මිනිසුන්ගේ අයිතිවාසිකම් සහ දේශපාලනිකව සංවිධානය වීම ඇතුළුව සක්‍රීයවීමට තිබූ අවකාශය මර්දනය කරන්න ව්‍යවස්ථාව පාවිච්චි කළා. ගෙවී ගිය කාලය තුළ අපිට පැහැදිලි වන එක කාරණයක් නම් කිසිම දේශපාලන නායකයකුට මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඇත්ත වුවමනාවක් තිබුණේ නැහැ. යම්තාක් දුරකට ඒ මර්දනකාරී ලක්‍ෂණ අවම කරන්න හැකි වුණේ, ආණ්ඩු බලය දුර්වලවූ මොහොතවල පමණයි. ඒ අනුව 17වැනි සංශෝධනය සහ 19වැනි සංශෝධනය කියන දෙකම ආවේ බලයේ සිටි ආණ්ඩු දුර්වල වූ මොහොතක. ඒ වාගේම සන්ධානගත වූ දේශපාලන තත්ත්වයක් තුළ. ජනතාවාදී පැත්තට හරවා ගත්ත අවස්ථා තියෙන්නේ, මේ දෙක විතරයි.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය තියෙන මොහොතක ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ තාර්කික පදනම විය යුත්තේ, ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණ පුළුල් කරන්න මිසක් හකුළා ගන්න නෙවෙයි. මෙච්චර බලයක් තියෙන රජයක් මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ ඉතිරිවී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයත් ආපසු හරවා 1978ටත් එහා ගිය ඒකාධිපති ස්වරූපයක් දරන්නයි.
වාම ව්‍යාපාරයක් හැටියට අප කොහොමද මේක දිහා බලන්නේ? සමාජවාදය තුළ පවා අපිට ඉබේම ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අප සංවිධානය විය යුත්තේ කොහොමද කියන එකත් නිර්වචනය කර ගැනීම අවශ්‍යයි.
සාර්ථක වාම දේශපාලන ව්‍යාපාරයක මූලිකවම විය යුත්තේ ජනතාවට තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් හැකි තරම් පුළුල් කිරීම. ඒ සඳහා ව්‍යුහයන් ශක්තිමත් කිරීම. තමන් පිළිබඳව තීරණ ගැනීමට ජනතාවට තිබෙන අවස්ථා පුළුල් කිරීම. වාම දේශපාලනය කියන්නේ, ජනතාව මත විශ්වාසය තබා ක්‍රියාත්මක වන දේශපාලන ව්‍යාපාරයක්.
මෙතෙක් කල් අපව පාලනය කළේ ජනතාව මත විශ්වාසය තැබූ පාලකයන් නොවෙයි. තමන්ගේ බල ව්‍යාපෘතිය සඳහා පාවිච්චි කරන්න පුළුවන් ඉත්තන් හැටියට ජනතාව යොදා ගත්තා. බලයට ආ පසු ජනතාව අදාළ වෙන්නේම නැහැ. ඒ ගොල්ලන්ට මෙහෙයවා ගන්න බැරි නම්, කිසිසේත්ම ජනතාව අදාළ වෙන්නේ නැහැ. මිනිස්සුන්ට, පරිසරයට, මේ මුළු ලෝකයට ආදරයක් තියෙන මිනිස්සුන්ට විතරයි ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කරන්න පුළුවන්.
ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කරන්න පුළුවන් විවිධත්වය අගය කරන ව්‍යාපාරවලට විතරයි. විධායකය, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය එකම පවුලක් තුළ තිබෙන මොහොතක දහනවයෙන් ඒ ගොල්ලන්ට තියෙන බාධාව මොකක් ද? ඒ ගොල්ලන්ට මේ නිසා කරන්න බැරි දේ මොකක් ද?
මේ එන්නේ තමන්ගේ අතට තව දුරටත් බලය එකතු කරගෙන ජනතාව සූරාකෑමට සහ කොල්ලකෑමට කියන එක බවට අපිට කිසිම සැකයක් නැහැ. මෙතැන ප්‍රශ්නය තියෙන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී ඉන්න විවිධ පාර්ශ්වයන් ඇත්තටම ජනතාවගේ පැත්තෙන් හිටගෙන, පෙනී ඉන්නවද? එහෙම නැත්නම්, ජනතාව පාවිච්චි කරන්න පුළුවන් මෙවලමක් හැටියට පාවිච්චි කරන්න පෙනී ඉන්න අයද කියලා වෙන්ව හඳුනා ගන්න ඕනෑ.
අපිව මර්දනය කරන්න, අපව පාවිච්චි කරන්න ව්‍යවස්ථාව යොදා ගන්නේ මොන විදියටද කියන එක තේරුම් ගන්න අවශ්‍යයි. විස්ස සම්බන්ධයෙන් අප කතා කළ යුත්තේ ඒ අර්ථයෙන්. මේ නිසා විස්සට විරුද්ධ වීම පමණක් නියම ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමට ප්‍රමාණවත් නැහැ. ජනතාව සංවිධානය කරමින්, දේශපාලනිකව සවිඥානක කරමින් පැමිණීමට නියමිත මර්දනයට මුහුණ දීමට විස්ස ආවත්, නැතත් දිගටම ක්‍රියා කරන්න වෙනවා. වාම ව්‍යාපාරයකට මේ දෘෂ්ටිකෝණයෙන් මැදිහත් වීම හැර ඊට වඩා කෙටි ගමනක් නැහැ.
නදී මාණික්කගේ
නව අදහස දක්වන්න