කාන්තාවන්ට විදේශ රැකියා සඳහා අවශ්‍ය පවුල් පසුබිම් වාර්ථාව නැවත සමාලෝචනයට | දිනමිණ

කාන්තාවන්ට විදේශ රැකියා සඳහා අවශ්‍ය පවුල් පසුබිම් වාර්ථාව නැවත සමාලෝචනයට


 
 
කාන්තාවන් විදේශ රැකියා සඳහා යොමුවීමේදී අවශ්‍ය කරන පවුල් පසුබිම් වාර්තාව අනුමත කිරිමට නිර්දේශ කරන නිර්නායකයන් නැවත අධ්‍යයනය කොට වර්තමානයට ගැලපෙන ලෙස සකස් කිරිමට පියවර ගන්නා බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා සදහන් කරයි.
 
දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට විවිධ නිර්නායක ක්‍රියාත්මක කරන බැවින්, විධිමත් චක්‍රලේඛනයක් මගින් එය ප්‍රකාශයට පත්කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය. පියංකර ජයරත්න මහතා මෙම අදහස් පළකළේ පසුගියදා පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති, සිය අමාත්‍යාංශයට අයත් සංවර්ධන නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවකට එක් වෙමිනි.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පවුල් පසුබිම් වාර්තාවේ නීතිමය තත්වය ඉවත් කිරීමට කටයුතු නොකරන බවත් එහි නිර්නායක පමණක් වර්තමානයට ගැලපෙන ලෙස සකස් කිරීමට බලාපොරොත්තුවන බවත්ය. පවුල් පසුබිම් වාර්තාව ලබාදීම සදහා මාස ගණන් ගතකිරීම හේතුවෙන් වන ප්‍රමාදය වලක්වා ගැනීම සදහා අවම වශයෙන් සති දෙකකට වරක්, අදාල පවුල් පසුබිම් කමිටු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල රැස්වී ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවද සදහන් කළේය.
 
වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කළේය. “ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම යටතේ නිපුණ රැකියා බලකායක් පිහිටුවීමට පියවර ගන්නවා. පාසල් අධ්‍යාපනයට විධිමත්ව යොමුනොවූ අයත් පාසැල් හැරගොස් සිටින තරුණ අයගේ අනාගතයට අපි කුමක්ද කරන්නේ? අද දරුවන් විවිධ විෂමාචාරවලට, මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටිනවා. එසේම ඇතැම් අය මත්ද්‍රව්‍ය විකුණා මුදල් ඉපයීමේ නීතිවිරෝධි ජාවාරම්වල නිරත වී සිටිනවා. එලෙස සිටින රැකියා නොමැති අය තෝරාගෙන විදේශ රැකියා සඳහා පුහුණුවක් ලබා දිය යුතුයි. එක් දිස්ත්‍රික්කයකින් එවැනි අය 2000ක් සම්බන්ධ කර ගැනීමට හැකි නම්, ඔවුන් අපට විදේශ රැකියා සඳහා යොමුකරන්න පුළුවන්. ඒ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමග සම්බන්ධ වී වැඩපිළිවෙලක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ ඉදිරි පස් අවුරුදු සැලැස්ම තුළ මේ සඳහා වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරිමට කටයුතු කරමින් සිටිනවා. ”
 
ජපානයේ ශ්‍රි ලංකා තානාපති සමග පැවති සාකච්ඡාවේදී 2021 සිට වසරකට ජපානයට රැකියා සඳහා 5000ට අවස්ථාව ලබාගැනීමට ඇති හැකියාව ගැන සාකච්ඡා කළ බවද පියංකර ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මේ සඳහා ජපන් භාෂාව ඉගැන්වීමේ කඩිනම් පාඨමාලා ආරම්භ කර, පාසල් හැරයන තරුණ පිරිස් මේ සඳහා යොමුකිරීමටත්, ඉදිරියේදී ඒ සඳහා අවබෝධතා ගිවිසුමකට එලැඹීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කලේය
 
මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් එස්.අරුමෛනායගම්, අතිරේක ලේකම් යමුනා පෙරේරා, කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ, අධ්‍යක්ෂ (පාලන) නිමල් තිබ්බොටුමුනුව හා පුත්තලම දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර යන මහත්ම මහත්මීන්ද එක්විය.
 

නව අදහස දක්වන්න