ටෙනිසන් කුරේ මහතාගේ දේහයට අගමැතිගෙන් අවසන් ගෞරව | දිනමිණ

ටෙනිසන් කුරේ මහතාගේ දේහයට අගමැතිගෙන් අවසන් ගෞරව

ලාංකික ප්‍රහසන රංග කලාවට නවමානයක් එක්කළ ප්‍රවීණ සිනමා, වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු හා අධ්‍යක්ෂවරයෙකු වූ අභාවප්‍රාප්ත ටෙනිසන් කුරේ මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(30) අවසන් ගෞරව දැක්වන ලදි.

මොරටුමුල්ල, විල්ලෝරාවත්තේ පිහිටි නිවසට ගිය අග්‍රාමාත්‍යතුමා, ටෙනිසන් කුරේ මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වමින් ඒ මහතාගේ පවුලේ සාමාජිකයින් සමඟ ශෝකය බෙදා ගත්තේය.

වර්ෂ 1986 දී සිනමාවට අවතීර්ණ වන ටෙනිසන් කුරේ මහතා, ඉතා කෙටි කාලයක් තුළ විකට නළුවෙකු ලෙසින් සිය ප්‍රතිභා පූර්ණ රංගන කෞෂල්‍ය තුළ සුවහසක් ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර විය.

මෙරට ප්‍රහසන සිනමාවට නැතුවම බැරි චරිතයක් බවට පත්වූ, ටෙනිසන් කුරේ මහතා විශිෂ්ට විකට නළුවෙකු ලෙස ලාංකේය ප්‍රේක්ෂකයන් සිනහවෙන් මුසපත් කරමින් චිත්‍රපට රැසක ප්‍රහසන රංග ශිල්පියා ලෙස කළ අද්විතීය රංගන දායකත්වය සදා අනුස්මරණීය වේ.

සහෝදර සහෝදරියන් හත් දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා වූ ටෙනිසන් කුරේ මහතා දියණියකගේ ආදරබර පියෙකි.

මෙම අවස්ථාව සඳහා හිටපු පළාත් සභා මන්ත්‍රී මොරිස් විජේරත්න, මොරටුව උප නගරාධිපති සමන්ත සිල්වා, ප්‍රවීන රංගධර බන්දු සමරසිංහ මහත්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

නව අදහස දක්වන්න