අධිකරණ අමාත්‍යාංශයෙන් ජනතාවට දැනුවත් කිරීමක් | දිනමිණ

අධිකරණ අමාත්‍යාංශයෙන් ජනතාවට දැනුවත් කිරීමක්

අධිකරණ අමාත්‍යාංයෙහි ලිපිකරු/කාර්යාල කාර්ය සහයක/රියදුරු හා මුරකරු පත්වීම් ලබාදෙන බව දන්වමින් ව්‍යාජ සම්මුඛ පරීක්ෂණ ලිපි හා පත්වීම් ලිපි ලබාදී විවිධ ප්‍රමාණයේ මුදල් ලබාගනිමින් පුද්ගලයන් රවටා වංචා සහගතව සිදු කරන ලද ජාවාරමක් පිළිබඳ තොරතුරු අණාවරණය වී ඇතැයි එම අමාත්‍යංශය සදහන් කරයි.
 
තරුණ තරුණියන් විශාල පිරිසක් ව්‍යාජ සම්මුඛ පරීක්ෂණ ලිපි පත්වීම් ලිපි සමඟින් අධිකරණ අමාත්‍යාංශයට පැමිණී අවස්ථාවේදී එසේ අනාවරණය වූ අතර අද දින සහ මීට පෙර දින කිහිපයකදී දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ඔවුන් පැමිණ තිබුණි.
 
ඔහුන් අම්පාර , මීගමුව, දංකොටුව, ගල්කිස්ස ආදී විවිධ ප්‍රදේශ වලින් පැමිණ සිටි අතර සම්මුඛ පරීක්ෂණ ලිපි ව්‍යාජ බවට ඔවුන් දැනගනු ලබන්නේද අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදීයි.
 
ඔවුන්ගෙන් රු.17,500 සිට රු 185,000 දක්වා මුදල් ලබා ගෙන තිබූ අතර මුදල් ලබාදී තිබූ බවට වූ බැංකු රිසිට්පත් ද ඔවුන් සතුව තිබුණි.
 
මෙම පුද්ගලයා සමන්ත යන නමින් පෙනී සිට ඇති අතර ඔහු සමඟ මෙම පුද්ගලයින් දුරකථන ඔස්සේ සම්බන්ධ වී මුදල් ලබාදී තිබේ.
 
තරුණ තරුණියන් 45දෙනෙකු පමණ මේ වන විට ඔහුට මුදල් ලබා දී තිබේ.
 
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා ද අද දින එසේ පැමිණ සිටි තරුණ තරුණීයන් හමුවී සාකච්ඡා කල අතර එහිදී අමාත්‍යතුමා උපදෙස් ලබාදුන්නේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට දන්වා වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.
 
මෙහිදී, අධිකරණ අමාත්‍යතුමා සඳහන් කලේ රජයේ ආයතනයක් සඳහා බඳවා ගැනීමේදී නිසි ක්‍රමවේදයක් පවතින බැවින් උගත් තරුණ තරුණියන් ලෙස මේ සම්බන්ධයෙන් සොයාබලා කටයුතු කිරීමේ වගකීම පැවති බවයි.
 
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මෙම සිද්ධීය සම්බන්ධයෙන් පසුගිය 28 වනදා අධිකරණ අමාත්‍යාංශය වංචා විමර්ශණ කාර්යංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
 
මෙවැනි වංචනික පුද්ගලයින්ට නොරැවටෙන ලෙස අධිකරණ අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර තරුණ තරුණියන් රවටා මුදල් ලබාගත් අදාල පුද්ගලයින් හදුනාගෙන අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍යාංශය මේ වන විටත් කටයුතු කර ඇති බව දන්වා සිටියි.
 
අධිකරණ අමාත්‍යාංශය හෝ ඒ යටතේ ඇති ආයතන සදහා බදවා ගනු ලබන්නේ බදවා ගැනීමේ පටිපාටිය අනුව ප්‍රසිද්ධ පුවත් පත් වල පළ කිරීමෙන් පමණක් වන අතර අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ පළ කරනු ලබන බව වැඩිදුරටත් සදහන් කරනු ලැබේ.
 

නව අදහස දක්වන්න