2028 ඔලිම්පික් පදක්කම් සටනට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සෙවිමේ මෙහෙයුමක් | දිනමිණ

2028 ඔලිම්පික් පදක්කම් සටනට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සෙවිමේ මෙහෙයුමක්

අමෙරිකාවේ ලොස්ඇන්ජලීස්හිදී 2028 වසරේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ඉලක්ක කරමින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමේ වැඩසටහනක් දියත් කිරීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සූදානම් වෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මේ වැඩසටහන මෙහෙයවයි.

ක්‍රීඩාවේ සංවර්ධනය තුළින් ශ්‍රී ලංකාව ආසියාවේ අභිමානය බවට පත් කිරීමේ දැක්ම ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය වන අන්තර්ජාතික ජයග්‍රහණ අත් කර ගැනීමට නම් ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන් සංවර්ධනය කළ යුතු වේ.

ඒ අනුව ක්‍රීඩා සහ අධ්‍යාපන අමාතාංශ එක්ව නියමු ව්‍යාපෘතියක් ලෙස මේ වැඩසටහන දියත් කරන අතර, එමඟින් සහජ ක්‍රීඩා දක්ෂතා ඇති පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කර ජාතික හා අන්තර්ජාතික තලයේ ජයග්‍රහණ අත් කර ගැනීමේ පරමාර්ථයෙන් මේ කටයුතු සිදු කෙරෙනු ඇත.

අන්තර්ජාතික ජයග්‍රහණ සඳහා සුදුස්සන් ‍තෝරා ගැනීමේ විද්‍යාත්මක ක්‍රමවේදය වන්නේ මෙලෙස ක්‍රීඩකයන් හඳුනා ගැනීම බැවින් ඔවුන් සොයා ගැනීම සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ‘රෝඩ් ටු ඔලිම්පික්’ ලෙස වැඩ සටහනක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

මේ සඳහා අවුරුදු 12 වයස් කාණ්ඩයේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොදා ගන්නා අතර, ඒ අනුව දිස්ත්‍රික් 22ක පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1100ක් තෝරා ගැනීමට නියමිතය. එහිදී එක් අධ්‍යාපන කලාපයකින් ක්‍රීඩකයන් 25ක් සහ ක්‍රීඩීකාවන් 25ක් ලෙස අධ්‍යාපන කලාප 22කින් මේ 1100 දෙනා තෝරා ගැනෙනු ඇත.

මේ වැඩ සටහන ආරම්භ කරමින් හෙට (2) පස්වරු 2.00කට පාදුක්ක, සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලයේදී ප්‍රධාන උත්සවය පැවැත්වෙන අතර, ඊට සමගාමීව පාසල් 11ක එම වේලාවටම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප ක්‍රීඩා අධ්‍යක්ෂ, තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පාසල්වල විදුහල්පතිවරු, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරීහු, තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හා

ඔවුන්ගේ දෙමව්පියෝ සහභාගි වෙති.

මිනුවන්ගොඩ ඩී.එස්. සේනානායක විද්‍යාලය, මතුගම සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මධ්‍ය මහ විද්‍යාලය, වැලිමඩ මහ උස්වැව මධ්‍ය විද්‍යාලය, දෙණියාය මධ්‍ය විද්‍යාලය, හම්බන්තොට විහාරගල මධ්‍ය විද්‍යාලය, මන්නාරම මඩු ජෝසප් වාස් විද්‍යාලය, මහව විජයබා මහා විද්‍යාලය, පුත්තලම මහ උස්වැව මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට නුගවෙල ජාතික පාසල, හැටන් අඹගමුව මධ්‍ය විද්‍යාලය සහ දෙහිඕවිට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේදීත් මේ වැඩ සටහන හෙට (2) පැවැත්වීමට නියමිතය.

කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලේදී 5 වැනිදාත්, තණමල්විල මධ්‍ය විද්‍යාලය, ගලෙන්බිඳුණුවැව මධ්‍ය විද්‍යාලය, උඩුගම නාගොඩ රාජකීය විද්‍යාලය සහ යාපනය සාන්ත අන්තෝනි විද්‍යාලයේදී 6වැනිදාත් මේ වැඩසටහන පැවැත්වෙන අතර, 7 වැනිදා දෙණියාය විජිත මධ්‍ය විද්‍යාලයේදී සහ 8 වැනිදා නාඋල ශ්‍රී නාග ජාතික පාසලේදී වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

නිරෝ­ෂාන් ප්‍රියං­කර 
 

නව අදහස දක්වන්න