ලෝක ළමා දින පණිවිඩ | දිනමිණ

ලෝක ළමා දින පණිවිඩ

රටේ අනාගත වත්කම අපේ දරු පරපුරයි

ජනපති

රටේ අනාගත වත්කම අපේ දරු පරපුර බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ලෝක ළමා දින පණිවිඩයෙන් කියා සිටියි.

දරුවන් දැනුමෙන් පෝෂණය කර කුසලතා වර්ධනය සඳහා අවස්ථාව සලසාදීම සමස්ත සමාජයේම වගකීම වන්නේයැයි ද ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ ළමා දින පණිවිඩයේ මෙසේ ද දැක්වේ.

දරුවන්ගේ කායික මානසික පෝෂණය මෙන්ම යහපැවැත්ම තහවුරු කිරීම ප්‍රමුඛ කාලීන අවශ්‍යතාවකි.

රටක් ජාතික හෝ අන්තර්ජාතික සංවර්ධන නිර්ණායක කොපමණ දුරට ළඟා කර ගත්ත ද සමාජය මානව දයාව බඳු යහගුණ පිරි මනුෂ්‍යයන්ගෙන් තොර නම් එය ප්‍රතිරූප දේශයකැයි මම විශ්වාස නොකරමි. එවන් රටක් ගොඩනැඟීමට අප සියලු දෙනා ගුණ නැණ අතින් මෙන්ම ශිල්පීය වශයෙන් ද භාෂාමය ඥානයෙන් ද දරු පරපුර සන්නද්ධ කළ යුතුය.

භෞතික සහ මානසික දරිද්‍රතාව දුරු කළ පුරවැසියන් වාසය කරන රටක් ගොඩනැඟීම මගේ ඒකායන අපේක්ෂාවයි. එබඳු රටක දරුවන් සතුටින්, සැනසීමෙන්, සුවයෙන් වාසය කරනු නියතය. ඒ නියතය අත්දකින අත්විඳින පරපුරක් ගොඩනැඟීමට ඔබේ දරුවාගේ ළමා කාලය ඔබ කල්පනාකාරීව මෙහෙයවනු ඇතැයි මම සිතමි. මෙවර ලෝක ළමා දින තේමාව වන “අපේ රට අපේ දෑතින්” යන්න යථාර්ථයක් කර ගත හැක්කේ එවිටය.

දරුවන්ගේ ලෝකය සුව පහසු ස්ථානයක් කිරීම සැමගේ වගකීමක්

අගමැති

අනාගත ශ්‍රී ලංකාවේ අභිමානවත් උරුමකරුවන් වන අපගේ ආදරණීය දුවා දරුවන්ගේ ලෝකය සුව පහසු ස්ථානයක් බවට පත් කිරීම අප සැමගේ වගකීම බව අගමැති මහින්ද

රාජපක්ෂ මහතා පවසයි.

දරුවන් ලෝකයේ සියලු සෞන්දර්යයන් එකට කැටි කොට සොබාදහම නිමැවූ සොඳුරුතම දායාදය බවත් අපේ අනාගතය, අපේ ලෝකය ආදරණීය දරුවන් බව සිහිපත් කරමින් ලෝක ළමා දින ජාතික සැමරුමට සුබ පැතුම් එක් කරනුයේ ඉමහත් සතුටින් බව හෙතෙම පැවැසීය.

එම සුබ පැතුම් පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

අද ඔබගේ තුරුළෙහි හිනැහෙන, අව්‍යාජත්වය කැටිකර ගත් මේ ආදරණීය මුහුණු හෙට දවසේ අප රටේ අනාගතයයි. දරුවන්ගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව ඇති කාල වකවානුවක ඔවුන්ගේ ආරක්ෂාව, අධ්‍යාපනය හා සෙනෙහස ලැබීමට ඇති අයිතිය සුරක්ෂිත වන සේ සියලු මවුපියන්, වැඩිහිටියන් පුමුඛ සමස්ත සමාජයම ක්‍රියා කළ යුතුය. ඊට අවශ්‍ය සදාචාරමය හා නෛතික පසුබිම සැකසීමට අප රජයක් ලෙස නිරන්තරයෙන් කැප වී සිටී.

නිදහස් නිවහල් රටක දරුවන්ගේ ජීවිත සුරක්ෂිත හා පරිපූර්ණ ජීවිතයක් බවට පත් කිරීම සෑම මවුපියකුගේම ඒකායන අපේක්ෂාවයි. අපගේ අපේක්ෂාව වන්නේ රටේ සමාජ, ආර්ථික හා දේශපාලන ගැටලුවලින් පීඩා නොමැති පරිපූර්ණ සුන්දර ළමාවියක් රටේ සියලු දරුවන්ට උරුමකර දීමයි. පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරමින් නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීමටත්, නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කරමින් දරුවන්ගේ සෞඛ්‍ය, පෝෂණය හා මානසික අවශ්‍යතා සපුරාලීමටත්, රජයක් ලෙස අපි කටයුතු කරන බව අවධාරණය කරමු.

දැනුම අභියෝගයක් නොවන  අනාගතයකට අපි දරුවන් රැගෙන යමු

අධ්‍යාපන ඇමැති

දරුවන් වෙනුවෙන් සියල්ල කළ යුතු බව, හොඳම දේ දරුවන්ට බව, අනාගතය දරුවන් බව ළමා දින සමරන සෑම වසරක ම දස දෙසින් අවධාරණය කරන සුලබ වදන්ය. එහෙත් දරුවන්ගේ ලෝකය දරුවන්ට පවරා දීම තුළ වැඩිහිටියන් දක්වන ප්‍රතිචාර ප්‍රශ්නකාරී වී ඇති බව මගේ පෞද්ගලික හැඟීමයි.

අසීමිතව දරුවන්ට ආදරය දෙන සෑම මව්පියෙකුට ම තමන්ගේ මුළු ජීවිත කාලයම දරුවන් වෙනුවෙන් මිඩංගු කළ හැකිය. දරුවන්ට දරුවන් සේ මතුවන්නට මඟ පෙන්විය හැකිය.

දරුවන් දළඹුවන් වැනිය. දළඹුවෙකු නියත වශයෙන් ම සමනලයකු වන බවට කිසිදු ලක්ෂණයක් දළඹු අවස්ථාවේ දී නොපෙන්වනවා නම් සියලු දළඹුවන් සමනලුන් කිරීම පැහැදිලිව ම අභියෝගයකි. එහෙත් දළඹුවන් සමනලුන් වනතුරු ඔවුන් නිසි පරිදි රැක බලාගැනීමේ ඒ අභියෝගය වැඩිහිටි පරපුරට පැවරෙයි. යම් දිනෙක සමනලුන් වන්නේ එසේ සුරක්ෂිතව හැදෙන වැඩෙන දළඹුවන්ය. ඔවුන්ට වැඩිහිටියන්ගේ පූර්ණ රැකවරණය නිරන්තරයෙන් ම අවශ්‍ය වෙයි. ඔවුහු ආදරය නොමඳව අපේක්ෂා කරති. පෝෂණය අපේක්ෂා කරති. මේ නිසා දරුවන් සතුටින් තැබීමට ඒ සියල්ල ඔවුන්ට ලබාදිය යුතුය. මවක, පියකු වශයෙන් පවුල තුළ ඒ සියල්ලට පූර්ණ හිමිකම ලබන දරුවා සමාජගත වන විට සමාජයෙන් ද නොඅඩුව ඔහුට හෝ ඇයට ඒ අවශ්‍යතා හිමිවිය යුතුය. පාසලට, ගුරුවරුන්ට, සමාජ නායකයන්ට, ආගමික සංස්ථාවට එහි දී පැවරෙන වගකීම අතිමහත්ය. ඒ සියල්ලටම වඩා මෙහිදී රජයට පැවරෙන කාර්යභාරය ද සුවිසල්ය.

මෙවර පැවැත්වෙන ලෝක ළමා දින ජාතික සමරු උලෙළ සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි සුබ පතමි. රට හදන සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරමින් අපේ වටිනාම සම්පත වන දරුවන් වෙනුවෙන් හොඳම දේ කරන්නට ඔබ සියලු දෙනාගේ ශක්තිමත් සහයෝගය ද අපේක්ෂා කරන්නෙමු.

සුරක්ෂිත ළමා පරපුරක් තැනීමට අදිටන් කරගනිමු

විපක්ෂ නායක

සුරක්ෂිත ළමා පරපුරක් හා නීරෝගි වැඩිහිටි පරපුරක් වෙනුවෙන් තිරසර අදිටන් ඇති කර ගැනීම මෙවර 2020 ලෝක ළමා දිනයේ සහ ලෝක වැඩිහිටි දිනයේ ප්‍රමුඛ අවශ්‍යතාව වී ඇති බව විපක්ෂ නායක සහ සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් විපක්ෂ නායකවරයා නිකුත් කළ විශේෂ නිවේදනයේ මේ බව සඳහන් වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම ගැන අතිශයින් සතුටට පත්වෙමි. විශේෂයෙන්ම ළමා අයිතීන් සුරැකීම සඳහා ප්‍රමුඛතාව දීම සියලුම මානව වර්ගයාගේ අතිමහත් යුතුකම ලෙස ලෝකයම පිළිගනී. කෙසේ වෙතත් අන් කවරදාකටත් වඩා වර්තමානයේ දී දරුවන් අභියෝග රැසකට මුහුණ දී සිටී.

කෙසේ වෙතත් එවන් ශ්‍රී ලංකාවේ දැනට වැඩිහිටියන් සඳහා නිවාස 300ට වඩා ක්‍රියාත්මකය. වඩාත් සුරක්ෂිත, පවිත්‍ර ළමා පරපුරක් මෙන්ම නීරෝගි වැඩිහිටි පරපුරක් වෙනුවෙන් තිරසර අදිටනක් ඇති කර ගනිමුයැයි ආරාධනා කරමු.

 

නව අදහස දක්වන්න