ටින් මාළු ආනයනය අත්හිටුවන්නැයි ධීවරයෝ ඉල්ලති | දිනමිණ

ටින් මාළු ආනයනය අත්හිටුවන්නැයි ධීවරයෝ ඉල්ලති

දළ දේශීය නිෂ්පාදනයට  මත්ස්‍ය කර්මාන්තයෙන්  1% දායකත්වයක්

මත්ස්‍ය ආනයනයට වසරකට ඇමරිකන් ඩොලර් මිලියන 500ක්

මත්ස්‍ය කර්මාන්තයේ යැපෙන්නෝ  මිලියන 2ක්

ටින් මාළු සඳහා  දකුණු මුහුදේ  ඇති තරමට මාළු

 

ශ්‍රී ලංකාවට හිමි මුහුදු තීරයේ විශාලත්වය වර්ග කිලෝ මීටර් 20,000ක් පුරා පැතිරී ගිය කිලෝමීටර් 22ක පළලින් යුතු ප්‍රදේශයකි. දකුණු අර්ධ ගෝලයේ ද කෙලවර තෙක් වෙනත් රටකට අයත් නොවන නිසා ඒ විසල් සාගර ප්‍රදේශය තුළ ජාත්‍යන්තර ගිවිසුම් ප්‍රකාරව කිලෝ මීටර් 200 ගැඹුර තෙක් මුහුදු ප්‍රදේශයක ධීවර කටයුතු කිරීමේ හැකියාව අප සතුය.

වසරකට කරවල, උම්බලකඩ ,මාළු සහ ටින්මාළු ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 500ක් වැය වීමට ඉඩක් තිබිය නොහැක. අනෙක් කරුණ වන්නේ වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදනයට මත්ස්‍ය කර්මාන්තයේ දායකත්වය 1%ක් තරම් අගයක පැවතීමයි.

මෙරට සාගර සම්පත වන සාලයා, හුරුල්ලා, සුරාපරව් වැනි කුඩා මාළුන් බහුල වශයයන් ජීවත් වෙන්නේ වෙරළ ආසන්න ගල්පර සමීපයේයි. ගැඹුරු දියඹේ විශාල දැල්, බහු දින යාත්‍රා ආදියේ ආධාරයෙන් කෙලවල්ලා, බල, පරා,කොප්පරා. තලපත් වැනි විශාල මසුන් ඇල්ලීම සිදු කරයි. ටින් මාළු සඳහා ගන්නා ලින්නා වැඩි වශයෙන් නෙළාගන්නේ මෙරට දකුණු දිග වෙරළ තීරයෙනි. හික්කඩුව, ගාල්ල, කුඩාවැල්ල, මාතර ආදී ප්‍රදේශ ටින් මාළු කර්මාන්තය සඳහා මාළු ලබාදෙන ප්‍රමුඛතම ප්‍රදේශයි.

මත්ස්‍ය අපනයනය සීමා කිරීමෙන් මෙරට ධීවර කර්මාන්තය ශක්තිමත් කළ හැක. ඒ සඳහා කෙටිකාලීන මෙන්ම දිගුකාලීන වැඩපිළිවෙළකට අනුගත විය යුතු බවට පසුගිය මස ජනාධිපතිවරයා සහ මත්ස්‍යය කර්මාන්තය පිළිබඳ කර්මාන්ත කරුවන් හා අනුබද්ධ ආයතන ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවේදී තීරණය කෙරිණි. මේ සාකච්ඡාවන්ගේ ප්‍රතිඵලයක් ලැබෙනතුරු ධීවර ජනතාව මෙන්ම කර්මාන්තකරුවෝද නොඉවසිලිමත්ව සිටිති.

පසුගිය දිනෙක දකුණු පළාතේ ධීවර වරායන් කිහිපයක සංචාරය කරමින් ධීවරයන් මෙන්ම මේ කර්මාන්තයට සම්බන්ධ පුද්ගලයන් හමුවී දිනමිණ ව්‍යාපාරික අංශයේ අපි මේ පිළිබඳ අදහස් විමසීමු.

‘‘ මගේ නම ඩී. වී. ක්‍රිෂාන්. මම කුඩාවැල්ල ධීවර වරායේ බෝටිටුවලින් මාළු මිලදී ගැනීමයි කරන්නේ. මම සේවය කරන්නේ ටෙස් ලංකා ආයතනයේ නිලධාරියකු විදිහට. දකුණු පළාතේ ධීවර වරායන් කිහිපයකින්ම අපි ලින්නා මසුන් මිලදී ගන්නවා. දිනකට 300 KGක් පමණ අපි මිලදී ගැනීම කරනවා. මාළු අස්වැන්න නෙළාගෙන පැමිණෙන විට ඒවා අංක එක, අංක දෙක, අංක තුන වශයෙන් කාණ්ඩ කරනවා. ඊට හේතුව මාළු අස්වැන්න නෙළාගෙන දින කිහිපයක් තිස්සේ පැමිණෙන අතරතුර ඒවාගේ තත්ත්වය වෙනස් වීමයි. තත්ත්වයෙන් ඉහළ පළමු කාණ්ඩය කොළඹ මාළු කඩේට හෝ ධීවර සංස්ථාව සඳහා අලෙවි වෙනවා. දෙවැනි මට්ටම බොහෝදුරට අලෙවි වුණේ කරෝල සහ උම්බලකඩ සඳහායි. නමුත් සැමන් ටින් කර්මාන්තය ආරම්භ වීමෙන් පසුව මේ දෙවැනි මට්ටමේ මාළු සඳහා හොඳ ඉල්ලුමක් ඇති වුණා.මේ හේතුවෙන් මේ පළාතේ ධීවරයෝ දහස් ගණනක් ජීවත් වෙනවා. මොකද මේ අයගේ මාළුවල වටිනාකමට සරිලන මිලක් ලැබෙන්නේ අපගේ මෙන්ම තවත් කර්මාන්ත ශාලා කිහිපයක් විසින්ම මිලදී ගැනීම් කරන නිසයි. ටින් මාළු නිෂ්පාදනයේදී මාළු පමණක් නොවෙයි. ටින්, ලේබල්, ලුණු මෙන්ම සැකසීමේ කාර්ය, බෙදාහැරීම මේ සියලු දේවල් සිදුවෙන්නේ රට තුළයි. ඒ නිසා මාළුවලට මිලක් ලැබීම පමණක් නොවෙයි. මේ හේතුවෙන් තවත් විශාල පිරිසකගේ ජීවන මාර්ගය සකස් වෙලා තිබෙනවා. මම මේ මාළු මිලදී ගැනීමේ නිලධාරියකු විදිහට කටයුතු කරන්නේ ටින් මාළු කර්මාන්ත ශාලාවටයි. මේ දකුණු පළාතේ මම වගේ වැඩ කරන තව බොහෝ දෙනෙක් ඉන්නවා. මේ කර්මාන්තය තවදුරටත් දියුණු කළ හැකි නම් තවත් දහස් ගණනකට රැකියා ලැබේවි. නමුත් ගැටලුව වෙන්නේ රටේ තිබෙන ටින් මාළු පරිභෝජනයට සමාන නිෂ්පාදනයක් අපේ කර්මාන්ත ශාලාවලින් කළ හැකි වුවත් පිටරටින් ටින් මාළු ගෙන්වීම නිසා නිෂ්පාදනය සීමා කිරීමට සිදුවීමයි. ධීවර ජනතාවට හොඳ මිලක් ලබාදීම, ධීවර කර්මාන්තය දියුණු කිරීම වගේම ටින් මාළු කර්මාන්තයට අනුබද්ධව තවත් රැකියා බිහි කිරීමට නම් ටින්මාළු පිටරටින් ගෙන්වීම හැකිතාක් සීමා කළ යුතුයි. ”

‘‘ කවිඳු‘‘ යාත්‍රාවේ නියාමක කුමාර මහතා අප සමඟ මෙසේ සිය අදහස් දැක්වීය. ‘‘ ධීවර යාත්‍රාවල නියාමකවරයකු විදිහටයි මම සේවය කරන්නේ වසර 30ක පමණ කාලයක් මම කරන්නේ මේ රස්සාව. දකුණේ වුණත් ඒ ඒ ධීවර වරායන්ගේ සම්ප්‍රදායන් එකිනෙකට වෙනස්. දින හත දින දාහතර වැනි කාල මුහුදේ ගත කරමින් අපි මාළු අස්වැන්න නෙළීම කරනවා. මෙහෙම යන විට දින ගණනක් මුහුදේ ගත කිරීමට අවශ්‍ය සියලු ආහාරපාන, අමුද්‍රව්‍ය අරගෙනයි යන්නේ. අස්වැන්න නෙළා ගැනීම හැමදාමත් එකවගේ වෙන්නෑ. සමහර දවස්වලට ගෙනියන අයිස් ප්‍රමාණය මදි වෙනවා ලැබෙන මාළු ප්‍රමාණයට. මෙහෙම දවස්වලට තමයි මාළු තැලීම්, පොඩිවීම් වෙන්නේ. එහෙම වුණාම මිලක් ගැනීමට අසීරු වෙනවා. බෝනස් දිරිදීමනා, විශ්‍රාම වැටුප් නැති රස්සාවක්. තුන්තිස් පැයක් සීතලේ. ගිනි රස්නේ මුහුද මැද අපි කරන්නේ. රට ඇතුළේ මේ කර්මාන්තයට හොඳ තත්ත්වයක් හැදෙනව නම් අපි හැමෝටම හොඳයි. ”

“හොඳ හිත” නමින් ධීවර යාත්‍රා කිහිපයකම හිමිකරුවෙකු අපහා අදහස් බෙදා ගත්තා ගාල්ල සහ හික්කඩුව ප්‍රදේශයේ ලින්නා මාළු මිලදී ගන්නන් අතර ප්‍රමුඛයෙකු ලෙසයි ඔහු කටයුතු කරන්නේ. හෙතෙම සැමන් කර්මාන්ත ශාලා වෙත මාළු ලබාදෙන්නකු ලෙසත් කටයුතු කරයි. ඔහු දැක්වූ අදහස් මෙසේයි. ‘‘ ටින්මාළු කෑමට කැමැත්තක් දක්වන්නේ ධනවත් අය නෙවෙයි. එදා වේල උපයා ගන්නා සාමාන්‍ය මිනිස්සු. පිටරටින් ගේන මාස ගණන් පරණ මාළු වෙනුවට අපේ ටින්මාළු කෑන් මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනව නම් ඒ අයට ලැබෙන්නේ ඉතාමත් අලුත්ම මාළු.අපේ ටින්මාළු මිලදී ගන්නා සෑම අවස්ථාවකම ඒ සමඟ තවත් විශාල පිරිසකට ජීත්වීමේ අවස්ථාව උදාවෙනවා. හික්කඩුවේ පමණක් ධීවර කර්මාන්තයත් සමඟ ජීවත්වෙන පවුල් 2,000 ක් පමණ සිටිනවා. ධීවර යාත්‍රාවල කුලී පදනමින් සේවය කරන අය සිට දැල් වියන, කූඩ වියන අයිස් සැපයීම ආදී වශයෙන් මේ කර්මාන්තය වටා ගොඩනැඟුන අමතර ව්‍යාපාර තවත් කොතෙකුත් තිබෙනවා.මේ කාගේත් ජීවිකාව හොඳවීමට නම් මාළු අලෙවිය යහපත් විය යුතුයි. මාළු වශයෙන් මෙරටට ගෙන්වන දේවල් අතර වැඩි වියදමක් යන්නේ ටින්මාළු සඳහායි. අප ආණ්ඩුවෙන් ඉල්ලන්නේ ටින් මාළු ගෙන්වීම ටික කලකට හෝ අත්හිටුවා මේ කර්මාන්තය දියුණු කිරීමට මැදිහත්වන ලෙසයි. මේ කර්මාන්තයේ නිරත තායිලන්තය, මැලේසියාව වැනි රටවල්වලට අයත් මුහුදු සීමාවන්ගේ මාළු වගා කිරීම් කරමින් විශාල මාළු අස්වැන්නක් ලබාගන්නවා. එවැනි තාක්ෂණික දැනුම මෙන්ම පහසුකම් ලැබේ නම් තවදුරටත් මේ කර්මාන්තය දියුණු කළ හැකියි. හික්කඩුව වගේම දොඩංදූව ධීවර වරායත් වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති ධීවර වරායන්. ජාඩි කර්මාන්තය මෙරටට හඳුන්වා දුන්නේ දොඩංදූවේ ධීවර වැසියන්. මේ නිසා ධීවර කර්මාන්තය ගැන අපිට තිබෙන්නේ අනාදිමත් කාලෙක සිට එන බැඳීමක්. නමුත් ඒ දැනුමෙන් නිසි ප්‍රයෝජන ලැබෙන්නේ රටක් විදිහට මත්ස්‍ය සම්පතෙන් ලැබෙන ආදායම ඉහළ ගියොත් විතරයි. ටින් මාළු අපනයනය කළ හැකි මට්ටමට මේ කර්මාන්තය දියුණු කළ හැකි නම් කර්මාන්තයට සම්බන්ධ විශාල පිරිසකට සෙතක් අත්වේවි. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි.”

ආර් විජේසූරිය මහතා ධීවර යාත්‍රා වෙතින් මාළු මිලදීගෙන සැමන් කර්මාන්ත ශාලා වෙත මාළු සැපයුම්කරුවෙකු ලෙස කටයුතු කරයි. “සැමන් කර්මාන්ත ශාලා වෙත ලින්නා මාළු සැපයීම අපගේ මූලික ආද­ායම් මාර්ගයයි. කු‍ඩාවැල්ල ධීවර වරායේ මාවැනි ව්‍යපාරිකයින් තවත් දස දෙනෙකු පමණ මාළු මිලදී ගැනීම කරනවා.‍ ටින් මාළු කර්මාන්තය සඳහා අවශ්‍ය මාළු වැඩි වශයෙන් හමුවෙන්නේ දකුණු මුහුදෙන් ඒ නිසා මේ ප්‍රදේශයේ ජනජීවිතයට මේ කර්මාන්තය ඉතාමත් වැදගත් ටින් මාළු සීමා කරත් ඇතැම් අවස්ථාවල ටින් කිරීම සඳහා මාළු ආනයනය කිරීමත් සිදුවෙනවා.අපි කියන්නේ මේ දෙකම නතරකළ යුතු බවයි.”

 

සටහන බුද්ධිකා බ්‍රාහ්මණගේ

නව අදහස දක්වන්න