ගිලිහුණොත් රැකවරණය ඔවුහු අඳුරටය | දිනමිණ

ගිලිහුණොත් රැකවරණය ඔවුහු අඳුරටය

කායික මානසික හිංසනයකට ළමයා ලක් වුව හොත් නීතියෙන් සඟවා තැබීම කිසි සේත්ම නොකළ යුතුය. නීතිය හමුවට ගෙන යෑමෙන් ළමයා තවදුරටත් අගතියට පත් වන බවට පවතින දුර්මතය ළමයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට බාධාවකි. අද බොහෝ විට මේ තත්ත්වය දැකිය හැකිය. මින් සිද්ධ වන්නේ අපරාධකරුවන්ට ආරක්ෂා වීමට ඉඩ සැලසීම මෙන්ම ළමයා තවදුරටත් අපයෝජනයේ ගොදුරක් විමට මග සැලසීමයි.

රටකට උතුම්ම සම්පත දරුවෝ ය. මේ නිසා සෑම රටක්ම දරුවන්ගේ සුරක්ෂිතාව වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කර තිබේ. ශ්‍රි ලංකාවේ ද දරුවන් ගේ රැකවරණය සහ ඔවුන්ගේ අයිතින් තහවුරු කර දීම සඳහා විවිධ ක්‍රමෝපායන් යොදා ඇත. ලෝක ළමා දිනයක් එළැඹ ඇති මේ මොහොතේ ජාතියක් වශයෙන් දරුවන් සම්බන්ධයෙන් ඉටු කර ඇති යුතුකම් සහ වගකීම් මෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සතුටු විය හැකි පාරිසරික වටපිටාවක් සකස් කර ඇත්ද යන්න පිළිබඳව ස්වයං විවේචනයකට ලක් කිරීමේ අවශ්‍යතාව මතු වි ඇත.

අද වන විට ළමයින් සම්බන්ධයෙන් අසන්නට දකින්ට ලැබෙන්නේ ඔවුන්ගේ අනාගතය සම්බන්ධයෙන් එතරම් සුබදායි බලාපොරොත්තු ඇති කර ගැනීමට හැකි සිද්ධීන් නොවේ. එය නීතියේ අඩු ලුහුඬුකම් මතම සිද්ධ වන කාර්යයක් නොවන අතර සමාජයේ සදාචාරාත්මක පරිහානිය මොනවට ඔප්පු කරන්නකි.

ළමයා යනු ළමයාමය. එය පළමු කොට අවබෝධ කරගත යුත්තේ වැඩිහිටියන් ය. මක් නිසා ද ළමයා ට සිය හිමිකම අහුරා ඇත්තේ වැඩිහිටියන් විසිනි. අද සමාජයේ අවධානය යොමුකළ යුතුම කාරණය වන්නේ මවුපියභාවය පිළිබඳ ප්‍රශ්නයයි. එනම් මව සහ පියා දරුවන් විෂයෙහි ඉටු කළ යුතු කාර්යභාරය ඉටු කරන්නේද යන්න යි. මේ ප්‍රශ්නාර්ථය පැන නැඟි ඇති නිසා ම දරුවන් සම්බන්ධයෙන් මව්පියන්ගේ වගකීම තවත් පාර්ශ්වයකට පවරා මව්පියන් යනු ළමයාගේ ස්වභාවික භාරකරුවන් පමණි යන නීතිමය අර්ථකථනය ලබා දි ඇත. ළමයින් සම්බන්ධයෙන් වගකීමට බැඳි සිටින රජයකට අධිකරණය හරහා ඕනෑම තීරණයක් ගැනිමේ බලය ඇත. නීතියට අනුව ළමයා ගැන මව්පියන්ට ඕනෑම තීරණයක් ගැනීමේ බලයක් නැත. අද වන විට ළමයින්ට මුහුණදිමට සිදු ව ඇති සහ ඇතැම් විට දරුවන් අත්විඳින ක්‍රෑරත්වයන් හා උල්ලංඝනය වී ඇති දරුවාගේ අයිතිය හමුවේ මවුපියන්ට වඩා රජය ට දරුවන්ගේ භාරකාරත්වය පැවරී තිබීම කෙතරම් කාලෝචිතදැයි හැඟේ.

නමුත් අප ඇතුළු ආසියාතික රටවල්වල කුටුම්භය තුළ දරුවාට හිමි තැන බොහොම බලවත්ය. දරුවා පෝෂණය කිරීම, නිසි රැකවරණය, ආදරය, මාර්ගෝපදේශකත්වය මේ කී නොකි බොහෝ කාර්යයන් මවුපියන්ට පැවරී ඇත. මේ බන්ධනය නිසාම ළමයින් ට වැඩිහිටියන් විසින් සැලකිය යුතු ආකාරය පිළිබදව පුරෝකථනයක් සැකසී ඇත. මේ සමාජ සම්මතයට හිස නමමින් මවුපියන්ගේ අයිතින් හා වගකීම්වලට රජය ගරු කළ යුතුය යන කාරණයට ද නීතයේ දී ප්‍රබලත්වයක් ලබා දී ඇත.

අද වන විට දරුවන් සම්බන්ධයෙන් පැන නැඟි ඇති බරපතළම ප්‍රශ්නය භාරකාරත්වයයි. භාරකාරත්වය යනු වගකීමෙන් බැඳී තිබෙන්නා වු කාර්යාවලියකි. එය සැහැල්ලුවෙන් තැකිය හැකි නොහේ. ලංකාවේ දරුවන්ගේ භාරකාරත්වය හා රැකවරණය අභියෝගයකට ලක් වුණේ මව්වරුන් විදෙස් ගෘහ සේවය ට අවතීර්ණ විමේ ක්‍රියාවලියත් සමඟ යැයි මතයක් පවතී. එය එක් අවස්ථාවක් පමණි. මෙය වඩාත් විවාදාපන්නව සමාජයෙන් මතු වුණු සිද්ධියක් බවට පත් වු මුත් දැන් දැන් ඊට වඩා වෙනස් හේතුන් කරළියට පැමිණ ඇත. එහෙත් ඉකුත් කොරෝනා සමයේ ළමයින් බොහොමයක් අත්විඳි අවාසනාවන්ත සිද්ධීන් බලන විට මව්පියන් ළඟ සිටිද්දි ම දරුවන් අගතියට පත්වු අවස්ථා වාර්තා විය. ඇතැම් දරුවන් ගේ ආරක්ෂාව වැඩියෙන් සහතික කිරීමට නම් ළමයින් මවුපියන් සහ වැඩිහිටියන්ගෙන් ඈත් කර තැබීම සඳහා තිරණ ගැනීමේ නීතිමය බලය රජය සතුය යන කාරණයේ වැදගත් වන්නේ මෙවන් විටෙකය. දරුවන් මවුපියන්ගෙන් වෙන් කර තැබීම යන කාරණය විශ්ව ළමා ප්‍රඥප්තියේ 9 වැනි වගන්තියේ ද සඳහන් වෙයි. මවුපියන්ගෙන් ළමයාට ලැබිය යුතු උපරිම භාරය සහ ආරක්ෂාව නොලැබෙන්නේ නම්, ළමයා නොසලකා හැර ඇත්නම් මවුපියන්ගේ වෙන් කර තැබිමට රජයට අයිතියක් ඇත.

වර්තමානයේ දී ළමයින් හමුවේ පවතින ඛේදනීය සමාජ පසුබිම එකවර වෙනස් කිරීම උගහට කරුණක් මුත් ළමයා ආරක්ෂා කර ගැනීමේදී හැදු වැඩු මව්පියන්ට භාරකරුවන්ට බරපතළ වගකීමක් පැවරි ඇත. යම් හෙයකින් කිසියම් අපයෝජනයකට ක්‍රෑරත්වයකට, කායික මානසික හිංසනයකට ළමයා ලක් වුව හොත් නීතියෙන් සඟවා තැබීම කිසි සේත්ම නොකළ යුතුය. නීතිය හමුවට ගෙන යෑමෙන් ළමයා තවදුරටත් අගතියට පත්වන බවට පවතින දුර්මතය ළමයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට බාධාවකි. අද බොහෝ විට මේ තත්ත්වය දැකිය හැකිය. මින් සිද්ධ වන්නේ අපරාධකරුවන්ට ආරක්ෂා වීමට ඉඩ සැලසීම මෙන්ම ළමයා තවදුරටත් අපයෝජනයේ ගොදුරක් විමට මග සැලසීමයි. යම් හෙයිකින් ළමයකු මෙවැනි අවසානාවන්ත සිද්ධියකට මුහුණ පෑ අවස්ථාවක වහාම ළගම ඇති පොලිසියට, ළමා රක්ෂණ අධිකාරිය හෝ දරුවන් සම්බන්ධයෙන් නීතිය හා රැකවරණය ලබා දීමට වගකීමෙන් සිටින ආයතනයකට යොමු වීම මව්පියන් සහ භාරකරුවන්ගේ පළමු සහ අනිවාර්ය වගකීමයි. එමෙන්ම අදාළ සිද්ධියේ සාක්ෂිවලට කිසිදු හානියක් නොවන පරිදි ළමයා යොමු කිරිමෙන් අපරාධකරුවන්ට, වැරැදිකරුවන්ට සැඟව සිටිමේ ඉඩ ප්‍රස්තා අහුරනු ලබයි. උදාහරණයක් ලෙස ලිංගික අපයෝජනයකට දරුවකු ලක්ව ඇති බවට සිද්ධිය සිදු වු අවස්ථාවේම දැනගත හොත් සැකකරු ගේ අනන්‍යතාව සනාථ කර ගත හැකි සාක්ෂිවලට හානියක් නොවන ලෙස රැගෙන යා යුතුය.

ළමයින් සම්බන්ධව කටයුතු කිරීමට නීතිය පැත්තෙන් විශාල ප්‍රතිපාදනයන් දක්නට ලැබේ. නීති රීති අණ පනත්, ප්‍රඥප්ති, ප්‍රකාශන, දක්නට ලැබේ. එයින් ප්‍රධාන වශයෙන් දණ්ඩ නීති සංග්‍රහය හා එහි සංශෝධන, 1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනත, සාක්ෂි ආඥා පණත, 1939 අංක 48 ළමා ළමා හා යෞවනයින් පිළිබද ආඥා පනත, 1956 අංක 48 දරණ ළමයින් හා යෞවනයින් පිළිබඳ (හානිකර ප්‍රකාශන) පනත, 1954 අංක 19 සාප්පු හා කාර්යාල සේවකයින් පිළිබඳ පනත, 1956 අංක 47 දරන කාන්තාවන් යෞවනයන් හා ළමයින් සේවයේ යෙදවීමේ පනත, හා එහි සංශෝධන, 1841 අංක 04 දරන අයාල ආඥා පනත, සාක්ෂි ආඥා පනත, සුනාමි විධිවිධාන පනත, 1981 අංක 79 වයෝපූර්ණත්ව පනත, 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත ඇතුළු නීතිමය තත්ත්වයන් විශාල ප්‍රමාණයක් ළමයා සම්බන්ධයෙන් කටයුතු කිරීමට අප සතුව තිබේ.

මීට අමතරව ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය, කම්කරු ආඥා පනත, විවාහ ආඥා පනත, අනිවාර්ය අධ්‍යාපන පනත, අධ්‍යාපන පරිපාලන චක්‍රලේඛ ආදී නීතිමය තත්ත්වයෙන් පසු ළමයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට විවිධ අණපනත් ක්‍රියාත්මක වේ.

වර්තමානයේදී මෙම නීතිවලින් වැඩි වශයෙන් භාවිතා වන අවස්ථාවන් කිහිපයක් තිබේ.ළමයින් සම්බන්ධ නීතිමය ප්‍රතිපාදන කොතෙක් තිබුණත්, ළමයින් සම්බන්ධ නීතිමය තත්ත්වය භාවිතයේදී 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත යනු ළමයා සම්බන්ධ නීති ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක් හා හැරවුම් ලක්ෂ්‍යයකි. එයට හේතුව ලෙස පෙන්වා දිය හැක්කේ මීට පෙර කෙතරම් නීති දක්නට ලැබුණද ළමයාට එරෙහිව සිදුකරනු ලබන අපයෝජන සම්බන්ධ කටයුතු කිරීමට නීතියේ ප්‍රමාණවත් ප්‍රතිපාදන නොවීමයි. මෙම සංශෝධනය එන තුරුම ළමයින් සම්බන්ධ කටයුතු කරන ලද්දේ රටේ පොදු නීතිය යටතේය. 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධ පනත මඟින් ළමයින් සම්බන්ධව කටයුතු කිරීමට නව කාරණා ගණනාවක් හදුන්වා දෙන ලදී. ඒ අතර, බරපතළ ලිංගික අපයෝජනය (365 ආ), ලිංගික අතවර කිරීම (360 ඇ), ළමයින්ගෙන් අයුතු ලිංගික ප්‍ර යෝජන ගැනීම (360ආ), කුට්ඨනය (360අ), ව්‍යභිචාරය(364අ), තැනැත්තන් වෙළෙදම් කිරීම (360ඇi), ළමයින්ට ක්‍රෑරකම් කිරීම(308 අ) අසභ්‍ය ප්‍රදර්ශන හෝ දර්ශන ඡායාරූප සදහා ළමයින් යොදාගැනීම (386(1) ආදිය වැඩිහිටියන් විසින් ළමයින්ට සිදුකරනු ලබන වැරැදි ලෙස හදුනවා දි ඇති අතර, නීතියෙන් දඬුවම් කළ යුතු අපරාධ ලෙස සලකා ඇත.

උක්ත කාරණාවල දක්නට ලැබුණ විශේෂ ලක්ෂණ කීපයක් ළමයින් වෙනුවෙන් වඩාත් ප්‍රයෝජන බව පෙන්වා දිය හැක. කලින් පැවති වැරැදි සඳහා නීතිය මගින් දඬුවම් නියම කරන ලදී. ළමා අපයෝජන වැරදි සදහා අනිවාර්ය අවම සිර දඩුවම් පැමිණ වීමට විධිවිධාන සකස්කරන ලදී. මෙම වැරදිවලට ගොදුරු වන වයස අවුරුදු 18 අඩු ලෙස සලකා ඇති අතර, අවු.18 අඩු පුද්ගලයෙකු සදහා නීතියේ රැකවරණය ලැබීම, ළමයකුට එරෙහිව සිදුකරන සෑම ලිංගික අපරාධයකම නියමිත දඬුවම අවු10ක අවම සිර දඩුවම් අනිවාර්ය කිරීම, එසේම අපරාධයට ගොදුරු වන ළමයාට වරද කරනු ලැබූ පුද්ගලයා විසින් වන්දියක් ගෙවීමට මේ තුළින් ප්‍රතිපාදන ඇත.

වර්තමානයේ ළමයින් සම්බන්ධයෙන් වාර්තා වන බහුල සිද්ධීන් කිහිපයකි. සිඟමනේ යෙදවීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සදහා යෙදවීම මේ අතර වෙයි.ඒ සම්බන්ධයෙන් නීති තිබේ. එහෙත් බොහෝ දෙනෙක් මේ ගැන නොදනිති. ඒ සම්බන්ධ නීති ප්‍රතිපාදන ඉතා පැහැදිලිව දක්නට ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන අතර 1998 අංක 29 දරණ දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත මඟින් ළමයින් සිගා කෑමෙහි යෙදවීම හෝ සිඟමන් යැදීම සඳහා ළමයින් යොදවා ගැනීම, සපුරා තහනම් කර ඇත (288), අපට ඇතැම් අවස්ථාවන්වලදී දක්නට ලැබෙන්නේ ළමයින් වඩාගෙන දරුවන් පෙන්වමින් අසරණ භාවය පෙන්වමින් බස් රථ තුළ, මාර්ග තුළ, සෙනග ගැවසෙන ස්ථානවල සිඟමන් යැදීමයි. එය නීතියෙන් වරදකි.

නීති කොපමණ පැවතිය ද සමාජය ඒ ගැන නොදන්නේ නම් ළමයාට ඇති හිමිකම තහවුරු කිරීම ගැටලු සහගතය. සැබැවින් ම මේ නීති සම්බන්ධයෙන් සාමාන්‍ය ජනයාගේ දැනුවත් භාවය ඉතා අවම ය. සාමාන්‍ය ජනයාගේ පමණක් නොව මෙම ක්ෂේත්‍රයට සම්බන්ධව ක්‍රියාකරන නිලධාරීන්ට ද ළමා නීතිය පිළිබඳ ගැඹුරින් දැනුවත් වීම අවශ්‍යය. ඒ පිළිබඳ සියලු ප්‍රජාව දැනුම්වත් වීම මඟින් අපයෝජනයක් සිදුකිරීමට පෙර එහි අවදානම අපයෝජකයකුට අවබෝධ වීම, නීතියේ පිළිසරණ අවශ්‍ය පාර්ශ්වයට කඩිනමින් ක්‍රියාත්මක වීමේ හැකියාව, නිලධාරීන් ලෙස සම්බන්ධීකරණය හා නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කිරීමේ හැකියාව ඒ මඟින් ඇති වේ.

නීති කොපමණ පැවතියද නිතියේ හිඩැස් ද නැතුවා නොවේ. ළමයා පිළිබඳ නිර්වචනය ස්ථාවර නොවීම විවිධ අණපනත් අනුව ළමයාගේ වයස් සීමාව වෙනස් වීම නීතිය ක්‍රියාත්මක කිරිමේ දී සිමාවන් ඇති කරයි. පවතින සමාජ ප්‍රවණතාවන්ට අනුව පනත් සංශෝධනයන් නොවීම ද ගැටලුවකි. උදාහරණ ලෙස වර්තමානයේ ළමයින් සම්බන්ධයෙන් වැඩි වශයෙන් අන්තර්ජාල හා ජංගම දුරකතන ආශ්‍රිත අපරාධ වාර්තා වීම සිදු වේ. ඒත් ඒ සම්බන්ධ නීතියේ ප්‍රතිපාදන ප්‍රමාණවත් නැත. 2006 අංක 16 දරන දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පණතේ පරිගණක මගින් ළමයින් අපයෝජනයට පත් වීම වැළැක්වීම හා එවැනි සිදුවීම් පිළිබඳ තොරතුරු වාර්තා කිරිම අදාළ පරිගණක සේවා සපයන්නා විසින් ම කළ යුතු බවට (286 ආ) ඇත. එහෙත් එවැනි තත්ත්වයන් ප්‍රායෝගික නොවන අතර, අද ළමයින් අන්තර්ජාල අපරාධ සිදු කරන්නේ තම හෝ මවගේ පියාගේ ජංගම දුරකතනය භාවිත කිරීමෙන්ය.

නීතියේ ප්‍රතිපාදන පැවතියත් දඬුවම් දීමක් සිදු නොවීම ද ගැටලුවකි. දණ්ඩ නීති සංග්‍රහයේ 363, 364 වගන්ති ස්ත්‍රී දූෂණය පිළිබඳ සලකා බැලීමේදී අවුරුදු 10ට නොඅඩු අවුරුදු 20ට නොවැඩි බරපතළ සිර දඬුවමක්, දඩයක් , අගතියට පත් කාන්තාවට වන්දියක්, වන්දිය ගෙවීමට අපොහොසත් නම් තවත් අවුරුදු 2 දක්වා සිර දඩුවම් දීර්ඝ වේ. එහෙත් එම දඬුවම් පැමිණවීම, ව්‍යභිචාරය(ඥාතීන් අතින් දූෂණයට ලක් වීම) අවුරුදු 15 සිර දඬුවම් නීතියේ තිබුණ ද ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේ විරලතාවක් දක්නට ඇත.

පිරිමි ළමයා සම්බන්ධ දූෂණයට නීතියේ ප්‍රතිපාදනය නොමැති වීම අද නීතයේ පවතින හිඩැසකි.අද ඇතැම් නඩු විසදීමට කාලයක් ගත විම ද වින්දිතයාට සිදු විය යුතු සාධාරණය ඉටු කිරීමට බාධාවක් වී ඇත. මානසික අපයෝජනයට පත් වීම ඔප්පු කර ගැනීමේදී ඇති බව බාධාවන් ද සුලබය.

ඒ කෙසේ වෙතත් නීතිය කෙසේ ක්‍රියාත්මක වේද , සමාජය නිවැරිදි මගට අවතීරණ වන්නේ කවදාදැයි සිතීමට වඩා වර්තමානයේ මේ සිද්ධි බලන විට මව්පියන් සහ භාරකරුවන් දරුවන් ගැන මීට වඩා වගකිමෙන් කටයුතු කිරිමේ අවශ්‍යතාව දැඩිව මතු ව තිබේ. එමෙන්ම සමස්ත ළමා පරපුරේ අනාගතය සම්බන්ධයෙන් රතු එළියක් නිකුත් වි ඇති බව සිහි තබා ගත යුතුය.

 

සකුන්තලා ජයසිංහ

ඡායාරූපය - දමින්ත ගුණරත්න

 

නව අදහස දක්වන්න