මලල ක්‍රීඩා ව්‍යාපෘතිය වෙනුවෙන් ජගත් සංගමයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් 80000ක් | දිනමිණ


 

මලල ක්‍රීඩා ව්‍යාපෘතිය වෙනුවෙන් ජගත් සංගමයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් 80000ක්

ප්‍රින්ස් ගුණසේකර
නිලානී රත්නායක කටාර් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී

වසර 2024 ඔලිම්පික් උලෙළ ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සැලසුම් කළ වසර 2ක මලල ක්‍රීඩා ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් 80000ක් ලබාදීමට අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනය කැමැත්ත පළ කරයි. තරග ඉසව් 3ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15ක් පමණ ඉලක්ක කොට දියත් කරන මෙම වැඩ සටහනට මුල් වසර දෙකේදී අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනය මුදල් ලබා දෙන අතර ඉදිරි වසර දෙකක කාලය සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අනුග්‍රාහකයන් හා රජයේ සහයෝගය මත ඉලක්ක සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වේ.

මීටර් 3000 කාන්තා බාධක දිවීම, මීටර් 400 පිරිමි හා කාන්තා සහය දිවීමේ කණ්ඩායම් මෙම වසර 2ක මලල ක්‍රීඩා ව්‍යාපෘතිය වෙනුවෙන් සම්පූර්ණයෙන් ඉලක්ක ගත වන අතර ඔවුන්ගේ විටමින් හා පෝෂණය, පුහුණු කටයුතු වෙනුවෙන් වැයවන මුදල්, පුහුණුකරු දීමනා හා ක්‍රීඩා උපකරණ සැපයීම ව්‍යාපෘතියට ඇතුලත් වේ. මේ සඳහා වසරකට අමෙරිකානු ඩොලර් 40000ක් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය ලබාදේ.

මීටර් 3000 කාන්තා බාධක දිවීමේ ඉසව්වේ ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා වාර්තාව හිමි නිලානී රත්නායක, යොවුන් ඔලිම්පික් පදක්කම් දිනාගත් පාරමී වසන්තී හා මීටර් 2000 බාධක දිවීමේ කාන්තා ආසියානු ලෝකඩ පදක්කම දිනාගත් අශ්මිකා හේරත් මෙම මලල ක්‍රීඩා ව්‍යාපෘතිය වෙනුවෙන් තෝරාගෙන ඇති අතර අරුණ දර්ශන, පසිඳු කොඩිකාර හා අවිශ්ක සංදේශ් මීටර් 400 සහය දිවීමේ ක්‍රීඩකයන් ලෙස හඳුනාගෙන ඇත. අනෙක් සහය දිවීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබන මස 22 කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය අවසානයේ නම් කිරීමට නියමිතය.

මෙම නව වැඩ සටහන සදහා වයස අවුරුදු 20ත් 24ත් අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අපේක්ෂා කරයි. එම වයස් සීමාවෙන් එපිට සිටින එකම ක්‍රීඩිකාව නිලානී රත්නායක පමණි. ඇය මෙම වැඩ සටහනට ඇතුළත් කිරීමට ආසන්නතම හේතුව වන්නේ මීටර් 3000 බාධක දිවීමේ කාන්තා ඉසව්වෙන් ලෝකයෙන්ම දැනට 30 වැනි ස්ථානයේ සිටින ක්‍රීඩිකාව බැවිණි. ලබන වසරේ පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් උලෙළට මීටර් 3000 බාධක දිවීමේ කාන්තා ඉසව්වෙන් ක්‍රීඩිකාවන් 45ක් තෝරා ගැනීමට නියමිත බැවින් ඇය එම උලෙළට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වැඩි අවස්ථා ඇත.

එක් අවස්ථාවකදී ඇය මීටර් 3000 බාධක දිවීමේ කාන්තා ඉසව්වෙන් ලෝකයේ 25 වැනි තැනට පත් වූ ක්‍රීඩිකාව වන අතර ලෝක ආරක්ෂක සේවා මලල ක්‍රීඩා තරගාවලියේ 5වැනි ස්ථානයට පත්වෙමින් ප්‍රබල දස්කම් දැක්වූවාය. එමෙන්ම කටාර් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී පදක්කම පෙනි පෙනී තරග අවසානයට මීටර් කිහිපයක් තිබියදී ඇද වැටීමෙන් පදක්කම අහිමිවී ගියාය.

සහාය දිවීමේ කණ්ඩායම් ද සැලකිය යුතු දස්කම් දක්වා ඇති හෙයින් මෙම වැඩ සටහනට තෝරා ගෙන ඇති අතර පින්ලන්තයේ ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී අවසන් මහා තරගයට එක්වීම හා 2018 ආසියානු ශූරතාවලියේදී පදක්කමක් දිනා ගැනීම සැලකිල්ලට ගෙන ඇත.

නව අදහස දක්වන්න