පාළු පාරකදී රියැදුරුට මිරිස් කුඩු ගසා ත්‍රිෙරා්ද රිය උස්සලා | දිනමිණ


 

පාළු පාරකදී රියැදුරුට මිරිස් කුඩු ගසා ත්‍රිෙරා්ද රිය උස්සලා

සැකකාර අඹුසැමි යුවළ රක්ෂිත බන්ධනාගාරයට

ත්‍රිරෝද රථයකින් කුලී ගමනක් යන මුවාවෙන් පාළු මාර්ගයක ත්‍රිරෝද රථ රියැදුරා ට මිරිස් කුඩු ගසා කැපුම් තුවාල සිදු කර ත්‍රිරෝද රථය රැගෙන පලා ගොස් ප්‍රදේශවාසීන්ට සහ පොලීසියට කොටු වූ යුවළක් මේ මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාවනැල්ල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා පසුගියදා (29) නියෝග කර ඇත.

හෙම්මාතගම නගරයේ බස්නැවතුම ඉදිරිපිට ඇති කුලී ත්‍රිරෝද රථයක් ලබා ගෙන හෙම්මාතගම නගරයට නුදුරින් ඇති අල්පිටිය සිංහරාජ ගම්මානය දෙසට කුලී ගමනක් ගොස් එම මාර්ගයේ අතුරු මාර්ගයක් සහිත පාළු ස්ථානයකදී ත්‍රිරෝද රථ රියැදුරාට මිරිස් කුඩු ගසා එම කුලී ගමන ගිය යුවළ එක්ව ත්‍රිරෝද රථ රියැදුරාට තියුණු ආයුධයකින් කැපුම් කිහිපයක් ද සිදු කර තිබිණි.

තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියැදුරු වූ 55 හැවිරිදි තිදරු පියකු වන හෙම්මාතගම ගිනිහප්පිටියේ පදිංචි එම්.ජේ.එම්. නජබුදීන් යන අය මෙසේ කීය.

යුවළක් ඇවිත් මට කුලී ගමනක් යන්න කතා කළා. ඇල්පිටියට ගිහින් සිංහරාජ ගම්මානය පැත්තට තමයි කුලී ගමන ගියේ. එම මාර්ගයේ ටික දුරක් ගිහින් කොන්ක්‍රීට් අතුරන ලද මාර්ගයක යමු කියලා මට ඒ අය කිවා. ටික දුරක් එම කොන්ක්‍රීට් පාරේ යද්දි පාර අවසන් වුණා. මා එතනින් එහාට යන්න බැරි නිසා ත්‍රීවිල් එකේ රිවස් ජියර් එක දාන්න එක් පැත්තකට පහත් වුණා.

එම අවස්ථාවේ කුලි ගමන ගිය කපල් එකේ පිරිමි පුද්ගලයා මාගේ බෙල්ල අල්ලා තද කළා. මම බෙල්ල ගලවා ගන්න පොරබැද්දා. ඒ වේලාවේ තියුණු ආයුධයකින් මාගේ පිටුපසින් කැපුවා එතකොට කමිසයද කැපුණා. පිටට සහ තවත් කිහිප තැනක සුළු තුවාල සිදු වුණා. ඒ අවස්ථාවේ මට මිරිස් කුඩු ගැසුවා. ත්‍රීවීල් එකෙන් බැහැලා පොරබැදුවා. ත්‍රීවිල් එක බේරාගෙන පණත් බේරාගෙන එන්න. ඒ පොරබදින විට කාන්තාව මාගේ හිසට මොකක් හරි එකකින් ගැසුවා. මා ඒ ගැසුවාට පස්සේ ටිකක් පැත්තකට ගියා. ඒ අවස්ථාවේ ත්‍රීවිල් එක අරන් ඔවුන් එම ස්ථානයෙන් පලා ගියා. මා ත්‍රීවිල් එක පස්සේ දුවගෙන එනකොට එම ප්‍රදේශයේ ගම්වැසියෙක් මාගේ ශබ්දයට පාරට ඇවිත් ඇයි කියලා අහලා එයා ගමේ අයට කිවාට පස්සේ වෑන් එකක හිටපු තරුණයන් පිරිසක් තමයි පන්නාගෙන ගිහින් ත්‍රීවිල් එක සහ මේ මංකොල්ල කෑමට එක්වු ජෝඩුව අල්ලාගෙන පොලීසියට භාර දුන්නේ.

නව අදහස දක්වන්න