මොරගහකන්ද ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූවන්ට සුදුසු ස්ථානවලින් වහා ඉඩම් දෙන්න | දිනමිණ

මොරගහකන්ද ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූවන්ට සුදුසු ස්ථානවලින් වහා ඉඩම් දෙන්න

ජනපතිගෙන් අදාළ නිලධාරීන්ට උපදෙස්

ගම සමඟ පිළිසඳරට ජනපති හිඹිලියාකඩට යයි

කිරි ගොවීන්ට කඩිනම් සහන

හෙට්ටිපොළ රුධිර කාන්දුකරණ ඒකකයේ වැඩ කඩිනම් වෙයි

 

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී ඉඩම් අහිමි වූවන්ට සුදුසු ස්ථානවලින් ඉඩම් සපයා දී තමාට වහාම දන්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සියලු නිලධාරීන් එක් ස්ථානයකට කැඳවා සෙසු ඉඩම් ගැටලුවලට ද කඩිනම් විසඳුම් දෙන්නැයි ඒ මහතා දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියට නියම කළේය.

මාතලේ දිස්ත්‍රික්කයේ, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හිඹිලියාකඩ ග්‍රාම නිලධාරී වසමේ නාගවනාරාම විහාරස්ථාන භූමියේ දී පසුගිය දා (2) පැවති ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වූ ‘ගම සමග පිළිසඳර’ දෙවන වැඩසටහන මෙය වන අතර පළමුවැන්න පසුගිය සතියේ සිකුරාදා බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලන්විට ගම්මානයේ දී පැවැත්විණි. දීර්ඝ කාලයක සිට නොවිසඳී ඇති ග්‍රාමීය ජනතාවගේ ගැටලු පිළිබඳ ඔවුන් සමඟ කතා බහ කර, ඒවා නිලධාරීන්ට ඉදිරිපත් කර කඩිනම් විසඳුම් දීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වේ.

අතිදුෂ්කර ගම්මානවල වෙසෙන ජනතාව මුණගැසීම රාජපක්ෂ මහතාගේ තවත් අරමුණක් වන අතර, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැඹුරු ඔය, ලේඩියන්ගල, අලියාවල, වෙහෙරගල, හිඹිලියාකඩ සහ අවට ප්‍රදේශ ගණනාවක ගම්මූන් ජනාධිපතිවරයා හමු වී දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට නාගවනාරාම විහාරස්ථානයට පැමිණ සිටියහ. රැස්ව සිටී බොහෝ දෙනාගෙන් ඉඩම් පිළිබඳ ගැටලු රැසක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර, දීර්ඝ කාලයක සිට නොවිසඳී ඇති හෙට්ටිපොළ නගරයේ විශාල පිරිසකට බලපා ඇති ඔප්පු පිළිබඳ ප්‍රශ්නයට ද කඩිනම් විසඳුම් දීමේ අවශ්‍යතාව ඒ මහතා අවධාරණය කළේය.

ස්වයං රැකියාවක් ලෙස කිරි ගොවි කර්මාන්තයේ නිරත පිරිස මුහුණ දී සිටින ගැටලු කෙරෙහි ජනාධිපතිවයාගේ විශේෂ අවධානය යොමු වූ අතර, ඔවුන් ව්‍යවසායකයන් බවට පත්කිරීමට සහාය දිය යුතු බව පෙන්වා දුන්නේය. ජාතික පශුසම්පත් සංවර්ධන මණ්ඩලය සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ නිෂ්පාදන මිල දී ගැනීමට හා පහසුකම් සැලසීමට පියවර ගත යුතු යැයි සඳහන් කළ අතර, අඩු මුදලට කිරි ගවයන් දීමට අදාළ ආයතන දැනුවත් කිරීමට ද තීරණ කෙරිණි.

කිරි ගොවීන් ණය ඉල්ලුම් කිරීමේ දී සැපයිය යුතු ඇප කොන්දේසි ලිහිල් කිරීමට බැංකු සමඟ සාකච්ඡා කර පියවර ගන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක ජනතාව වකුගඩු රෝගයෙන් පීඩා විඳින අතර, ඔවුන් මුහුණ පා සිටින ගැටලු සඳහා කඩිනම් විසඳුමක් ලෙස අර්ධ වශයෙන් නිමකර ඇති හෙට්ටිපොළ වකුගඩු ‘රුධිර කාන්දුකරණ’ ඒකකයේ වැඩ කඩිනමින් අවසන් කර ඒකකයට අවශ්‍ය උපකරණ සැපයීමට රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය.

දඹුල්ල, මහනුවර, කුරුණෑගල සහ මහියංගණය රෝහල් වෙත ගොස් ‘රුධිර කාන්දුකරණ’ ප්‍රතිකාර ගන්නා රෝගීන්ට මෙමඟින් විශාල සහනයක් හිමි වන බව ප්‍රදේශවාසීහු පෙන්වා දුන්හ. දිස්ත්‍රික්කයේ රෝහල්වල පවතින හෙද හිගය පියවීමට වහාම පියවර ගැනීමට ද තීරණය කෙරිණි.

වෙහෙරගල සිට හෙට්ටිපොළ නගරයට ඇති කි.මි 2.8 ක සහ හිඹිලියාකඩ වැව් තාවුල්ලේ සිට හිඹිලියාකඩ ග්‍රාමයට ඇති මාර්ග කඩිනමින් සංවර්ධනය කරන ලෙස ඒ මහතා උපදෙස් දුන් අතර, හිඹිලියාකඩ ප්‍රාථමික විද්‍යාලයට පන්තිකාමර තුනකින් යුත් ගොඩනැගිල්ලක්, ගුරු නි‍ෙවසක් ඉදිකිරීමට ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පල්ලේගම සහ විල්ගමුව නාමිණිඔය මහා විද්‍යාල සියලු පහසුකම් සහිත ජාතික පාසල් බවට පත්කරන ලෙස ද උපදෙස් දෙනු ලැබිණ. දිස්ත්‍රික්කයේ පාසල් රැසක පවතින ගුරු හිගයට කඩිනම් විසඳුම්දීමේ අවශ්‍යතාව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

පාසල් අධ්‍යාපනය අවසන් කළ ප්‍රදේශයේ තරුණ තරුණියන් වෙනුවෙන් වෘත්තීය පුහුණු අවස්ථා ඇතිකර වැඩි වශයෙන් ඔවුන් ඊට යොමු කර පුහුණු ශ්‍රමිකයන් බිහි කිරීම කාලීන අවශ්‍යතාවක් බව ජනාධිපතිවරයා පැවසූ අතර, ඊට එක්වන ලෙස ද ඒ මහතා තරුණයන් දිරිමත් කළේය.

වාරි පහසුකම් නොමැතිකමින් විල්ගමුව සහ අවට ප්‍රදේශ රැසක කෘෂිකර්මාන්තයට අහිතකර බලපෑමක් ඇති කර තිබේ. ඊට විසඳුම් ලෙස වත්තේගෙදර, වෙහෙරගල, දොඩම්ගොල්ල සහ වැරැව්ගහ වැව් ප්‍රතිසංස්කරණය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. කෙටි, මධ්‍ය සහ දිගුකාලීනව විසඳුම් ලැබෙන පරිදි දෙවසරක් තුළ වැව් සංවර්ධනයටත්, එතෙක් කෘෂිකර්මාන්තයට වගා ළිං ජලය සැපයීමට නිසි පියවර ගන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

මෙහිදී හිඹිලියාකඩ වැවේ කඩිනම් ප්‍රතිසංස්කරණ කටයුතු යුද හමුදාවට පැවරිණි.

ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ දිසානායක, නාලක කෝට්ටේගොඩ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහත්වරු සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න