මහ බැංකුව හඳුන්වා දුන් ඩිජිටල් ගෙවීම් ක්‍රමය රටේ අනාගතයට ශක්තියක් | දිනමිණ

මහ බැංකුව හඳුන්වා දුන් ඩිජිටල් ගෙවීම් ක්‍රමය රටේ අනාගතයට ශක්තියක්

ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

භෞතික වශයෙන් මුදල් භාවිතය අවම කොට ඩිජිටල් ගනුදෙනු ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වා දී තිබෙන ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය (LANKA QR කේතය) රටේ අනාගත ආර්ථික වර්ධනය වෙනුවෙන් දැවැන්ත ශක්තියක් බව වෙළෙඳ ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව මඟින් හඳුන්වා දෙනු ලබන ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය වන LANKA QR කේතය එළිදැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඊයේ (05) පෙරවරුවේ පැවැති උත්සවය අමතමිනි.

මෙම කේතය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය සතු වර්ණ යොදාගෙන තිබෙන අතර ඊට අමතරව ස්ටිකරයක් හඳුන්වා දී තිබේ. අනාගතයේදී මෙම කේතය සතු ආයතනවල එම ස්ටිකරය දැක ගැනීමට හැකි වන අතර මේ වන විට බැංකු ආයතන වෙනුවෙන් ඉදිරිපත් කර තිබේ. පාර්භෝගිකයා මේ හරහා ගනුදෙනු කළ විගස ජංගම දුරකතනය වෙත ඒ බව කෙටි පණිවිඩයකින් දැනුම් දෙන අතර ව්‍යාපාරිකයාට ද කෙටි පණිවිඩයක් ලැබීම විශේෂත්වයකි. මේ කේතය භාවිත කරමින් ගනුදෙනු කිරීමේදී රජයේ ආයතන සඳහා කිසිඳු ගාස්තුවක් අයකළ නොහැකි අතර සාමාන්‍ය ගනුදෙනුවකට අයකරන ගාස්තුව මේ වසරේදී සියයට 0.5 දක්වා පහත හෙළා තිබේ. ඉන්ධන පිරවුම්හල්වලදී කිසිදු අමතර ගාස්තුවක් අය කළ නොහැකි අතර මෙම කේතය සම්බන්ධයෙන් මේ වන විට රට පුරා ආයතන 16ක් අනුමැතිය හිමිකරගෙන ඇත. ශ්‍රී ලංකාවේ මුල්වරට බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන සියල්ල එක්ම ව්‍යාපෘතියක් වෙනුවෙන් මේ සඳහා දායක වී සිටී.

ශ්‍රී ලංකා ආර්ථිකය සෞභාග්‍යමත් හා තිරසර සංවර්ධනයක් වෙත මංපෙත් විවර කරවන ගමනේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටහන් කරමින් නව තාක්ෂණය යොදා ගනිමින් ඩිජිටල්කරණය වූ ආර්ථිකයක් වෙත පියමැනීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්‍රලාභී මූල්‍ය ආයතන, ජාලගත ජංගම දුරකතන සැපයුම්කරුවන්, ලංකා ක්ලියර් සමාගමත් එක්ව LANKA QR ගෙවීම් ක්‍රමවේදය හඳුන්වා දී තිබේ. මෙමඟින් ශ්‍රී ලංකාවේ මූල්‍ය අන්තර්ගත භාවය ඉහළ නැංවෙනවා පමණක් නොව ගනුදෙනුවල දී අඩුවෙන් මුදල් භාවිතා කළ හැකි වෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

ජාතික නිමවුම් සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් නොවන කළු ආර්ථික ගනුදෙනු විශාල ප්‍රමාණයක් අපේ රට තුළ සිදු වෙනවා. විධිමත් මුදල් වෙළෙඳ පොළ තුළ රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් සියලු දෙනා ශ්‍රී ලංකා මහ බැංකුව හදුන්වා දෙන ක්‍රමවේදය වැලඳ ගන්නේ නම් එය අපේ ඉදිරි සංවර්ධනය සහ ජයග්‍රහණය සඳහා අතිශයින්ම වැදගත් වෙනවා. ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය ආයතන මෙම විද්‍යුත් ගෙවීම් පද්ධතිය භාවිතා කිරීම සඳහා කැපවීමකින් යුතුව ඉදිරිපත් වන්නේ නම් ඒ තුළ විශාල ලෙස රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව හා ඵලදායිතාව වැඩි කළ හැකියි.

වඩාත් ආරක්ෂිත හා වේගවත් ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයන් දිරිගැන්වීම වෙනුවෙන් මේ කේතය හඳුන්වා දී තිබෙනවා. එය රටපුරා ක්‍රියාත්මක වෙයි. එක් ආයතනයක් සතුව QR එක් කේතයක් පමණක් ප්‍රමාණයත් වන අතර කිහිපයක් අවශ්‍ය නොවේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වාදෙන මේ කේතය එළිදැක්වීම අපේ රටේ අනාගතය වෙනුවෙන් ඉතා වැදගත් වෙනවා. පසුගිය කාලයේ අපිට නව තාක්ෂණය හඳුන්වා දෙන අවස්ථාව වන විට ලෝක ඉතිහාසයේ දරුණුතම ස්වාභාවික ව්‍යසනයට මුහුණ දෙන්න සිදු ව තිබෙනවා. ඒ අනුව මිලියන 35කට ආසන්න පිරිසක් කොවිඩ් ආසාදිතයන් වන විට මිලියනයක් පමණ මිය ගොස් තිබෙනවා. ඒ අනුව එම වසංගතයේ භයානක තත්ත්වය පැහැදිලියි. ලෝකයේ මහා බලවතා වන අමෙරිකාවේ මරණ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා තිබෙනවා. ඉන්දියාවේ මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවන විට අපේ රටේ මරණ සංඛ්‍යාව 13 වැනි අවම සංඛ්‍යාවක පවත්වා ගෙන යන්න පුළුවන් වී තිබෙනවා. කොවිඩ් වසංගතය මැඬ පැවැත්වීම සඳහා විචක්ෂණශීලී පාලන ක්‍රමවේදයක් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින අනුගමනය කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරු ප්‍රමුඛ ආණ්ඩුව සහ ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශවල කැපවීම හේතුවෙන් මේ දක්වා අපේ රටේ බලවත් රටවලට සාපේක්ෂව රටට අභිමානයක් විය හැකි ආකාරයෙන් මිනිස් ජීවිත බේරා ගැනීම වෙනුවෙන් විශාල ප්‍රගතියක් අත් කර ගෙන තිබෙනවා.

මෙහිදී බොහෝ වෙලාවට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවල දී මුදල් භාවිත නොවී ගනුදෙනු කරගන්න හැකිවූවා නම් මේ ක්‍රමය මීට වඩා ජනතාව අතර ප්‍රචලිත වී තිබුණා නම් එය විශාල පහසුවක් වන්නට ඉඩ තිබුණා. ලෝකයේ වෙනස් වීම හැර අන් සියල්ල වෙනස් වෙනවා. ඒ අනුව මූල්‍ය ක්‍රමයේ ඉතිහාසය තුළ දෙවැනි ලෝක යුද්ධයේදී ද මෙවැනි විනාශයක් වුණා. ලොව සමස්ත මුදල් ක්‍රමය කඩා වැටුණු අවස්ථාවේ වොෂිටන් නුවර පැවැති සම්මේලනයේ දී අන්තර්ජාතික මුදල් අරමුදල වැනි ආයතන බිහිවෙමින් ලෝක මූල්‍ය ක්‍රමය සම්බන්ධයෙන් නව ප්‍රවණතාවක් ඇති වුණා. පසුව විවිධ මූල්‍ය උපකරණ ලෝකයේ බිහි වුණා. ඒ අනුව තාක්ෂණයේ ඇතිව තිබෙන සංවර්ධනය අනුව අවම පිරිවැයක් යටතේ ගෙවීම් හා පියවීම් පද්ධති ලෝකය පුරා දියුණු තත්ත්වයට පැමිණ තිබෙනවා. අපේ කේත භාවිත කරමින් මීට වසර ගණනාවකට පෙර චීනය භාවිත කර තිබෙනවා. තමන්ගේ ජංගම දුරකතනය මඟින් මෙම ගෙවීම් සිදු කර තිබෙනවා. අපේ රට තුළ මූල්‍ය සාක්ෂරතාවය පහළ මට්ටමක පවතින රටක්. මේ රට තුළ විශාල වශයෙන් අවිධිමත් මුදල් වෙළෙඳපළෙක් හා විධිමත් නොවන ආකාරයේ ගෙවීම් සිදු වෙනවා.

මේ මූල්‍ය ක්ෂේත්‍රය තුළ නැති විශාල කළු ආර්ථිකයක් රටේ තිබෙනවා. ඒ තුළ නිල ගනුදෙනු සහ නිල නොවන ගනුදෙනු ජාතික නිමවුම් සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් නොවන කළු ආර්ථික ගණුදෙනු විශාල ප්‍රමාණයක් අපේ රට තුළ සිදු වෙනවා. විධිමත් මුදල් වෙළෙඳපොළ තුළ රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් සියලු දෙනා ශ්‍රී ලංකා මහ බැංකුව හදුන්වා දෙන ක්‍රමවේදය වැලඳ ගන්නේ නම් එය අපේ ඉදිරි සංවර්ධනය සහ ජයග්‍රහණය සඳහා අතිශයින්ම වැදගත් වෙනවා. ඒ නිසා මේ වෙනුවෙන් දායක වුණු සියලු දෙනාටම මගේ ගෞරවය පිරිනමනවා. මෙම විද්‍යුත් ගෙවීම් පියවීමේ පද්ධතිය සමස්ත ශ්‍රී ලංකාවට හදුන්වා දෙන අද දිනයේ ඒ වෙනුවෙන් දායක වුණු සැමට ප්‍රණාමය පිරිනමනවා. මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ ආයතනවලින් මිල ගණන් කැඳවා තිබෙන බවට අධිපතිවරයා සඳහන් කළා. අපේ රටේ රාජ්‍ය මාධ්‍ය ආයතන සෑම මසකම වැටුප් ගෙවා එම ආයතන පවත්වාගෙන යම සඳහා මහජන බදු මුදලින් මුදල් ගෙවා පවත්වාගෙන යනවා. ඒ නිසා වැඩසටහන් රැසක් කිසිදු ගාස්තුවක් අය කිරීමකින් තොරව ඉටු කර දීමේ වගකීම ඒ මාධ්‍ය ආයතනවලට තිබෙනවා.

ඒ නිසා මේ සම්බන්ධයෙන් කිසිදු ගාස්තුවක් අය කිරීමකින් තොරව ජනතාව දැනුවත් කිරීම සඳහා කර දෙන ලෙස ඉල්ලීමක් කරනවා. මෙම නව ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේදය පොදු ජනතාව අතර හදුන්වාදීම සඳහා ඔවුන්ට සහනයක් ලබාදීමට කිසිදු පිරිවැයක් නොදරා ඒ ක්‍රමය වෙනුවෙන් ඇතුළු වීමට ඉඩ ප්‍රස්තා සලසා දියයුතු වෙනවා. රුපියල් 100ට වඩා අඩුවෙන් සිදු වන ගනුදෙනු සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන්න කියා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම ලංකාවේ සියලුම රාජ්‍ය ආයතන මෙම විද්‍යුත් ගෙවීම් පද්ධතිය භාවිතා කිරීම සඳහා කැපවීමකින් යුතුව ඉදිරිපත් වන්නේ නම් ඒ තුළ විශාල ලෙස රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව හා ඵලදායිතාව වැඩි කළ හැකි වෙනවා. ඒ අනුව රාජ්‍ය ආයතන හා අනෙකුත් ආයතන ද මේ වෙනුවෙන් අනුගත වෙයි. කෙටි කලක් තුළ ජනතාවගේ විශ්වසනීය බව තවදුරටත් තහවුරු වන ආකාරයෙන් හා පිරිවැය අවම වන ආකාරයෙන් කාර්යක්ෂමතාව වර්ධනය වන පරිදි ඩිජිටල් ගෙවීම් පද්ධතිය සාර්ථක වේවා.

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා-

මෙය ඉතා වැදගත් ව්‍යාපෘතියක්. මෙය වැදගත් ව්‍යාපෘතියක ආරම්භයක් වෙනවා. එය දිගින් දිගටම ක්‍රියාවේ යෙදෙනවා. නවීන තාක්ෂණය දිනෙන් දින දියුණු වෙනවා. නවීන තාක්ෂණය ඔස්සේ මුහුණ දෙන්නට සිදුව තිබෙන අලුත් තත්ත්වයන් තිබෙනවා. අපට අලුත් අභියෝග තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව නවීන තාක්ෂණය සමඟ ඉදිරියට පැමිණ තිබෙනවා. මෙහි නවීකරණය 2002, 2003 වසරවල දී පටන් ගත්තා. එයින් පසුව සෑම වසරකදීම සිදුව තිබෙනවා. ඒ සමඟම 2006 වසරේ සිට මොබයිල් ටෙක්නොලොජි මුළු ජාලයටම එකතු කර ගත්තා ගෙවීම් සහ පියවීම් සඳහා. ඒ හරහා සිදුවන සිදුවීම් අද දිගින් දිගටම තවදුරටත් වර්ධනය කර ගන්න හැකිව තිබෙනවා. තාක්ෂණය යොදාගෙන මේ ගෙවීම් කරනවිට සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන්. කල්පනාකාරීව කටයුතු කළයුතු වෙනවා. සයිබර් ආරක්ෂාවක් නොමැතිව මේක කරන්න බැහැ. මෙය ඉතාම පහසුවෙන් සිදු වන නමුත් ඒ කාර්යය පිටුපස දැවැන්ත ක්‍රියාවලියක් සිදු වෙනවා. ඒක මහ බැංකුවෙන් සිදු වෙනවා.

ගෙවීම් සහ පියවීම් එතරම්ම වැදගත් වන්නේ ඒ නිසයි. ගෙවීම් සහ පියවීම්වලට පසුගිය 2005 වසරේ දී පාර්ලිමේන්තුවට විශේෂ පනතක් ගෙනැ විත් තිබෙනවා. එහි වැදගත්කම එයින් තහවුරු වෙනවා. ඒ නිසා අද මෙවැනි දේ කරනවිට සියලු අංග සම්බන්ධයෙන් සොයා බලා කරනවා. ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද QR කේතයක් හඳුන්වා දී තිබෙනවා. එය රටේ වාණිජමය ක්ෂේත්‍රයට ඉතා වැදගත් වෙනවා. රටක් ලෙස ඉදිරියට යෑම සඳහා මේ කාර්යය ඉතාම වැදගත් වෙනවා. ඉදිරියේ දී සිදුවිය යුතු දේ තිබෙනවා. මේ ක්‍රමවේද හරහා අපි තවදුරටත් අපේ ගෙවීම් සහ පියවීම් වර්ධනය කරන්න අවශ්‍ය වෙනවා. ඒක ඉතාම වැදගත්. විදේශවලින් දැවැන්ත මුදලක් හවාලා ක්‍රමවේදය හරහා අපේ රටට පැමිණෙනවා. එය සිදු වෙනවා. විකල්ප ක්‍රමවේද සොයා ගෙන ඒ අනුව කටයුතු කරගෙන යනවා. මෙවැනි ක්‍රමවේද හරහා පහසුකර ආර්කෂා සහිතව අඩු පිරිවැයකට කරන්න පුළුවන් නම් විදේශ ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ද මේ රටට මුදල් එවන්න පුළුවන්කම තිබෙනවා. එය කරන්න පුළුවන් නම් අපේ රටට ගලාඑන මුදල අවම පිරිවැයකින් කරන්න පුළුවන් වෙයි.

ශ්‍රී ලංකාවේ ගෙවීම් සහ පියවීම් සම්බන්ධ නියමුවා ශ්‍රී ලංකා මහ බැංකුවයි. ඒ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවට තිබෙනවා. ඒක හරියාකාරව කරන්න සියලු තාක්ෂණ වර්ධනය සමඟ කටයුතු කළයුතු වෙනවා. අනාගත අභියෝග තිබෙනවා. තාක්ෂණයෙන් ඉක්මනින් ඉදිරියට යනවා. ඉදිරියේ දී තාක්ෂණය සමග ඉදිරියට යන්න සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් සොයා බැලිය යුතු වෙනවා. තාක්ෂණය සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ද පැවතිය යුතු වෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා-

ඩිජිටල් ගනුදෙනු වර්ෂය මේ වනවිට අප ගත කරමින් සිටිනවා. මේ වසර ඩිජිටල් ගනුදෙනු වසර ලෙස නම් කර තිබෙනවා. මහජනතාව අතර භෞතික වශයෙන් මුදල් භාවිතය අවම කොට ඩිජිටල් ගනුදෙනු වැඩි කිරීමයි අපේ අරමුණ. ඒ සඳහා රටපුරා QR කේතය අද හදුන්වා දෙනවා. මේ කාර්යය වෙනුවෙන් දායක වූ සැමට මගේ ගෞරවය පිරිනමනවා. සමාජය තුළ ඩිජිටල් ගෙවීම් ක්‍රම ප්‍රචලිත කිරීමෙන් රටේ මුදල් භාවිතය පවත්වාගෙන යෑමට දරන පිරිවැය අවම කරගන්න පුළුවන් වෙනවා. නව්‍ය තාක්ෂණික ක්‍රමවේද භාවිතය තුළින් දේශීය හා විදේශීය වෙළෙඳපොළ අවශ්‍යතා සඳහා රටක් වශයෙන් ශක්තිමත්ව මුහුණ දීමට අපිට හැකියාව ලැබෙනවා. එසේම එමඟින් රාජ්‍ය හා පෞද්ගලික අංශවල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, මූල්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම යනාදී ප්‍රයෝජන රැසක් අත් වෙනවා. මේ සියල්ල මූල්‍ය ක්ෂේත්‍රයේ වර්ධනයටත් ඒ හරහා ආර්ථික සංවර්ධනයටත් විශාල රුකුලක් වෙනවා. කොවිඩ් -19 වසංගත තත්ත්වය උග්‍රව පැවැති කාලය තුළ එම තත්ත්වයට ශක්තිමත්ව මුහුණදීමට ඩිජිටල් ගෙවීම් ක්‍රම මහත් පහසුවක් වුණා.

කෙසේ වුවද එම කාලයේ දී රට තුළ සංසරණය වූ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 770ක් පමණ වුණා. ඒ තත්ත්වය තුළ භෞතික මුදල් පරිහරණය අවම කරන ක්‍රමවේද හඳුන්වාදීම තවදුරටත් කළ යුතු වෙනවා. එමඟින් රටේ මුදල් නිකුතුව අඩු කර වියදම් අඩු කර ගැනීම හා වසංගත තත්ත්වයක දී භෞතික වශයෙන් මුදල් භාවිතයෙන් සිදුවන රෝග ව්‍යාප්තියේ අවදානම අඩු කර ගන්න පුළුවන්. අන්තර්ජාතික ප්‍රමිතීන්ට හා පරිචයන්ට අනුව මූල්‍ය වෙළෙඳපොළ සම්බන්ධ නවීන යටිතල පහසුකම් ගොඩනැඟිය යුතු වෙනවා. ඊට අදාළ නෛතික තත්ත්වය ස්ථාපනය විය යුතු වෙනවා. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වගකීමෙන් කටයුතු කරනවා. මෙම නව්‍ය තාක්ෂණික සංකල්ප මහජනතාව වෙත ගෙන යෑමට බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු වෙත වගකිව යුතු කාර්යභාරයක් පැවරී තිබෙනවා. 2020 වසර තුළ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් වැදගත් කාර්යයන් රැසකට පිවිස තිබෙනවා.

ඩිජිටල් ගෙවීම් ක්‍රමය ඔස්සේ 'ඉටුකම' අරමුදල වෙත මුදල් පරිත්‍යාග කිරීම ද වෙළෙඳ ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතින් මෙහිදී සිදු විය.

රාජ්‍ය ඇමැතිවරුන් වන ශෙහාන් සේමසිංහ, ලසන්ත අලගියවන්න, භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල, ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කුමාරතුංග මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

ඡායාරූප - වාසිත පටබැඳිගේ

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න