දේශීය සමාගම් හතරකින් පාසල් දරුවන්ගේ නිල ඇඳුම් රෙදි ලබා ගන්නවා | දිනමිණ

දේශීය සමාගම් හතරකින් පාසල් දරුවන්ගේ නිල ඇඳුම් රෙදි ලබා ගන්නවා

ඇමැති, මහාචාර්ය ජී.එල්. පීරිස්

පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදීමට අවශ්‍ය රෙදි මීටර් මිලියන 12ක් දේශීය රෙදිපිළි නිෂ්පාදන සමාගම් හතරක් වෙතින් දෙසැම්බර් මාසයට පෙර ලබාගැනීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ ඊයේ (5) පැවති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේ ද කීය.

'අදාළ එකඟතා ගිවිසුම අනුව මේ රෙදි සියල්ල දෙසැම්බර් පළමු සතියට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබා දිය යුතු බවට එම සමාගම්වලට ඉතා පැහැදිලිව දැනුම්දී තිබෙනවා. රජයේ තීරණය කූපන් තිළිණ ලබාදීම නොව රෙදිම ළමයින්ට ලබාදීමයි. දේශීය නිෂ්පාදන දිරිගැන්වීම රජයේ ප්‍රමුඛ අරමුණ වන නිසා මේ රෙදි නිෂ්පාදනය කරන සමාගම්වලට කරන දිරිගැන්වීමක් වශයෙන් මේ පියවර ගැනීමට රජය තීරණය කළා. හැබැයි එක කොන්දේසියකට යටත්වයි. මෙය ස්ථිර කරගැනීමට ඉදිරි දවස් දෙක ඇතුළත මා බලාපොරොත්තු වෙනවා, ඒ සමාගම්වල නියෝජිතයන් හමුවී ඒ අයට ඉතා පැහැදිලිව කියන්න කිසිම ප්‍රමාදයකින් තොරව, දෙසැම්බර් මාසය ආරම්භය වීමට පෙර ගිවිසුම අනුව පොරොන්දු වූ පරිදි මේවා අපට ලබා දිය යුතුයි කියලා.

සති අන්තයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක කොවිඩ්-19 ආසාදිතයකු හමු වුණා. මේ පිළිබඳ ක්ෂණික තීන්දු ගැනීමට රජය ඉදිරිපත් වුණා. පළමුව ගත යුතු තීරණය වුණේ පාසල් සම්බන්ධවයි. අප පැහැදිලි ස්ථාවරයක සිටියා කිසිම අවදානමක් පාසල්වල ළමයින් සම්බන්ධයෙන් පිළිගන්න බෑ කියලා. ඒ නිසා එකවිටම අප තීරණය කළා 09 වන සිකුරාදා ආරම්භ වීමට නියමිතව තිබු පාසල් නිවාඩුව මුළු දිවයිනට ම බලපාන පරිදි 05 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට. මේ තීරණය රටේ සියලු පාසල්, පෙර පාසල්, පිරිවෙන් සහ උපකාරක පන්තිවලටත් බලපානවා. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලය, වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය සහ නයිවල උසස් තාක්ෂණ ආයතනයත් මේ තත්ත්වය නිසා තාවකාලිකව වැසීමට පියවර ගත්තා.

‍කොවිඩ් ආසාදිතයා සොයාගැනීමෙන් පසු අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාව වයිරසය පැතිරීම වැළැක්වීමට ගත හැකි සියලු‍ දේ විධිමත් පරිදි ගත්තා. ‍ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන් විෂබීජහරණයකට ලක් කළා. ඒ වගේම බස් රථ විෂබීජහරණය කළා. මේ සියල්ල කළේ මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් දැඩි ලෙස අනුගමනය කරමින්. ඒ වගේම යුද හමුදාව මේ සම්බන්ධයෙන් ඉතා අගනා කාර්යභාරයක් ඉටු කළා. රෝගියාගේ සමීපතමයන්, ආශ්‍රිතයන් සහ දුරස්ථ ආශ්‍රිතයන් සොයා ගෙන පී. සී. ආර්. පරීක්ෂණ පැවැත්වීමේ වගකීම හමුදාව භාර ගත්තා. දැනටම හයසීයක් පමණ නිරෝධායනයට ලක්ව තිබෙනවා. මේ පරීක්ෂණවල ප්‍රතිඵල බදාදාට පෙර ලැබීමට නියමිතය. අනාගතය පිළිබඳ තීරණගැනීම වඩා පහසු වෙනවා ඒ තොරතුරු දැනගත්තාට පසුව. මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා. මේ තත්ත්වය ගැන නිරන්තරයෙන් විමසිල්ලෙන් සිට දවසින් දවස ගත යුතු පියවර ගැනීමට ආණ්ඩුව යුහුසුලු වෙනවා.'

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා

'ඇතැම් සමාජ මාධ්‍ය සඳහන් කර තිබෙන ආකාරයට ජනාධිපතිවරයාවත්, අගමැතිවරයාවත්, අපේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාවත්, චමල් රාජපක්ෂ මහතාවත් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ සොහොයුරා නිදහස් කිරීම සම්බන්ධයෙන් හෝ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා රජයට සම්බන්ධ කරගැනීම සම්බන්ධයෙන් එකඟතාවක් හෝ කිසිදු සාකච්ඡාවක් පවත්වා නෑ. එවැනි කිසිම අදහසක් ඇත්තේ නැති බවත් ඉතා පැහැදිලිව කිව යුතුයි.

2015ට පෙර මහින්ද රාජපක්ෂ මහතාගේ රජය පෙරළන්න, දුර්වල කරන්න කටයුතු කළ දේශපාලන කණ්ඩායම් සමඟ එක්ව කටයුතු කරන පිරිස් තමයි රාජපක්ෂවරුන්ට එරෙහිව මේ අසත්‍ය මත ප්‍රචාරය කරන්නේ. ඒ ප්‍රචාරවලට හසු නොවන ලෙස අප ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මැතිවරණයට පෙර අප ඉතා පැහැදිලිව කිව්වේ 19 වැනි සං‍ශෝධනය සම්පූර්ණයෙන් ඉවත් කරන බව. ඉන් පසුව අපට පුළුවන් අලුත් ව්‍යවස්ථාවක් හදන්න.'

සිතාරා සේනානි

නව අදහස දක්වන්න