අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි රියාජ්ගෙන් රිට් පෙත්සමක් | දිනමිණ

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි රියාජ්ගෙන් රිට් පෙත්සමක්

නෙල්කා මැදගෙදර

ඉකුත් වසරේ අප්‍රේල් මස 21වැනි පාස්කු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබා සිට පසුගිය සැප්තැම්බර් 29වැනිදා රහස් පොලිසිය විසින් නිදහස් කළ තමන් නැවත අත්අඩංගුවට ගැනීමෙන් හෝ අත්අඩංගුවට ගැනීමට පියවර ගැනීමෙන් වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන් වළක්වන පොහිබිෂන් රිට් ආඥාවක් සහ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රියාජ් බදියුදීන් මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඊයේ (13)ගොනු කළේය.

එම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් ට එරෙහිව පැවති කරුණු සම්බන්ධයෙන් විමර්ශන අවසන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් මුදා හැරීම කළ බැවින් එකම කරුණ සම්බන්ධයෙන් නැවත තමන් අත්අඩංගුවට ගැනීම සාධාරණ නැතැයි ඔහු පෙන්වා දී තිබේ.

සිය සොයුරා වන රිෂාඩ් බදුර්දීන් ක්‍රියාකාරී දේශපාලනයෙහි නිරත වන බැවින් දේශපාලන පලිගැනීම සඳහා ද්වේශ සහගත ලෙස නැවත තමන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන බවට පෙත්සම මගින් ඔහු පැමිණිලි කර සිටී.

වැඩ බලන පොලිස් පති සි.ඩී. වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදිසින්හ, එහි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න ද අල්විස්, එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මිහිදු අබේසිංහ ඇතුළු හත් දෙනකු මෙහි වගඋත්තරකරුවෝ වෙති.

ඉකුත් අපේල් මස 14දින

ව්‍යාපාරිකයකු වන තමන්ගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පහලොස් දෙනකු පමණ පැමිණි බවත්, සවස 6.00ට පමණ තමන් අත්අඩංගුවට ගත් බවත් පෙත්සම්කරු සඳහන් කර සිටී.

එදින රාත්‍රියේ 9.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ගිය තමා ගෙන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බකරු වූ ඉන්සාප් ඊබ්‍රාහිම් සමඳ පැවැති දුරකථන සන්වාද ඇතුළු කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බව පෙත්සම්කරු සඳහන් කර ඇත.

එලෙස අත්අඩංගුවට ගත් තමා දින 169ක් තිස්සේ රැඳවුම් නියෝග මත තබා ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිය නිවාස, දේපළ, ව්‍යාපාර, බැංකු ගිණුම් යනාදිය පිළිබඳ පුළුල් විමර්ශනයක් කළ බව පෙත්සම්කරුවන් කියයි.

නව අදහස දක්වන්න