යුද හමුදාපති කුසලාන ලීග් ක්‍රිකට් චන්දිගේ සදර්න් - සීක්කුගේ නොදර්න් අවසන් සටන අද දොඹගොඩදී | දිනමිණ

යුද හමුදාපති කුසලාන ලීග් ක්‍රිකට් චන්දිගේ සදර්න් - සීක්කුගේ නොදර්න් අවසන් සටන අද දොඹගොඩදී

 

ඩීමෝ සදර්න් වොරියස් සංචිතය - දිනේෂ් චන්දිමාල් (නායක), අසන්ත බස්නායක, බිෂාන් මෙන්ඩිස්, ඩිලාන් මධුෂංක, දුෂ්මන්ත චමීර, ගයාශාන් කෝරලගොඩ, ගිහාන් කෝරලගේ, ජගත් රාජපක්ෂ, ජනිත් ද සිල්වා, කවිෂ්ක ලක්ෂාන්, මධුෂාන් බොතොටගේ, මලින්ද අභිෂේක්, ප්‍රියන්ත රත්නායක, රශ්මික සිරිවර්ධන, රුචිර සිල්වා, ෂෙහාඩ් සොයිසා, සුමින්ද ලක්ෂාන්, සුරංග ලක්මාල්, තුෂාන්ද සොයිසා, වනිඳු හසරංග.

 

සුපර් ෆැෂන් නොදර්න් වොරියස් සංචිතය - සීක්කුගේ ප්‍රසන්න (නායක), අකිල ධනංජය, අරුන් අන්චායන්, අශාන් සම්පත්, අශාන් රන්දික, භානුක රාජපක්ෂ, භාෂිත ලක්ෂාන්, දසුන් ශානක, ඩිල්ෂාන් මදුශංක, හරිත් ප්‍රනාන්දු, හේෂාන් හෙට්ටිආරච්චි, ඉරේෂ් චාමර, ජානක සම්පත්, ප්‍රභාත් ද සිල්වා, රවීන් පෙරේරා, සරත් මධුෂංක, ෂෙහාන් ප‍්‍රනාන්දු, ශිහාන් ද සිල්වා, තරිඳු කෞෂාල්, විනෝද් පෙරේරා.

 

ශ්‍රී ලංකා යුද හමුදාව පළමු වරට සංවිධාන කරන ‘යුද හමුදාපති කුසලාන ලීග්’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද (17) පස්වරු 1.30ට දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දිනේෂ් චන්දිමාල් මෙහෙයවන ඩීමෝ සදර්න් වොරියස් කණ්ඩායම සහ සීක්කුගේ ප්‍රසන්නගේ නායකත්වයෙන් යුත් සුපර් ෆැෂන් නොදර්න් වොරියස් කණ්ඩායම මෙහිදී තරග බිමට පිවිසෙයි.

මින් පෙර මේ අවසන් තරගය නව තණතීරු සහිතව ප්‍රතිසංස්කරණය කළ අනුරාධපුර සාලියපුර ගජබා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද රට තුළ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් මූලික වටයේ තරග පැවැති දොඹගොඩ ක්‍රීඩාංගණයේදීම මේ තරගයත් පැවැත්වීමට යුද හමුදා ක්‍රිකට් කමිටුව පියවර ගෙන ඇත.

කණ්ඩායම් 4කගේ සහභාගිත්වයෙන් පැවැති තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන දෙක දිනා ගනිමින් මේ කණ්ඩායම දෙක අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය. මේ කණ්ඩායම් දෙක සමඟ තිසර පෙරේරාගේ මෙල්බර්න් වෙස්ටන් කණ්ඩායම ද තරග 3 බැගින් ජයගෙන තිබුණද එක් තරගයක් විසඳුමකින් තොරව නිමා වීමෙන් සදර්න් සහ නෝදර්න් අවසන් තරගයට අවස්ථාව උදා කර ගත්තේය.

මේ දෙපිල මූලික වටයේ දෙවරක් එකිනෙකා හමු වූ අතර, එහිදී එක් තරගයක් සදර්න් පිල ජයගත් අතර, අනෙක් තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට පත් විය.

මේ තරගාවලියේ සෑම කණ්ඩායමකටම ආරාධිත ක්‍රීඩකයන් ලෙස ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනකු බැගින් එක් කර තිබිණි. ඒ අනුව චන්දිමාල්ගේ කණ්ඩායමට සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග ක්‍රීඩා කරන අතර, දසුන් ශානක, අකිල ධනංජය සහ භානුක රාජපක්ෂ සීක්කුගේ මෙහෙයවන නොදර්න් කණ්ඩායමට ක්‍රීඩා කරති.

කෙසේ වෙතත් තරගාවලියේ නීතිරීති අනුව නවකයන්ට අවස්ථාව දීමේ අරමුණින් තරගයකට නම් කරන අවසන් 11⁣ දෙනා අතරට නායකයන් හැර ක්‍රීඩා කළ හැක්කේ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් දෙදෙනකුට පමණි.

තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් අතර පෙරමුණ ගැනීමට දිනේෂ් චන්දිමාල් (සදර්න්) සමත්ව ඇත්තේ තරග 6කදී අර්ධ ශතක 3ක් ද සමඟින් ලකුණු 269ක් රැස් කරමිනි. වෙස්ටන් කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු අර්ධ ශතක 3ක් සමඟ ලකුණු 218ක් රැස් කරමින් දෙවැනි තැන පසු වෙද්දී තරගාවලියේ වාර්තා වූ එකම ශතකයට හිමිකම් කියන ඊස්ටන් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් තරග 3කදී ලකුණු 183ක් ගෙන තෙවැනි තැනට පත් විය. නොදර්න් පිලට එරෙහිව මේ ශතකය රැස් කළ මෙන්ඩිස් ඊට වැය කළේ පන්දු 66ක් පමණි. හතරේ පහර 11කින් සහ හයේ පහර 5කින් ඔහුගේ ඉනිම වර්ණවත් විය.

වෙස්ටන් කණ්ඩායමේ නායක තිසර පෙරේරා තරග 6කදී කඩුලු 12ක් දවා ගනිමින් වැඩිම කඩුලුලාභියා වූ අතර, එම කණ්ඩායමේ යශෝධ මෙන්ඩිස් කඩුලු 10ක් බිඳ දමමින් දෙවැනි තැනටත්, සීක්කුගේ ප්‍රසන්න (කඩුලු 8) තෙවැනි තැනටත් පත්ව සිටී.

මේ තරගාවලියේ ජයග්‍රාහකයන්ට ශූරතා කුසලානය සමඟ රු. 150,000ක් පිරිනැමෙන අතර, අනුශූරයන්ට රු. 75,000ක් පිරිනැ⁣මේ. ඊට අමතරව තරගාවලියේ වීරයා, දක්ෂතම පිතිකරු සහ දක්ෂතම පන්දු යවන්නා සඳහා ද මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතය.

තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර, එම අවස්ථාවට යුද හමුදා ක්‍රිකට් කමිටු සභාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය, උප සභාපති බ්‍රිගේඩියර් ශිරාන් අබේසේකර මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය.

නිරෝෂාන් ප්‍රියංකර

නව අදහස දක්වන්න