වසර 15කට පසු තරග සංචාරයකට එංගලන්තයට පාකිස්තානයෙන් ආරාධනයක් | දිනමිණ

වසර 15කට පසු තරග සංචාරයකට එංගලන්තයට පාකිස්තානයෙන් ආරාධනයක්

කෙටි තරග සංචාරයක් සඳහා සහභාගි වීමට ලබන වසරේ මුල් භාගයේදී පාකිස්තානයට පැමිණෙන ලෙස තම ක්‍රිකට් කණ්ඩායමට ආරාධනා කර ඇතැයි එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

එළැඹෙන ජනවාරි මස අග හෝ පෙබරවාරි මස මුලදී මේ කෙටි සංචාරය පැවැත්වීම පිළිබඳ දෙරටේ ක්‍රිකට් ආයතන සාකච්ඡා කරමින් සිටින බවත්, බොහෝ විට එය තරග 3කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියක් වනු ඇති බවත් සඳහන් වෙයි. මේ සංචාරය සිදු වුව හොත් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරය කරන්නේ වසර 15කට පසුවය.

එංගලන්තය අවසන් වරට 2005 වසරේ පාකිස්තානයේදී ක්‍රීඩා කළ අතර, අනාගත සංචාර වැඩසටහන (FTP) යටතේ ඔවුන් යළිත් සංචාරය කිරීමට නියමිතව ඇත්තේ 2022 වසරේදීය.

2009දී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පසු වසර 10ක් පාකිස්තානයේදී ජගත් ක්‍රිකට් ක්‍රීඩා කිරීම නැවැතී තිබිණි.

ඉන් අනතුරුව 2015දී සිම්බාබ්වේට එරෙහිව සීමිත ඕවර තරගාවලියකින් පාකිස්තානයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව සිදු කළේය. ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ ලෝක කණ්ඩායම් විස්සයි20 තරගාවලි ක්‍රීඩා කළ අතර, 2019දී ශ්‍රී ලංකාව පූර්ණ තරග සංචාරයක ද නිරත විය.

බංග්ලාදේශය ද මේ වසර මුලදී පාකිස්තානයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කර ඇති අතර, එම තරගාවලියේ ඉතිරි තරගය සහ එක්දින තරගක් සඳහා යළිත් පාකිස්තානයේ ක්‍රීඩා කිරීමට බංග්ලාදේශය අයිසීසී අවසරය බලාපොරොත්තුවෙන් සිටී.

“ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව පාකිස්තානයට නැවත පැමිණීම සහ එය තවදුරටත් වර්ධනය කිරීමට අපට කළ හැකිදේ කිරීමට අප කැප වී සිටිනවා” යැයි පවසන එංගලන්ත ක්‍රිකට් ආයතතනය “මේ අවස්ථාවේ සිදු වන ඕනෑම යෝජිත සංචාරයකදී මෙන්, අපගේ ක්‍රීඩකයන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ සුභසාධනය ඉතා වැදගත්” යැයිද පවසයි.

එංගලන්තය දැනට ජනවාරි මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති ශ්‍රී ලංකා සංචාරය සහ පූර්ණ ටෙස්ට් හා සීමිත ඕවර සංචාරයක් සඳහා ජනවාරි මාසයේ අග ඉන්දියාවට යාමට ද නියමිතය. එවකට පාකිස්තාන සංචාරය ද එකම අවස්ථාවක සිදු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“නියමිත වේලාවට අවසන් තීරණයක් ගැනීමට පෙර, අපි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සහ අනෙකුත් හවුල්කරුවන් සමඟ ඉදිරි සති කිහිපය තුළ මේ කරුණු සලකා බැලීමට කටයුතු කරනවා” එංගලන්තය කියා සිටී.

කොරෝනා වසංගතයෙන් පසු සිම්බාබ්වේ පිල මේ මස අවසානයේ පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිතය.

නව අදහස දක්වන්න