නගොර්නෝ කර්බාක් සටන් විරාමයක් සඳහා කරන සටන! | දිනමිණ

නගොර්නෝ කර්බාක් සටන් විරාමයක් සඳහා කරන සටන!

නගොර්නෝ - කරබාක්

n වර්ග කි.මී.4400කින් පමණ සමන්විත කඳුකර ප්‍රදේශයකි.

n සාම්ප්‍රදායිකව ක්‍රිස්තියානි ආර්මේ නියානුවන් සහ මුස්ලිම්තුර්කිවරු ජීවත් වූහ.

n සෝවියට් පාලන සමයේදී

අසර්බයිජානය යටතේ ස්වයංපාලන ප්‍රදේශයක් ලෙස පැවැතිණි.

n අසර්බයිජානයට අයත්

ප්‍රදේශයක් බව අන්තර්ජාතික පිළිගැනීමය.

n එසේ වුවද බහුතර ජනගහනය වාර්ගික ආර්මේනියානුවෝ.

n 1988 – 1994 යුද සමයේදී

30,000 ක් මියගොස් මිලියනයක් පමණ අවතැන් වූ බවටගණන් බලා තිබේ.

n 1990 ගණන්වල යුද සමයේදී

බෙදුම්වාදී කණ්ඩායම්අසර්බයිජානයේ ප්‍රත්‍යන්ත ප්‍රදේශ අත්පත් කර ගත්හ.

n 1994 දී ඇති කර ගත් සටන් විරාමය අසීරු තැනකට එළඹ ඇත.

n තුර්කිය විවෘතවම අසර්බයිජානයට සහාය පළ කරයි.

n ආර්මේනියාවේ රුසියාවේ හමුදා කඳවුරු පිහිටා තිබේ.

 

නගොර්නෝ - කර්බාක්හි ගැටුම් දරුණු අතට හැරී තිබේ. ආර්මේනියා අගමැති නිකොල් පෂින්යාන්, තම භට පිරිස්වලට දරුණු තුවාල සිදු වී ඇති බව කියා සිටී. එසේ වුවද ආර්මේනියානු හමුදා තවදුරටත් ස්වකීය පාලනය පවත්වා ගැනීමට සමත්ව ඇති බව ද ඔහු සඳහන් කර තිබේ. දෙපාර්ශ්වය අතර ගැටුම් අවසන් කරන ලෙස රුසියානු මෙන්ම තුර්කි නායකයන් ඉල්ලා ඇත. එය කලාපීය ගැටුමක් දක්වා දුර දිග නොයා යුතු බව ඔවුන්ගේ අදහසය. නගොර්නෝ කර්බාක් ප්‍රදේශය, අසර්බයිජානයට අයත් බව අන්තර්ජාතික පිළිගැනීම වුවද එහි වසන බහුතරය වාර්ගික ආර්මේනියානුවන්ය.

මෙම ප්‍රදේශයේ මෙතරම් දරුණු ගැටුමක් ඇවිළ ගියේ දශක ගණනාවකට පසුවය. ඉකුත් සැප්තැම්බර් 27 වැනිදා ඇරැඹි ගැටුම් හේතුවෙන් මේ වන විට දෙපාර්ශ්වයේම සිය ගණනක් ජීවිතක්ෂයට පත් වී තිබේ. රුසියාවේ මැදිහත් වීමෙන් දෙපාර්ශ්වය අතර ඇති කර ගෙන තිබූ සටන් විරාමය ඉකුත් සතියේදී බිඳ වැටිණි. දරුණු ලෙස යුද ගැටුම් ඇවිළ ගිය 1980 ගණන් සහ 1990 ගණන්වලින් පසු, ජීවිත හානි වළක්වා ගැනීම සඳහා දෙපාර්ශ්වයම සටන් විරාමයකට එළැඹියේ 1994 දීය. එම සටන් විරාමය, සාම ගිවිසුමක් මඟින් ඇති කර ගන්නා ලද්දක් නොවිණි.

වීර කාව්‍ය

තම හමුදාවන්ට සිදුව ඇති හානි පිළිබඳ දක්වමින් ආර්මේනියානු අගමැති පෂින්යාන්, එම වීරයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද විශේෂයෙන් ඔවුන්ගේ මව්වරුන්ට ද හිස නමා ආචාර කරන බව පැවසීය. “මම සලකන්නේ මෙය පෞද්ගලිකවම මටම සිදු වූ අහිමි වීමක් කියලා. ඔවුන් මගේම පවුලේ සාමාජිකයන් හැටියටයි මම සලකන්නේ. මම මේ ප්‍රකාශය කරන්නෙ බලාපොරොත්තු බිද වැටීම නිසා නොවෙයි. ජනතාවට ඇත්ත කියන්න මම බැඳී සිටින නිසා. අපි අසීරු තත්ත්වයකට මුහුණ දී සිටින බව අප කවුරුත් දැන ගත යුතුයි. අප ජීවත් විය යුතුයි. ජයග්‍රහණය කළ යුතුයි. අපේ ඉතිහාසය නිර්මාණය කළ යුතුයි. මේ නව සංග්‍රාමය ඔස්සේ අප ඒ වීර කාව්‍ය ලියමිනුයි සිටින්නේ...’

ආර්මේනියානු හමුදාවන්ට සිදු වූ ජීවිත හානි හා යුද උපකරණ විනාශ වීම බලවත් විය හැකි වුවද ප්‍රදේශයේ පාලනය තවමත් ඇත්තේ ඔවුන් අත බව ද මෙහිදී අගමැතිවරයා සඳහන් කළේය.

මේ අතර, අසර්බයිජාන අගමැති ඉල්හාම් අලියෙව් චෝදනා කරන්නේ ආර්මේනියාව සිය ගෑස් සහ තෙල් නළ මාර්ගවලට පහර දී ඇති බවටය. “අපේ නළ මාර්ග අත්පත් කර ගැනීමට ඔවුන් වෑයම් කරනවා. ඔවුන් එසේ කිරීමට තැත් කළොත් ප්‍රතිඵල මීට වඩා දරුණු වේවි. “ යනුවෙන් ජනාධිපතිවරයා පවසා ඇත. අසර්බයිජාන ආරක්ෂක අමාත්‍යාංශය පවසන පරිදි, ආර්මේනියා‍වේදී බැලස්ටික් මිසයිල රැගෙන යන රථයක් විනාශ කිරීමට ඔවුන්ට හැකි වී තිබේ. තම නගරවලට ඉන් ප්‍රහාර එල්ල වූ බව ද ඔවුහු පවසති.

ආර්මේනියාව මෙවැනි ප්‍රහාරයක් සිදුව ඇතැයි තහවුරු කළද තමන් එක් මිසයිලයක් හෝ ෂෙල් ප්‍රහාරයක් එල්ල කර නැති බව ද කියා සිටී.

අලුත් වටයකින් ගැටුම් ඇවිළ යෑමෙන් පසු පළමු වරට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් හා තුර්කි ජනාධිපති ටයිප් එර්ඩොගාන් අතර ඉකුත් බදාදා දුරකතන සංවාදයක් සිදුව ඇතැයි වාර්තා විය. ක්‍රෙම්ලින ආරංචි මාර්ග පවසන පරිදි, මෙම අර්බුදයට සාමකාමී විසඳුමක් සෙවීමේ අවශ්‍යතාව එහිදී අවධාරණය කර තිබේ.

ගැටුම්කාරීත්වය

නගොර්නෝ කර්බාක් ප්‍රදේශය අසර්බයිජානයට අයත් බව පිළිගැනුණ ද එහි ජීවත් වන වාර්ගික ආර්මේනියානුවන් පවසන්නේ එය ආමේනියාවට අයත් විය යුතු බවය. එසේ විය යුතු බවට ඔවුහු වරක් ඡන්දය ද ප්‍රකාශ කළහ. අසර්බයිජානය එය තමන්ට අයත් ප්‍රදේශයක් ලෙස සලකා ක්‍රියා කරයි. ගැටුම්කාරිත්වයට හේතුව එහි අයිතිය කා සතුවිය යුතු ද යන මේ ගැටලුකාරිත්වයයි.

දැනට ඇවිළ යන යුද ගැටුම්වලින් දෙපාර්ශ්වයේම සිවිල් වැසියන්ට ද හානි සිදුව ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන්ය. ඉන් දෙපාර්ශ්වයේම සිවිල් වැසියෝ පීඩාවට පත්ව සිටිති. අසර්බයිජානයේ දෙවැනි විශාලම නගරය වන ගන්ජ වෙත එල්ල වූ ප්‍රහාරය පිළිබඳ අසර්බයිජානය චෝදනා කරන්නේ ආර්මේනියාවටය. එම ජනාකීර්ණ පෙදෙසට එල්ල වූයේ බැලස්ටික් මිසයිලයක් බව ඔවුහු පවසති. මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන ආර්මේනියාව කියා සිටින්නේ එය, සිවිල් වැසියන්ට එල්ල වූ බාකු ප්‍රහාරයක් බවය.

නගොර්නෝ කර්බාක් යනු තම මව්බිම බව පවසන අසර්බයිජානුවන්, ආර්මේනියානුවන් සාමකාමීව ඉන් පිටවිය යුතු බව පවසයි. එසේ වුවද බහුතරය වන ආමේනියානුවෝ ඉන් පිටවීමට සූදානම් නැත. ආමේනියානු හමුදා මිසයිල ප්‍රහාර එල්ල කරන බවට අසර්බයිජානය චෝදනා කළ ද, ආමේනියානු වැසියෝ අසර්බයිජානයට ද මේ චෝදනාව එල්ල කරති.

මිලිටරිමය සහාය

මිසයිල ප්‍රහාරවලින් විනාශ වූ සිය නිවෙස් දක්වමින් ඔවුන් කියා සිටින්නේ ඒවා එල්ල කර ඇත්තේ අසර්බයිජානය බව තම විශ්වාසය බවයි. නගොර්නෝ කර්බාක්හි ජීවත්වන ආමේනියානුවන්ගේ අදහස තමන්ට රුසියාවේ මිලිටරිමය සහාය ලැබිය යුතු බවය. මෙහිදී රුසියාව හා තුර්කිය එක්ව ක්‍රියා කිරීම ඇතැම් ආමේනියානුවෝ සතුටු නොවෙති. තුර්කියේ සහාය ලැබෙන්නේ අසර්බයිජානයටය. මෙම ගැටුමේදී ද තුර්කිය සිරියානු කුලී හේවායන්ගේ සේවය ගෙන ඇති බවට ද මාධ්‍ය වාර්තා පළ විය. මීට දින කිහිපයකට පෙර මල සිරුරු 50 ගණනක් සහිත කන්ටේනරයක් පිළිබඳ වාර්තා කරමින් ඔවුන් සිරියානු කුලී හේවායන් ලෙස යොදවා ගත් අය බව ‘වොෂින්ටන් ‍පෝස්ට්’ වැනි පුවත්පත් පැවසූහ. කෙසේ වුව ද තුර්කිය කියා සිටින්නේ සිරියානු සටන්කරුවන් එහි යවා නැති බවයි.

ආට්ෂාක්

ආමේනියානුවන් විසින් නගෝර්නෝ කර්බාක් ප්‍රදේශය හඳුන්වන්නේ ‘ආට්ෂාක්’ යනුවෙනි. පරම්පරා ගණනාවක් තිස්සේ එය ස්වකීය වාසභූමිය බව ඔවුහු පවසති. එබැවින් එය හැර යෑමට ඔවුන් සූදානම් නැත. මෙම අර්බුදයට සාමකාමී විසඳුමක් සෙවීම සඳහා දෙපාර්ශ්වයේ ජන කොටස් සහයෝගයෙන් ක්‍රියා කරනු ඇති බවක් ද පෙනෙන්නට නැත. එවැනි පසුබිමක රුසියාව හා තුර්කිය මැදිහත් වී සොයන සාමකාමී විසඳුම ප්‍රායෝගිකව සැබෑවක් කළ හැකි ද යන ගැටලුව ඇති වී තිබේ. එසේම ඊට දිගු කාලීන විසඳුමක් සෙවීමට හැකි වන්නේ ද එවැනි සාමකාමී ක්‍රියාමාර්ගයකින් බව ද පිළිගත යුතුය. මෙතෙක් ඒ සඳහා ස්ථිරසාර වැඩපිළිවෙළක් ඇති වී නොමැත. ඇති කරගත් සටන් විරාම පවා බිඳවැටීමට එය හේතුවකි. කෙසේ වුව ද, දැනට පවතින තත්ත්වය යටතේ එය එතරම් පහසු කාර්යයක් ද නොවන බව පැහැදිලිය. රුසියාව හා තුර්කිය දරන ප්‍රයත්නයට අමතරව ඒ සඳහා අසර්බයිජානයේ හා ආමේනියාවේ කැපවීම ද අවශ්‍යයෙන්ම තිබිය යුතුය.

ගැටුමේ ඉතිහාසය

විශ්ලේෂකයන් පවසන පරිදි නවීන තාක්ෂණයෙන් යුතු යුද අවි ක්‍රියාත්මක වෙමින් ඇත්තේ පැරැණි සටන් බිමකය. ගැටුමට ඉතිහාසයක් ඇතත් තාක්ෂණිකව දියුණු අවි ආයුධ මඟින් සිදුවිය හැකි විනාශයේ බිහිසුණු බව තිස්වසරකට පෙර තත්ත්වයට වඩා බෙහෙවින් බරපතළය. මාසයක් ගතවීමටත් පෙර මෙපමණ ජීවිත හා දේපළ හානියක් වීමෙන්ම එය පැහැදිලි වේ. ඇතැම් මූලාශ්‍ර දක්වන පරිදි, අසර්බයිජානුවන් 5000ක් පමණ දැනට මිය ගොස් හෝ තුවාල ලබා ඇති බව ආමේනියා ආරංචි මාර්ග පවසයි. මෙම සංඛ්‍යා ලේඛන අසර්බයිජානය නිල වශයෙන් තහවුරු කර නොමැත. තම සෙබළු 500ක් පමණ මේ දක්වා මිය ගොස් ඇතැයි ආර්මේනියාව ප්‍රකාශ කළ ද අසර්බයිජානය කියා සිටින්නේ එය එමෙන් කිහිප ගුණයක් වැඩි බවය.

මෙම යුද ගැටුම කිසි ලෙසකින්වත් මල කඳන් ගැනීමේ තරගයක් නොවිය යුතුය යන්න ගැන විවාදයක් තිබිය නොහැකිය. එය එවැනි දරුණු හා අමිහිරි යුද්ධයක් බවට පරිවර්තනය වීමට පෙර වළක්වා ගැනීම අදාළ සෑම පාර්ශ්වයකම වගකීම විය යුත්තේ එබැවිනි. අන් සෑම යුද ගැටුමකදීම පාහේ මෙන් මෙම යුද ගැටුම පිටුපස ද භූමිය, වාර්ගිකත්වය, සම්පත් අත්කර ගැනීම වැනි සාධක ගණනාවක් තිබේ. දෙපාර්ශ්වයම තම අභිමානය යටපත් කිරීමට ද සූදානම් නැත. එබැවින් මීට විසඳුමක් සෙවීමට සිදු වන්නේ ද ගෞරවාන්විතවය. එය ඔවුන්ට පමණක් තනිව සිදු කළ නොහැකි බව පෙනෙන පසුබිමක මෙම අර්බුදය සමඟ ඇති අතීත මූලයන් ඔස්සේ රුසියාව වැනි බලවත් රාජ්‍යක මැදිහත් වීමද වැදගත් වනු ඇත.

සාකච්ඡා වට

රුසියානු විදේශ ඇමැති, සර්ජි ලැව්රොව් දෙපාර්ශ්වයම දැඩිව සටන් විරාමයට අනුගතව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇත. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ, ආර්මේනියානු විදේශ ඇමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව බව ‘ඉන්ටර්ෆැක්ස්’ පුවත් සේවය වාර්තා කළේය. සටන් විරාමය මඟින් සියලු ගැටලු ක්ෂණිකව විස‍ඳෙනු ඇතැයි කල්පනා නොකළ යුතු බව ද ඔහු පවසා තිබිණි. තුර්කිය ද ඊට සහාය පළ කරන බව කියා සිටි ලැව්රොව්, දෙරටේම ආරක්ෂක ඇමැතිවරුන් අතර මේ ගැන සාකච්ඡා සිදුව ඇති බව ද සඳහන් කළේය. එහිදී තුර්කි ආරක්ෂක ඇමැති හුලුසි අකාර්, මෙම භූමියෙන් ආර්මේනියානු හමුදා වහාම ඉවත් විය යුතු යැයි ප්‍රකාශ කළ බව වාර්තා විය.

සටන් විරාමය උල්ලංඝනය වී තිබීම ගැන දැඩි ලෙස කනස්සල්ලට පත්වන බව එක්සත් ජාතින්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස්ගේ ප්‍රකාශක ස්ටෙපාන් ඩුජෙරික්, මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ, එය පිළිගත නොහැකි තත්ත්වයක් බව ද සඳහන් කරමිනි.

සතියකට පෙර මොස්කව් මැදිහත් වීමෙන් ඇතිකරගත් සටන් විරාමයට ගරු කරමින් ඉදිරියට යෑම මෙම අර්බුදය විසඳීම සඳහා ඇති වඩා ප්‍රායෝගික විසැඳුම බව කිව හැකිය.

ධම්මික සෙනෙවිරත්න

 

නව අදහස දක්වන්න