මාකඳුරේ මධූෂ්! | දිනමිණ

මාකඳුරේ මධූෂ්!

මාකඳුරේ මධූෂ් නම් අපරාධකාරයා වෙඩි හුවමාරුවකදී පරලොව ගොස් තිබේ. සිද්ධිය දෙස උපේක්ෂාවෙන් බලන විට කිව හැක්කේ ‘අවි ගත්තෝ අවියෙන්ම නැසෙති’ යන්න පමණි. මධූෂ්ගේ මරණය සම්බන්ධයෙන් ශෝක විය හැක්කේ අපරාධවලට කැමැත්තක් දක්වන කෙනකුට පමණි. මිනීමරු ප්‍රභාකරන් පරලොව ගිය දා ශ්‍රී ලංකාවේ බහුතරයක් කිරිබත් උයා සතුට පළ කළහ. මධූෂ් යනු ද ප්‍රභාකරන් තරමටම ලේ පිපාසිත මිනීමරුවෙකි. දකුණේ කා අතරත් ජනප්‍රිය දේශපාලකයකු වූ ඩැනී හිත්තැටිය ඝාතනය කළේ මධූෂ් බව හෙළිදරවු වී ඇත. ඔහුගේ කෙටිකාලීන ජීවිතය තුළ මෙබඳු මිනිස් ඝාතන ගණනාවක් සිදු කර ඇත. කොයි අතකින් බැලූව ද මාකඳුරේ මධූෂ් යනු සමාජ පිළිලයකි.

ඔහු මිය ගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය සෙවීම සඳහා වූ මෙහෙයුමකදීය. මධූෂ් කුඩු සඟවා ඇති ස්ථාන පෙන්වීමට ගොස් ඇති අතර මෙයින් උරණ වූ කුඩු කල්ලිය පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇත. කුඩු කල්ලියේ අරමුණ මත්ද්‍රව්‍ය තොගය බේරා ගැනීම ද නැත හොත් ඔත්තුකරුවා වූ මධූෂ් ඝාතනය කිරීම ද යන්න පැහැදිලි නැත. කුඩු තොගයක් බේරාගෙන මධූෂ් මරා දැමීම කුඩු කල්ලියේ ඉලක්කය වූවා විය හැකි ය. කෙසේ වුව පොලිස් නිලධාරීන් දෙදෙනකුට ද වෙඩි වැදී ඇත. පොලිස් නිල රථයකටත් වෙඩි වැදී ඇත. පොලීසිය සමඟ මුහුණට මුහුණ ලා සටන් කරන්නට තරම් කුඩුකාරයෝ ඉදිරිගාමීය.

මෙක්සිකෝවේ, බ්‍රසීලයේ පමණක් නොව; පිලිපීනයේ පවා කුඩු කල්ලි පොලීසිය සමඟ සටන් කළහ. කුඩු ජාවාරම, අවි ආයුධ ජාවාරම, කුලියට මිනී මැරීම, මංකොල්ලකෑම හා කප්පම් ගැනීම එකිනෙකට සම්බන්ධ ක්‍රියාවලියකි. මේවා සංවිධානාත්මක අපරාධ ගණයට වැටෙන අතර ඒවා හසුරුවන පාතාල නායකයෝ සිටිති. ඇතැම් පාතාල නායකයකුගේ පෙනුම අහිංසකය. තව පාතාල නායකයකුට මහජන ප්‍රසාදය පවතී. තවත් පාතාල නායකයන්ට කලාකරුවන්ගේ සහයෝගය තිබේ. මේවා උපයා ගැනීම සඳහා පාතාල නායකයෝ විශාල වශයෙන් මුදල් වියදම් කරති. මාකඳුරේ මධූෂ් යනු ද එබඳු පාතාල නායකයෙකි.

පාතාල නායකයෝ හැම විටම බලයේ සිටින දේශපාලන නායකයන් සමඟ සබඳතා පවත්වති. ඇතැම් විට ඔවුන්ගේ දේශපාලන කටයුතු සඳහා පාතාල නායකයන්ගෙන් ලැබී ඇත්තේ බරපතළ සහයෝගයකි. ඒ අනුව පාතාල නායකයන් බේරා ගැනීමට දේශපාලකයෝ ඉදිරිපත් වෙති. අද වන විට එය වෙනස් වී ඇත. ආණ්ඩු පක්ෂයේ කිසිවකුට පාතාලය සමඟ හෝ කුඩු ව්‍යාපාරය සමඟ හෝ සබඳතා පැවැත්වීමේ හැකියාවක් නැත. එය හොඳ තත්ත්වයකි. ආණ්ඩුව පාතාලය මට්ටු කිරීමටත් කුඩු ජාවාරම ‍ෙලාප් කිරීමටත් යන්නේ සාධනීය පසුබිමක් මතය. ජනතාව මේ තත්ත්වය අනුමත කරන අතර ඉතා ඉක්මනින් මෙරට කුඩු ජාවාරම හා පාතාලය අහෝසි වනු ඇතැයි සැනසුම් සුසුම් හෙළති.

අතීත ශ්‍රී ලංකාව හැඳින්වූයේ ධර්මද්වීපය යන නමින්ය. එහෙත් අද වන විට ඒ ධර්මද්වීපයේ කිසිදු ලකුණක් අපේ සමාජය වෙතින් දැකගත නොහැකිය. නිදහසින් පසු රට පාලනය කළ නායකයන් ඊට වගකිව යුතුය. ඇතැම් විට අපේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූයේ අපරාධවලට සමාජය තල්ලු කරන ආකාරයෙන්ය. සදාචාරය යට කරගෙන මුදලට මුල් තැන දෙන ප්‍රතිපත්ති හා සැලැසුම් අප විසින් හඳුන්වා දී තිබේ. නීති ප්‍රතිසංස්කරණ හා මානව හිමිකම් ක්‍රියාත්මක වී ඇත්තේ ද අපරාධකරුවන් නිදොස් කළ හැකි ආකාරයෙනි. ඇතැම් නායකයන් අපරාධ වැළැක්වීම සම්බන්ධයෙන් වැදගත් තීන්දු ගෙන නැත. මේ සියල්ලෙහි ප්‍රතිඵලය භයානක විය.

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පාතාල නායකයෝ හිර ගෙදර සිට අපරාධ මෙහෙයැවීමටත් කුඩු ජාවාරම පවත්වා ගෙන යෑමටත් සමත් වූහ. ඇතැම් බන්ධනාගාර නිලධාරීන් පාතාල නායකයන්ගේ සුවච කීකරු ගෝලයන් ලෙස ක්‍රියා කළ බවට සාක්ෂි හෙළිදරවු වී ඇත. පාතාල කෙරුමන් කොතරම් දුරකට තම බලය පිළිබඳ විශ්වාසයක් තබන්නේ ද යත්: ඔවුහු බන්ධනාගාර නිලධාරීන්ට අභියෝග කරති; ඉන් නොනැවතී රාජ්‍ය නායකයා ද විවේචනයට ලක් කරති. නූගත් ගැමියෙක් සිතන්නේ ආණ්ඩුවටත් වඩා බලයක් පාතාල නායකයන්ට ඇති බවය! ඒ තරමට ම පාතාලය පිම්බී ඇත.

පාතාලය මට්ටු කිරීම, සංවිධානාත්මක අපරාධ වැළැක්වීම හා කුඩු ජාවාරමට තිත තැබීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන ඇති වැදගත් පියවර ගැන බලවත් මහජන ප්‍රසාදයක් පවතී. අපරාධ වළක්වා යහපත් රටක් ගොඩනඟන්න යැයි රට වැසියා ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය. ඒ ජනාධිපතිවරණයට පෙරය. මහජනයා ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වාසය තබා සිටිති. ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ කෙටි කාලයක් තුළ මේ සියල්ල සිදු වනු ඇති බවය. එහෙත් එය පහසු නැති බව ඕනෑම කෙනකුට පැහැදිලි වෙයි. මෙරට පාතාලය තනිව ක්‍රියාත්මක වන්නේ නැත. ඊට අන්තර්ජාතික සබඳතා තිබේ. මෙරට ඇතැම් පාතාල නායකයෝ විදේශගත වී සුවපහසු ජීවිත ගත කරති; ඉන් නොනැවතී ශ්‍රී ලංකාවේ අපරාධ මෙහෙයවති.

කිසිදු අපරාධකරුවකුට දඬුවමින් ගැලවිය නොහැකිය. නීතියෙන් ගැලවුණත් ස්වභාව ධර්මයේ නීතියෙන් ඔහුට දඬුවම් ලැබේ. තමන්ගේම හෘදයසාක්ෂිය ද අපරාධකාරයාට එරෙහිව ක්‍රියා කරයි. මධූෂ් බරපතළ අපරාධ ගොන්නක චුදිතයා වෙයි. ඔහු ඒ අපරාධවලට වන්දි ගෙවිය යුතුය. බුදු දහමට අනුව නම් අපරාධය නම් පාපය පසුපස දඬුවම හඹා ගෙන යයි. එය කොතැනදී කවරාකාරයෙන් සිදු වන්නේදැයි කිසිවකුටත් නිශ්චය කළ නොහැකිය.

නව අදහස දක්වන්න