ක්‍රේප් රබර් කර්මාන්ත ශාලාවේ වැඩ යළි ඇරැඹීමට පියවර | දිනමිණ

ක්‍රේප් රබර් කර්මාන්ත ශාලාවේ වැඩ යළි ඇරැඹීමට පියවර

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් මොනරාගල, කුමාරවත්ත ක්‍රේප් රබර් කර්මාන්ත ශාලාව වසර අටක් පමණ වසා දමා තිබීම නිසා රුපියල් කෝටි ගණනක් වටිනා යන්ත්‍ර සූත්‍ර දිරාපත් වෙමින් පවතී.

එහි සේවය කළ කම්කරුවන් විසිපස් දෙනකුට පමණ රැකියා අහිමිවී තිබේ. මේ කර්මාන්ත ශාලාවෙන් බැහැර වන අපද්‍රව්‍ය ඒ අසලින් ගලා යන මරගල ඔයට එක්වීමෙන් සිදු වන පරිසර හානිය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයේ පවරන ලද නඩුවකින් පසුව එහි නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවන ලදි.

මේ කර්මාන්ත ශාලාව ‍ශ්‍රී ලංකාවේ හොඳම ක්‍රේප් රබර් නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාව වන අතර වසා දැමීම හේතුවෙන් වාර්ෂිකව ලැබෙන විශාල ආදායමක් අහිමිවී ගොස් තිබේ. අපද්‍රව්‍ය බැහැර කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් ආරම්භ කර අධිකරණය දැනුම්වත් කිරීමෙන් පසු කර්මාන්ත ශාලාවේ කටයුතු යළි ආරම්භ කරන ලෙස අධිකරණයෙන් නියෝග කර තිබිණි. එහෙත් ජනවසමෙන් අපද්‍රව්‍ය බැහැර කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ නොකොට කර්මාන්ත ශාලාව වසා දමා තිබේ. වතුයායේ අමු රබර් කිරි පෞද්ගලික සමාගමකට අලෙවි කිරීමට පියවර ගෙන ඇත.

මේ කර්මාන්ත ශාලාව යළි ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි රත්නායක මහතා පෙරේදා (19) එම කර්මාන්ත ශාලාවට ගොස් ආයතන ප්‍රධානීන් හමුවී නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කළේය.

එහිදී අදහස් දැක්වූ වතු අධිකාරී අසංක කුමාර විජේසූරිය මහතා මෙසේ කීය.

'පරිසර හිතකාමී ලෙස කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය බැහැර කර ඉදිකිරීම් කටයුතු කිරීමට රුපියල් මිලියන පහළොවක් පමණ වැය වෙනවා. එවැනි මුදලක් ජනවසමට දැරීමට නොහැකි වීම නිසා කර්මාන්ත ශාලාව වසා දැමීමට සිදුවී තිබෙනවා.'

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කුමාරසිරි රත්නායක, වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහත්වරුන් ජනවසමේ ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාගෙන කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට යවර ගන්නා බවත්, එතෙක් කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසත් වතු අධිකාරි ඇතුළු කර්මාන්ත ශාලාවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මේ අවස්ථාවට කර්මාන්ත ශාලාවේ කළමනාකරු වසන්ත සේනානායක, ජනවසම මොනරාගල වතුයායේ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂාන්ත මනෝජ් රත්නායක මහත්වරු ද සහභාගී වූහ.

 

 

ඩී. එස්. ගුණතිලක -

ඌව වෙල්ලස්ස විශේෂ

නව අදහස දක්වන්න