ශක්තිමත් විධායකයක් ඒකීය ආණ්ඩු ක්‍රමයක් | දිනමිණ

ශක්තිමත් විධායකයක් ඒකීය ආණ්ඩු ක්‍රමයක්

ශක්තිමත් ජාතික රාජ්‍යයක් නිර්මාණය කරගත හැකි වන්නේ ද ශක්තිමත් විධායකයක් ‍හා ඒකීය  ආණ්ඩුක්‍රමයක් යටතේ පමණි. දැනට සිදුවෙමින් ඇත්තේ ජාතික රාජ්‍යය  ගොඩනැඟීමේ  ක්‍රියාවලියයි.

ශ්‍රී ලංකාවේ ඒකීයභාවය ආරක්ෂා වීම සඳහා ජනාධිපති විධායකයක් තිබීම ඉතා වැදගත්ය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ඉදිරිපත් කිරීමට වෑයම් කළ අදහස එය අප රටේ සංවර්ධනය කඩිනම් කිරීම සඳහා අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය ඇති කරන බවය. මේ ආණ්ඩුක්‍රමය ඩිගෝල්වාදී බව ද පැසිස්ට්වාදී විධායකයක් නිර්මාණය කරන බවද පැවසුණද ඉන් බිහි වූයේ ශක්තිමත් විධායකයකි. එවැනි ශක්තිමත් විධායකයක් නොමැති වීමේ හානිය පාස්කු කොමිසමේ සාක්ෂි විමසන විට පැහැදිලි වේ.

19 වැනි සියවසේදී විධායකය අබිබවා සිටියේ පාර්ලිමේන්තුවය. පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදී වුවද විධායකය යුරෝපීය ආණ්ඩුක්‍රම විකාශනය තුළ රාජාණ්ඩුවකි. විධායක බලය පැවැතියේ රජු සමඟය. ව්‍යවස්ථාදායක බලය පිළිබඳ අදහස ගොඩනැඟුණේ ඊට වෙනස්වය. අද වන විට 21 වැනි සියවසේදී ව්‍යවස්ථාදායකය අබිබවා විධායකය විකාශනය වී තිබේ. මේ වන විට පවතින අන්තර්ජාතික ක්‍රමයේ සංකීර්ණත්වය නිසාද තීන්දු ගැනීමේ ක්ෂණික හැකියාවක් තිබීම අවශ්‍යය. අද කවුරුත් පාහේ පිළිගන්නා කාරණයක් නම් මේ තත්ත්වයෙන් හෝ කොරෝනා මර්දනය කිරීමට වත්මන් ජනාධිපතිතුමා බලයට පත් වීම වැදගත් වූ බවය. එතුමා වැනි ජනාධිපතිවරයකු පාස්කු ප්‍රහාරය සිදු වන විට සිටියේ නම් එය සිදු වන්නේ නැත. රජයක හොඳ නිලධාරී ක්‍රමයක් තිබීමද, හොඳ ආරක්ෂක ක්‍රමයක් තිබීම ද අවශ්‍යතාවකි. වත්මන් අධ්‍යාපනය රටේ ආරක්ෂාව සඳහා නොව අනාරක්ෂාව සඳහාද හේතු වී ඇති බැව් පැහැදිලිය. අමෙරිකානු විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ එක් පරමාර්ථයක් නම් ජාතික ආරක්ෂාවය. මෙරටදී නම් නිදහස් අධ්‍යාපනය යටතේ මහජන මුදලින් නඩත්තු වන මේ ආයතනවල සිටින ශිෂ්‍යයන් කල්පනා කරන්නේ ඔවුන් විශේෂ කොටසක් බවය. ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම අනුව ලැබී ඇති වැදගත්කම අනුව ලෝක බලවතුන්ගේ බැල්මද අප දෙසට වැටී තිබේ. මේ සියල්ලම අප රටේ සංවර්ධනය සඳහා යොදවා ගැනීමට නම් ශක්තිමත් විධායකයක් තිබිය යුතුය. ජනාධිපතිවරණයක තබා ප්‍රාදේශීය සභා මැතිවරණයකටවත් ඉදිරිපත් වීමේ වුවමනාව වර්තමාන ජනාධිපතිවරයාට නොවීය. එතුමා ඉල්ලා සිටියේ ජනතාවය. ඒ මහින්ද රාජපක්ෂ මහතාට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ යළි තරග කළ නොහැකි වූ බැවිනි. එබැවින් එය මහජන තේරීමක් විය. 2005දී මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේ ද ජනතාවය. මෙවර ජාතික ආරක්ෂාව ප්‍රමුඛ කාරණයක් වූ බැවින් විශේෂයෙන් විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයෝ පවා මෙරටට පැමිණ තම ඡන්දය ප්‍රකාශ කළහ. එසේ පැමිණි සියල්ලන්ටම ඡන්ද බලය නොතිබුණු නමුදු එය විශාල ශක්තියක් විය. මේ රටේ අගය වැටහෙන්නේ මෙහි සිටින අයටත් වඩා පිටරටවල සිටින විටදීය. අපේ රටේ සැබෑ වටිනාකම තේරුම් ගන්නෝ ඔවුහුය.

 

19 ද්විත්ව විධායකය

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඇති කෙරුණේ ද්විත්ව විධායකයකි. ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු සිටී. මේ ධුර දෙකම ජනතාවට වගකිවයුතුය. වගවිය යුතුය. පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේදී ඉදිරිපත් වන සාක්ෂි මඟින් පැහැදිලි වන්නේ එවැනි වගකීමක් හෝ වගවීමක් නොතිබූ බවය. එකිනෙකා දෙසට බෝලය පාස් කරමින් සිටියද එම ප්‍රහාරයට එදා පැවැති ආණ්ඩුව වගකිව යුතුය. ඒ ආණ්ඩුව බලයට පත් වූයේ 'යහපාලනය' නම් නාම පුවරුවට මුවා වෙමිනි. කුමන්ත්‍රණකාරීව සිදු වූ එම දේශපාලන වෙනසද 'රෙජීම්චේන්ජ්' වැඩපිළිවෙළකි. එවක අමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරීද ඒ බව වාර්තා කර තිබේ.

අපේ රටේ පැවැතිය යුත්තේ ශක්තිමත් විධායකයකින් සමන්විත ඒකීය ආණ්ඩුක්‍රමයකි. ඒ යටතේ පළාත් සභා ක්‍රියාත්මක වීමේ ගැටලුවක් නොමැත. එහෙත් ඒවාට ඉඩම් හා පොලිස් බලතල දීම අවශ්‍ය නොවේ. යම් යම් වෙනස්කම් සිදු කිරීමේදී බුද්ධිමය සංවාදයක් තිබීම වැදගත්ය. 13 වැනි සංශෝධනය යටතේ දැනටමත් බෙදා හැර ඇති බලය එසේ තිබීම ගැටලුවක් නොවේ. උතුරේ 95%ක් පමණ සිටින්නේ දෙමළ ජනතාවය. නැඟෙනහිර ඊට වෙනස්ය. එය ආදර්ශවත් පළාතකි. එය සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රජාව සම සමව මෙන් ජීවත් වෙති. එනම් මෙහි බහුත්වවාදී ලක්ෂණ ඇත. එහෙත් උතුරේ ඇත්තේ එක් ජනවර්ගයක ආධිපත්‍යයකි. උතුර හා නැඟෙනහිර එකතු කිරීමට කතා කිරීමම බලය බෙදීමට පටහැණිය. එවැනි එකතු කිරීමක් මඟින් සිදු වන්නේ ලංකාව රාජ්‍යයන් දෙකකට බෙදීමයි. එලෙස බෙදීමට හේතු වන කිසිදු වැඩපිළිවෙළකට ඉඩ නොතැබිය යුතුය.

 

පළාත් සභාවල ශක්තිය

පළාත් සභා ක්‍රමය ඩොනමෝර් යෝජනාවක් ඔස්සේද එන සංකල්පයක් බැවින් එය ක්‍රියාත්මක වීම සුදුසුය. දේශපාලන ක්ෂේත්‍රයේ දෙවැනි පෙළ නායකත්වය ගොඩනැඟීමද එමඟින් සිදු වේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ද පළමුව මහ ඇමැතිවරියකි. එතුමිය අගමැති හා ජනාධිපති ධුර දැරුවේ ඉන් පසුවය. දකුණේ අමරසිරි දොඩන්ගොඩ වයඹ ගාමිණී ජයවික්‍රම පෙරේරා වැනි මහ ඇමැතිවරුන්ද එම පළාත් සභා මඟින් කැපී පෙනෙන කාර්යභාරයක් කර තිබේ. වැඩ කරන අයට පළාත් සභාව හොඳය. පළාත් සභාව සුදු අලියෙක් නොව එය සුදු අලියෙක් කරගෙන තිබීම නම් ගැටලුවකි.

ඇතැම් අය දරන වැරැදි මතයක් නම් ෆෙඩරල් ආණ්ඩුක්‍රමයක් යටතේ ජනවාර්ගික ප්‍රශ්නය අවසන් වන බවය. බ්‍රිතාන්‍ය දේශපාලන විද්‍යාඥයකු වන එඩ්වඩ් අෂාර් ලෙබනනය සහ තවත් රටවල් කිහිපයක් ගැන අධ්‍යයනය කරමින් පෙන්වා දුන්නේ ඒවා දිගුකාලීන සමාජ ගැටුම් සහිත රටවල් බවය. ශ්‍රී ලංකාව සයිප්‍රසය ආදි රටවල් ගැනද මේ කාරණය අදාළය. ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය ජනවාර්ගික ගැටලුවක් ලෙස හඳුන්වා දුන්නද එය එතැනින් ඔබ්බට ගමන් කළ කාරණයකි. එම අර්බුදය යුද්ධය අවසන් වීමත් සමඟ කෙටිකාලීනව නිමාවට පත් විය. දිගුකාලීනව ආර්ථික සංවර්ධනය මඟින් එය අවසන් කළ හැකිය. එඩ්වඩ් අෂාර් පෙන්වා දෙන්නේද මෙවැනි තත්ත්වයන්ට විසඳුම් දිය හැකි වන්නේ ව්‍යවස්ථා සංශෝධන වලින් නොව ආර්ථික සංවර්ධනයෙන් බවය. චීනයේ සේද මාවත උපයෝගී කරගනිමින් අපේ රටේ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය ව්‍යුහාත්මක විසඳුම් සෙවීමට හැකියාව තිබේ. මෙහිදී රාජ්‍ය සේවය තුළද විශාල වෙනස්කම් ඇති විය යුතුය. නවීකරණයට ලක් විය යුතුය. උතුරේ ප්‍රශ්නයට පමණක් නොව දකුණේ තරුණ කැරැලිවලටද හේතුවූ කාරණාවලට විසඳුම ආර්ථික සංවර්ධනයයි. මෙරටට ආයෝජන ආකර්ෂණය කර ගත හැකි පරිදි සේද මාවත ව්‍යාපෘතිය හා සම්බන්ධ වීමෙන් එය ළඟා කරගත හැකි බව අපගේ විශ්වාසයයි. කෙසේ වුවද ඉන්දියාව, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව හා ජපානය, චීනය පිළිබඳ දරන ආකල්පද මෙහිදී අපට බලපාන බව පැහැදිලියි. ඉන්දියාව මේ කාරණය දෙස බලන්නේ භූ දේශපාලනිකවය. ශ්‍රී ලංකාව මේ දෙස බලන්නේ භූ ආර්ථික වශයෙනි. අපට වැදගත් වන්නේ ආර්ථික සංවර්ධනයට උපායමාර්ග සකසන්නේ කෙසේද යන කාරණයයි. මෙවැනි තත්ත්වයක් ළඟා කර ගැනීමට නම් අපේ රටේ ශක්තිමත් විධායකයක් සහිත ඒකීය ආණ්ඩුක්‍රමයක් තිබිය යුතුය.

වර්තමාන ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව තුළ නැවතත් දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවීමට මඟ පෑදී ඇති බව පැහැදිලිය. ආර්ථික සංවර්ධනය කරා යෑමට ඉන් ඉඩ සැලසේ.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අපට මේ පමණින් වත් බේරී සිටීමට සෞඛ්‍ය සේවය යම් ප්‍රමාණයකට පළාත් මට්ටමින් බෙදී තිබීමද හේතු විය. එමෙන්ම එය මධ්‍යම ආණ්ඩුවේ පාලනය යටතේ පැවැතීමද ඊට බලපෑවේය. එක් මධ්‍යස්ථානයක් යටතේ ක්‍රියාත්මක වන වැඩසටහනක් තිබීම මේ රටේ ආර්ථික, සමාජීය ආදි සියලු කටයුතුවලට අත්‍යවශ්‍ය යන කාරණය ඉන් මනාව පිළිබිඹු වේ. කොවිඩ් 19 වැඩිම බලපෑම ඇති අමෙරිකාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට නීති වෙනස් වීම නිසා එකම ආකාරයකින් එය පාලනය කිරීමට නොහැකිවීම, සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම සඳහා රක්ෂණාවරණයක් තිබිය යුතු වීම වැනි කාරණා එවැනි තත්ත්වයකට හේතු වූ බව පැහැදිලිය. අපේ රටේ ජනාධිපතිතුමාගේද අගමැතිතුමාගේද නායකත්වය යටතේ මධ්‍යගත සෞඛ්‍ය සේවාව පළාත් සෞඛ්‍ය සේවාද සම්බන්ධ කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය වැනි අංශද එක්ව මේ සියලු දෙනා එක පරමාර්ථයකින් කටයුතු කිරීම නිසා මෙම සාර්ථකත්වය ළඟා කරගත හැකි විය. මෙය ඒකීය ආණ්ඩුක්‍රමයක් පැවැතීමේ වැදගත්කම පැහැදිලි කරන සුළු නිදසුනකි.

ඉකුත් මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උතුරට තරග කර ආසනයක් දිනාගැනීමට සමත් විය. වැඩි මනාප සංඛ්‍යාවක් ලබාගත්තේ අංගජන් රාමනාදන් මන්ත්‍රීවරයාය. මේ පක්ෂ දෙකේම දේශපාලන මතවාදය එකකි. මා එය හඳුන්වන්නේ 'ජනතාවාදී ජාතිකත්වය' යනුවෙනි. 1956 දී එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගෙන් ඉදිරිපත් වූ මතවාදය එයයි. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ගෙන යන වැඩපිළිවෙළ තුළ මෙකී ජනතාවාදී ජාතිකත්වය දිස් වේ. නිදසුනක් ලෙස ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අඩු ආදායම්ලාභී පවුල්වල ලක්ෂයකට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ දැක්විය හැකිය. ඉන්දියාවේ මෝදි අගමැතිවරයා ජයග්‍රහණය කළේද ජනතාවාදී ජාතිකත්වය අනුව යමිනි. අද ලෝකයේ නව ලිබරල්වාදයට එරෙහිව ක්‍රියාත්මක වන දේශපාලන මතවාදය ජාතිකත්වයයි. මෙරට 2015 දී බලයට පත් ආණ්ඩුව ක්‍රියා කළේ නව ලිබරල් ආර්ථික වැඩපිළිවෙළට අනුවය. මේ වැඩපිළිවෙළ නව ලිබරල්වාදයේ අසාර්ථකත්වයත් සමඟම අර්බුදයට ගියේය. කොරෝනා වසංගතය හමුවේද මෙම වැඩපිළිවෙළම ක්‍රියාවට නැංවිණි නම් අප අසාර්ථක වන බව පැහැදිලි කාරණයකි.

 

ජාතික රාජ්‍යය

ලෝකයේ ඇත්තේ ජාතික රාජ්‍ය ක්‍රමයකි. අප ජාතික රාජ්‍යයක් වූයේ 1948 පෙබරවාරි 4 වැනිදායින් පසුවය. එබැවින් අප යුරෝපයේ මෙන් ශක්තිමත් ජාතික රාජ්‍යයක් ලෙස වර්ධනය වී නැත. එය එකීයද සන්ධීයද සමාජවාදී ද ධනවාදීද වැනි ගැටලු තිබේ. ඒ නිසා තවමත් එය ශක්තිමත් නැත. කොළඹින් ඈත පළාත්වල එය එතරම් ක්‍රියාත්මක වන්නේද යන්න පවා අපැහැදිලිය. කෙසේ වුවද ශක්තිමත් ජාතික රාජ්‍යයක් නිර්මාණය කරගත හැකි වන්නේ ද ශක්තිමත් විධායකයක් ‍හා ඒකීය ආණ්ඩුක්‍රමයක් යටතේ පමණි. දැනට සිදුවෙමින් ඇත්තේ ජාතික රාජ්‍යය ගොඩනැඟීමේ ක්‍රියාවලියයි. එබැවින් 20 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය යනු මේ රටට අත්‍යවශ්‍ය දෙයකි. ජනාධිපතිවරයාට අහිමි කළ බලතල මෙන්ම එතුමාගේ කාර්යයන් එතුමාට තිබිය යුතුය. නව ව්‍යවස්ථා‍වක් හඳුන්වා දෙන තුරු ඉදිරියට යා යුතු වන්නේ එලෙසය. ඒකාධිපති ආණ්ඩුක්‍රමයක් මේ තුළින් නිර්මාණය වන්නේ යැයි කෑ කෝ ගැසීම එක්තරා දේශපාලන බංකොලොත්භාවයක් මිස අන් යමක් නොවේ. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ ද සැලකිල්ලට ගනිමින් මෙය ක්‍රියාත්මක කළ හැකි වේ. අප මේ දෙස බලා සිටින්නේ සුබවාදීවය. ඒ රටට යහපතක් වනු ඇත යන අපේක්ෂාව සහිතවය. ජනතාව ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ ඉතසිතින් අනුමත කරන බව පැහැදිලිය. යහපාලනයට හා 19ට පක්ෂ වූ කණ්ඩායම් දක්වන විරෝධය ද මේ අනුව අපට පැහැදිලි කරගත හැකිය.

 

ද්විත්ව පුරවැසි අගය

20 වැනි සංශෝධනයට එරෙහිව අදහස් පළ කරන අය ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් විරෝධය පළ කරති. රටේ දේශපාලන අනාගතය පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය ඇත්තේ මහජනතාවටය. ඒ ගැන කලබල විය යුතු නැත. අතීතයේද ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක, ජෙනරල් අනුරුද්ධ රත්වත්ත වැනි දේශපාලනඥයන් සම්බන්ධයෙන් වූ අසාධාරණය වර්තමානයේද සිදු කිරීම ඇතැම් අයගේ අරමුණය. ද්විත්ව පුරවැසිභාවය තිබුණද පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාවක් තිබේ නම් යම් වගකීමක් දැරීමට අවස්ථාව තිබිය යුතුය. ද්විත්ව පුරවැසිභාවය තිබෙන්නේ රාජපක්ෂවරුන් අතර පමණක් නොවේ. ටී.එන්.ඒ. දේශපාලනඥයෝ ද සිටිති. ඒත් 19දී මෙන්ම 20දීත් විරෝධය එල්ල වන්නේ රාජපක්ෂවරුන්ට පමණි. මෙහි විසංවාදයක් ද තිබේ. එක් අතකින් විදේශගතව සිටින ලාංකිකයන්ට මෙහි පැමිණ රටේ සංවර්ධනය වෙනුවෙන් සේවය ලබා දෙන්නැයි ආරාධනා කරන අතර අනෙක් අතින් ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ මෙලෙස කටයුතු කිරීමය. එම විදෙස්ගත බුද්ධිමතුන් විද්වතුන් වෘත්තිකයන් ආදිහු ද ද්විත්ව පුරවැසියෝ වෙති. මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ සමයේ පත් කළ ආර්ථික සභාවේ අමෙරිකා මහාචාර්යවරයෙක් ද කටයුතු කළේය. ඔහු ද්විත්ව පුරවැසියෙකි. ඉතා ඉහළ වැටුප් ද ගෙවා තිබේ.

බ්‍රිතාන්‍ය වැනි රටවල ද ද්විත්ව පුරවැසියන්ට දේශපාලනයේ යෙදීම වැනි අවස්ථා අහුරා නැත. යහපාලන ආණ්ඩුව 2/3 ඡන්දයෙන් 19 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය සම්මත කළේ එජාපයට ආසන 44ක් හිමිව තිබූ සුළුතර ආණ්ඩුවක් වශයෙනි. එසේ නම් මහජන වරමින් සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ ලැබිය නොහැකි යැයි කී වාර්තාගත ජනවරමක් ලබා 2/3 බලයක් සහිත පොදු ජන පෙරමුණු ආණ්ඩුවට 20 වැනි සංශෝධනය සම්මත කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් තිබිය නොහැකිය.

 

ධම්මික සෙනෙවිරත්න

නව අදහස දක්වන්න