මුවන්පැලැස්සෙන් සිනමාවට ආ බිනරමලී | දිනමිණ

මුවන්පැලැස්සෙන් සිනමාවට ආ බිනරමලී

බිනරමලී චිත්‍රපටය තිරගත වූයේ 1969 අගෝස්තු 19 වැනි දිනය. ගුවන් විදුලි යට බිනරමලී ගැන ලියූ මුදලිනායක සෝමරත්න පසුව බිනරමලී සිනමා තිරය මත මවන්නට සමත්කම් දැක්වූවේය. බිනරමලී චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ලෙස මුදලිනායක සෝමරත්න කටයුතු කළ අතර එය ශ්‍රී ලංකාවේ ගුවන් ගුවන්විදුලි නාට්‍යයක් මුල් කර ගනිමින් බිහි වූ ප්‍රථම චිත්‍රපටය ද විය .

අතිශය ජනප්‍රියත්වයට පත් වූ මුදලිනායක සෝමරත්නයන්ගේ මුවන් පැලැස්ස ගුවන් විදුලි නාට්‍යය සෑම සඳුදා දිනකම නිවෙසට ගොඩ වැදුණේ ආරච්චිල, මැණිකේ, හීන්බණ්ඩා, ගොලු බණ්ඩා, සුදු බණ්ඩා, බිනරමලී, දන්දෙණියේ රාළ වැනි චරිත සමුහයක් ද සමගිනි. මුවන් පැලැස්සේ සුන්දරිය වූයේ බිනරමලීය. බිනරමලීගේ සොඳුරු ආමන්ත්‍රණ ශ්‍රාවකයින්ගේ සිත් සතන් ස්නේහනයෙන් පුරවාලන්නට තරම් සමත්විය. මුවන්පැලැස්සේ චණ්ඩියා වෙඩික්කාරයාය. වෙඩික්කාරයා ගේ හිසට ඉහළින් පියඹා යෑමට කාක්කෙකු හෝ සමත් වූයේ නැත. වෙඩික්කාරයාගේ ක්‍රියාවන්හි තිබූ දැඩි බව නිසා ම බිනරමලීගේ අහිංසකත්වය වැඩි වැඩියෙන් මුවන්පැලැස්සේ කතා රසයට එක්විය.

බිනරමලී සතුව පැවතුන රූප සුන්දරත්වය නිසා ඇයට ත්‍රිකෝණ ප්‍රේමයක නිමිත්තක් වන්නට සිදු වූවාය. මුවන්පැලැස්සේ දඩබ්බරයා ව හුන් වෙඩික්කාරයා තම සිත තුළ බිනරමලී කෙරෙහි පැවති සෙනෙහස පතුරුවා හරින්නට කටයුතු කළ ද එයම බිනරමලීගේ සිත තුළ රෝපණය කරන්නට ඔහු සමත්කම් දැක්වූයේ නැත. ඔහුගේ එක ම අභිලාෂය වූයේ කවර ලෙසකින් හෝ බිනරමලී තමා සතුකර ගැනීමයි. එමෙන්ම බිනරමලී කෙරෙහි තිබූ සෙනෙහස තම සිතෙහි සඟවා ගෙන හුන් තැනැත්තෙක් ද සිටියේය. සුදු බණ්ඩාය ය. ඒ සියලු දෑ කවරාකාරව වුවත් බිනරමලීගේ ප්‍රම

ප්‍රේම පූජාසයේ මල් පුබුදු කරලන්නට හැකි වූයේ අන් කවරකුටවත් නොව සිංඤාටය. සිංඤාගේ ඇවතුම් පැවතුම් සියල්ල බිනරමලීගේ සිත් ගත්තාය. ඔහු අහිංසකයෙකි.

චිත්‍රපටයේ බිනරමලීගේ ප්‍රේමය පතා ගෙන ආ තිදෙනාගෙන් වෙඩික්කාරයාගේ චරිතය රඟ දැක්වූයේ පියදාස ගුණසේකරය. බිනරමලී සම්බන්ධව ප්‍රේමය සිතේ සඟවාගත් ගත් සුදු බණ්ඩාගේ චරිතය රඟ දක්වන්නට කටයුතු කළේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූ මුදලිනායක සෝමරත්නය. බිනරමලීගේ ප්‍රේමවන්තයා වූයේ ගොළු හදවත චිත්‍රපටයෙන් පාසල් ප්‍රේමයේ සුන්දරත්වය ඉස්මතු කරන්නට සමත්වූ වික්‍රම බෝගොඩය.

කැලේ දඩයක්කාරයාගේ සිතත් ප්‍රේමයෙන් මුසපත් කරන්නට සමත් වූ එමෙන්ම සුදු සුදු බන්ඩාත් , සිංඤාත් ප්‍රේමයේ පාර්ශ්වය කරන්නට සමත් බිනරමලීව චිත්‍රපටයට කැන්දාගෙන ආවේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ වූ මුදලිනායක සෝමරත්නය.

ගුවන් විදුලියට මුවන්පැලැස්ස ලියූ මුදලිනායක සෝමරත්නට මුහුණ දෙන්නට සිදු වූ බැරෑරුම්ම ගැටලුව වූයේ ශ්‍රාවකයන්ගේ දෙසවන් මෝහනයට පත් කළ බිනරමලී ගේ හඬ මාධුර්යට සෑහෙන ලෙස චිත්‍රපටයට උචිත නිළියක සොයාගැනීමයි. මේ නිසා චිත්‍රපටයට නවක නිළියක අවශ්‍ය බව පුවත්පතක දැන්වීමක් පළ කිරීමෙන් පසු චිත්‍රපටියේ සම්මුඛ පරික්ෂණයට විශාල පිරිසක් පැමිණ සිටියද එක්වරම අධ්‍යක්ෂ වරයාට අවශ්‍ය බිනරමලී නම් හමුවුනේ නැත. නමුත් තව තවත් විපරම් කරමින් සිටියදී විනිශ්චය මණ්ඩලයේ සිටි පිරිසගේ අවධානය එක් තරුණියක් වෙත යොමුවන්නට විය. ඇයගේ හැසිරීමත්, කතාවත් ඔවුන්ට නිහඬවම කියාපෑවේ තමන් සොයමින් සිටි බිනරමලී හමු වූ බවයි.

එදා බිනරමලී සොයා ගැනීමේ මෙහෙයුමේ විනිශ්චය මණ්ඩලයේ සිටි ඩී.බී නිහාල්සිංහටත්, මුදලිනායක සෝමරත්නටත් එකී තරුණිය දුටුවනම දෙවරක් සිතීමට අවශ්‍ය නොවුණි. සම්මුඛ පරීක්ෂණයට පැමිණි කහවිටගේ දෝන ලීනා ස්වර්ණලතා මුවන්පැලැස්සේ බිනරමලීගේ චරිතය ඉදිරිපත් කිරීම වෙනුවෙන් තෝරාගැණුනි. මේ බැව් ස්වර්ණාගේ නිවෙසට ගොස් පැවසීමට තරම් ඔවුන් උත්සුක විය. 

මුවන්පැලැස්සේ බිනරමලී ප්‍රේම ත්‍රිකෝණයට හසුවීමට පෙරම ස්වර්ණා කහවිටට නිවෙස තුළින්ම යුද්ධ ප්‍රකාශ කෙරිණි.

"නිළියක් වෙන්න කියලා හොරෙන් අයදුම්පත් දාලා "

එතැන් සිට ස්වර්ණාට ගැලවීමක් තිබුණේ නැත.නමුත් ස්වර්ණාගේ ගැලවුම්කරුවා ලෙස පෙනී සිටියේ ඇයගේ වැඩිමහල් සොයුරියයි. කෙසේ හෝ නිවස තුළින්ම ආ චෝදනා හිමි හිමි හිමින් නිවී ගොස් ඇය බිනරමලී චිත්‍රපටයේ රංගනය හා සම්බන්ධ වුවාය.

ස්වර්ණා කහවිට මුලින්ම නිළියක ලෙසින් රංගනයෙන් සම්බන්ධ වීමට සිටියේ " දුගී නාදය" සිනමාපටයේය. නමුත් එය ද ඇයට අහිමිව ගියේ වැඩිමහල් සොහොයුරා විරුද්ධත්වය දැක්‌වූ නිසාය. නමුත් කෙසේ හෝ මි.මී. 16 චිත්‍රපටයක් වූ "රහස් දූපත" හි ළමා නිළියක ලෙසින් රංගනයෙන් සම්බන්ධ වන්නට ඇයට හැකිවිය.

ඉන් කාලාන්තරයකට පසුව ඇයට ලැබුණ අවස්ථාව වූයේ " බිනරමලී " චිත්‍රපටයට රංගනයෙන් සම්බන්ධ වීමටය. කෙසේ හෝ නිවසේ පැවැති පුංචි යුද්ධ මැදින් නිළිවරම ලබාගත් ස්වර්ණාට රඟ පෑමට

වූයේ ගිනි ගහන අව්වේ දඹුල්ලේදීය. නමුත් එයින් ලද පීඩාව මහත් සතුට ගෙන දෙන කාරණාවක් වූයේ 1970 පැවති සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනා ගැනීමට ඇය සමත්වීමත් සමග ය

ස්වර්ණා කහවිට පමණක් නොව 1970 සරසවි සම්මාන උළෙලකට හොඳම චිත්‍රපට තුන අතරින් මුල්ම තැනට පත්වීමට ද මුදලිනායක සෝමරත්නගේ "බිනරමලී" චිත්‍රපටයට හැකි විය. ස්වර්ණා කහවිට බිනරමලී ලෙසින් හොඳම නිළිය වන විට සහාය නිළිය ලෙසින් සම්මාන දිනා ගත්තේ ශාන්ති ලේඛාය. ඩබ්.ඩී. අමරදේවයන් හොඳම ගායකයාට හිමි සම්මානය දිනාගන්නා ලද්දේ සරසවිය සම්මාන උළෙලේ හොඳම ගීත රචකයා ලෙසින් සම්මාන දිනා ගත් මහගමසේකර ලියූ ගීතයකටය.

එහෙත් බිනරමලීගේ ප්‍රේමය තමන්ට හිමි නොවූවද වෙඩික්කාරයා ලෙසින් රඟපෑ පියදාස ගුණසේකරට සහය නළුවාට හිමි සම්මානය ලැබුණි.

රජිත බස්නායක

නව අදහස දක්වන්න