අවදානමට සූදානම | දිනමිණ

අවදානමට සූදානම

කොවිඩ් 19 පිළිබඳ ලෝක අවදානම යළිත් උපරිම තලයකට පැමිණ තිබේ. ඊට හේතුව කොවිඩ් දෙවන රැල්ල හිතනවාට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වීමය. අමෙරිකාව, යුරෝපය හා ඉන්දියාව මීට හොඳම නිදර්ශන ලෙස පවතී. එක් අතකින් ආසාදිතයන්ගේ ගණන ශීඝ්‍රයෙන් ඉහළ යයි. තව අතකින් මරණ සංඛ්‍යාව වැඩි වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය තත්ත්වය බැරෑරුම් බව ප්‍රකාශ කර තිබේ. ජගත් පර්යේෂණ ආයතන කිහිපයක් මීට පෙර කරුණු දෙකක් අවධාරණය කර තිබිණි. එයින් පළමු කරුණ වන්නේ වසංගත තත්ත්වයෙන් කෝටි ගණනක් ජනතාව මිය යන බවය. දෙවන කරුණ වන්නේ කොවිඩ් 19 නිසා ලෝක ආර්ථිකය බරපතළ අර්බුදයකට මුහුණ දෙන බවය. ඒ අමිහිරි පුරෝකථනය යථාර්ථයක් බවට පත් වෙමින් තිබේ.

ශ්‍රී ලංකාවේ පහළොස් වන කොවිඩ් මරණය පෙරේදා වාර්තා විය. වෙනත් රටවල් සමඟ සසඳන විට එය නොසලකා හැරිය යුතු තත්ත්වයක් වුව මෙතෙක් අප කොවිඩ් 19 පාලනය කළ ආකාරය දෙස බලන විට යම් පසුබෑමක් දකින්නට ලැබේ. එය සිදු වූයේ කාගේ වරදකින් ද යන්න සොයා බැලිය යුතුය. වසංගතය මර්දනය සඳහා රජය ගෙන ඇති පියවර කිසි ලෙසකින් ලිහිල් වී නැත. මහජනයාට කොවිඩ් සම්බන්ධයෙන් ඇති අවබෝධයෙහි අඩුවක් ද දකින්නට නැත. එහෙත් මිනුවන්ගොඩින් ආරම්භ වූ දෙවන රැල්ල තවම පාලනය වී නැත. එය රටේ සෙසු ප්‍රදේශ කරා ද කාන්දු වෙමින් පවතී. එය බරපතළ තත්ත්වයකි. මේ අනුව ඉදිරි කාලය වඩාත් වගකීම් සහගත වෙයි.

රෝග ව්‍යාප්තියට බලපාන ප්‍රධාන සාධකය මිනිසුන්ගේ චර්යා රටාවන්ය. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන උපදේශන තුන හතර හරියටම අනුගමනය කරන්නේ නම් වයිරසය පැතිර යන්නට හේතුවක් නැත. මීටරයක දුරස්ථභාවය, නිතර දෑත් සේදීම, මුඛ ආවරණ පැලඳීම හා අවදානම් සහගත ස්ථාන මඟ හැර සිටීම උපදේශන අතර ප්‍රධාන වෙයි. අවදානම් සහගත ස්ථාන ලෙස හැඳින්වෙන්නේ මහජනයා බහුලව ගැවසෙන ස්ථානයන්ය. වෙළෙඳපොළ, බැංකු, ආගමික ස්ථාන, පාසල්, පෞද්ගලික පන්ති, දුම්රිය පොළ, බස් නැවතුම යන පොදු ස්ථාන මිනිසාගේ සමාජ ජීවිතය හා දෛනික කටයුතු සමඟ අත්‍යන්තයෙන් බැඳී පවතී. ඒවා පරිහරණය නොකොට ජීවිතය ගෙන යෑම අපහසුය. එහෙත් වසංගත තත්ත්වය යටතේ එම ස්ථාන භාවිත කළ යුත්තේ පරීක්ෂාකාරි ලෙසය.

අප මුහුණ දෙන අභියෝගය වන්නේ වසංගතයට මුහුණ දෙමින් දෛනික ජීවිතය ආරක්ෂාකාරි ලෙස පවත්වාගෙන යන්නේ කෙසේ ද යන්නය. ඊට අවශ්‍ය වැදගත් උපදේශන ගණනාවක් රජය දී ඇත. එම උපදේශන නීතියක් ලෙස ද ක්‍රියාත්මක වෙයි. සංචරණය අපේ සමාජයේ පොදු ලක්ෂණයකි. නිශ්චිත කාර්යයක් ඇතත් නැතත් සංචරණය සිදු වේ. වසංගත තත්ත්වය යටතේ එය පාලනය විය යුතුය. අත්‍යවශ්‍ය කාරණයක් සඳහා වෙළෙඳපොළට යා යුත්තේ ද පවුලක එක් පුද්ගලයකු පමණි. මෙය පිළිපැදිය හැකි රීතියකි. පිළිපැදීමට නොහැකි නීති රීති කිසිවක් රජය පනවා නැත. මෙබඳු අවස්ථාවක යම් කැප වීමක් කිරීම ද මහජනයාගේ යුතුකමක් සේ සැලැකිය හැකිය.

අප හැමදාම පෙන්වා දෙන ආකාරයට මෙය සාමූහික වගකීමකි; සාමූහික යුතුකමකි. පුරවැසියා, රජය, ආයතන පමණක් නොව, විවිධ සංවිධාන පවා තම වගකීම් හා යුතුකම් කෙරෙහි පූර්ණ අවබෝධයකින් ක්‍රියා කිරීම වැදගත්ය. රටේ පිළිගත් වෘත්තීය සමිති කිහිපයක් කොවිඩ් දෙවන රැල්ල පැතිර යද්දී කොළඹ උද්ඝෝණ පැවැත්වීමට සූදානම් වූහ. එය වැළැක්වීමට ගිය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් වෘත්තීය සමිති නායකයන් ක්‍රියා කරන ආකාරය ද දැකගන්නට ලැබිණි. වෘත්තිය සමිති ක්‍රියාත්මක විය යුත්තේ ජාතික වගකීම් පිළිබඳ වැටහීමකිනි. කම්කරු අයිතීන් සුරක්ෂිත කිරීම, දේශපාලනය පිළිබඳ අවදියකින් පසු වීම මෙන්ම වත්මන් අභියෝග කෙරෙහි හැඟීමක් ද වෘත්තීය සමිති නායකයන්ට තිබිය යුතුය. එහෙත් එවැන්නක් නොතිබීම කනගාටුවට කාරණයකි.

කොවිඩ් වසංගතය ඉදිරියේ සාමූහිකව ක්‍රියා කළ යුතුයැයි ද රෝග පාලනය සඳහා රජයට සහාය දීමට සූදානම්යැයි ද විපක්ෂය බණ දේශනා කරන නමුදු ක්‍රියාත්මක තලයේ දී එවැන්නක් දැක ගන්නට නැත. විපක්ෂයෙන් විවේචන පමණක් ඉදිරිපත් වන බවක් පෙනෙන්නට තිබේ. විපක්ෂය යනු රටේ ඊළඟ ආණ්ඩුව යැයි කියනු ලැබේ. ජාතික ප්‍රශ්නවලදී ඔවුන් ක්‍රියා කළ යුත්තේ වගකීමකින් යුතුවය. කොවිඩ් 19 වසංගත තත්ත්වයේ බලපෑම තවත් වසර ගණනාවක් යන තුරු පවතිනු ඇත. වංසගතය පාලනය කරගත්ත ද එහි අතුරු විපාක කාලයක් පවතී. ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය ද ඒවාට මුහුණ දිය යුතුය. දේශපාලන වාසිය පක්ෂයකට අවශ්‍ය වුව පොදු අර්බුදයකදී දේශපාලන වාසිය ඉක්මවා ගිය තැනක සිට කටයුතු කරන්නට ඕනෑම දේශපාලන ව්‍යාපාරයක් සූදානම් විය යුතුය. එසේ නොවුණහොත් අනාගත පැවැත්මක් නැත.

කොවිඩ් සම්බන්ධයෙන් චීන ජනතාව අනුගමනය කරන ක්‍රමවේද වඩාත් වැදගත් බව කිව හැකිය. ඔවුන් වයිරසය සමඟ ජීවත් වන ක්‍රමවේදය හඳුනාගෙන ඇති බවක් පෙනෙයි. ශ්වසන පද්ධතිය පිරිසුදු කිරීම හා ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර දෛනිකව ක්‍රියාත්මක කිරීමට චීන ජාතිකයා පෙලඹී ඇත. ගම්, නගර, පළාත් වසා දැමීමෙන් පමණක් රෝග ව්‍යාප්තිය වැළැක්විය නොහැකි බව චීන රජය වටහා ගෙන තිබේ. චීනයේ ආර්ථික ක්‍රියාවලිය සක්‍රිය යැයි කියන්නට පුළුවන. අමෙරිකාවේ තරම් ආර්ථික කඩා වැටීමක් චීනයේ දකින්නට නැත. චීනය වයිරසයේ ස්වභාවය හොඳින් වටහා ගෙන ඒ අනුව ක්‍රියා කරන බවක් දකින්නට පුළුවන. සිදු විය යුත්තේ ද එයමය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන උපදේශනය වී ඇත්තේ ද කොවිඩ් 19 සමඟ ආරක්ෂාකාරි ජීවිතයකට හුරු වෙමු යන්නය. ශ්‍රී ලංකාව ද ඒ තත්ත්වය කරා යා යුතුය.

ආසාදනය වළක්වා ගැනීමේ ක්‍රියාවලිය ගත හොත් ඉන් 90%ක වගකීම ඇත්තේ මහජනයා මතය. එම 90% යනු යහපත් සෞඛ්‍ය පුරුදුය; නැත හොත් සෞඛ්‍ය අංශවල උපදේශනය.

නව අදහස දක්වන්න