ශ්‍රී ලංකා කාන්තා චෙස් කණ්ඩායම ආසියා රටවල් 31කින් 7වැනි තැනට | දිනමිණ

ශ්‍රී ලංකා කාන්තා චෙස් කණ්ඩායම ආසියා රටවල් 31කින් 7වැනි තැනට

ඉතිහාසයේ හොඳම අන්තර්ජාතික පිම්මක් 

‘ඔන් ලයින්’ ක්‍රමයට මුල්වරට පැවැති ආසියානු පිරිමි - කාන්තා චෙස් ශූරතාවලියේදී ශ්‍රී ලංකා කාන්තා චෙස් කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයේදී පිලිපීනය හමුවේ 3.5 – 0.5 කින් පරාජයට පත් වී රටවල් 31කින් 7වැනි ස්ථානයට පත් වෙයි. අර්ධ අවසන් වටයේ සිට තරගාවලිය පිළිමලුන් පිටු දැකීමේ ක්‍රමයට පැවැති හෙයින් පිලිපීනයට පරාජය වූ ශ්‍රී ලංකා කාන්තා පිල තරගාවලියෙන් ඉවතට ගියේය.

කෙසේ වුවද මෙය ශ්‍රී ලංකා චෙස් ක්‍රීඩා ඉතිහාසයේ කාන්තා කණ්ඩායමක් ලද විශාලම ජයග්‍රහණයක් වන අතර, පළමු වරට ආසියානු ඔන් ලයින් චෙස් තරගාවලියක හොඳම දක්ෂතාවකි. ආසියානු කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම ශ්‍රී ලංකාව වැනි නැඟී එන චෙස් ක්‍රීඩා කරන රටකට ඉමහත් ජයග්‍රහණයක් බව ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති ලක්ෂමන් විජේසූරිය මහතා ‘දිනමිණ’ට පැවැසීය. ශ්‍රී ලංකා කාන්තා චෙස් පිලේ සියලු ක්‍රීඩිකාවන් පාසල් වයසේ පසුවන අය බැවින් මෙය පෙරැළිකාර දස්කමක් බව විජේසූරිය මහතා පැවැසීය.

නුගේගොඩ දෙල්කඳ චෙස් සම්මේලන මූලස්ථානයේ සිට මූලික වටයේ අවසන් තරග දෙකට ඔන් ලයින් ක්‍රමයට තරග කළ ශ්‍රී ලංකා කාන්තා චෙස් පිල ආසියාවේ දෙවැනි ස්ථානයේ සිටින පිලිපීනය සමඟ ක්‍රීඩා කළ අතර, අත්දැකීම් බහුල පිලිපීන ක්‍රීඩිකාවෝ මුල සිටම ශ්‍රී ලංකාවට තර්ජනයක් විය.

මේ තරගාවලියේ අර්ධ අවසන් වටයට පැමිණි රටවල් වන්නේ පිළිවෙළින් ඉන්දියාව, පිලිපීනය, ඉරානය, වියට්නාමය, මොන්ගෝලියාව, ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව හා කිරිගිස්තානයයි.

ශ්‍රී ලංකා පිල මේ තරගාවලියේදී ක්වේට්, පලස්තීන, සිරියා හා ඔස්ට්‍රේලියා කණ්ඩායම් පරාජයට පත් කළ අතර, කිරිගිස්තානය හා සිංගප්පූරුව අතර, තරග දෙකම ජය පරාජයෙන් තොරව නිමා කළේය. කසකස්තානය හා ලෙබනන් හමුවේ පරාජයට පත් වී, බංග්ලාදේශය, කිරිගිස්තානය හා සිංගප්පූරුව සමඟ තරග තියුණු මුහුණුවරකින් ජය පරාජයෙන් තොරව නිමා කළේය.

එන්.එස්. ත්‍රී චෙස් කණ්ඩායමේ සචිනි රණසිංහගේ නායකත්වයෙන් ආසියානු තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කාන්තා චෙස් පිලට වත්මන් ජාතික ශූරී මහනුවර උසස් බාලිකා විදුහලේ නෙත්මී ප්‍රනාන්දු, මිෂෙල් ජාත්‍යන්තර පාසලේ අශ්විනී පවල්චන්ද්‍ර, කොළඹ විශාඛා විදුහලේ තරුෂි නික්ලේෂා හා කොළඹ දේවී බාලිකාවේ 14 හැවිරිදි තරුෂී සංදීපනී ක්‍රීඩා කළහ.

මේ තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා පිරිමි චෙස් කණ්ඩායම රටවල් 38ක් අතුරින් 18 වැනි ස්ථානයට පත්ව තරගාවලියෙන් ඉවතට ගියේය. ශ්‍රී ලංකා පිරිමි චෙස් පිල ටජිකිස්තානය, කිරිගිස්තානය හා බංග්ලාදේශය හමුවේ පරාජයට පත් විය. එම තරගාවලියේ අවසන් වටයට පිවිසි කණ්ඩායම් වන්නේ ඉරානය, පිලිපීනය, මොන්ගෝලියාව, ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, ඉන්දියාව, කසකස්තානය හා සිංගප්පූරුවයි.

ආසියානු ඔන්ලයින් චෙස් තරගාවලිය ආසියානු චෙස් සම්මේලනය විසින් සංවිධාන කළ අතර, පසුගිය 10දා සිට 25 දක්වා පැවැත්විණි. එහි මුළු මුදල් ත්‍යාගය ඩොලර් 20,000කි.

 

 

ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න