කොවිඩ් සමාජගත වීම කිව හැක්කේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්ණායක මතයි | දිනමිණ

කොවිඩ් සමාජගත වීම කිව හැක්කේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්ණායක මතයි

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි

රට වහන්නේ  නැත්තේ ජනතාවගේම  හොඳටයි

ඇමැති රමේෂ් පතිරණ

කොරෝනා තුරන් කරන්න බෑ: පාලනය කළ හැකියි

රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී  ප්‍රනාන්දුපුල්ලේ

කොවිඩ් ගැන අවධානය  බිඳ වැටුණා: දෙවැනි රැල්ල බරපතළයි

ජවිපෙ නායක අනුර කුමාර  දිසානායක

 සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ  ජනරාල් ධුරය  තවමත් ඇත්තේ  වැඩ බලන  තත්ත්වයේ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

 

කොවිඩ් - 19 වයිරසය ඉතාම සාර්ථකව මර්දනය කිරීමේ කටයුතුවලින් පුංචි ශ්‍රී ලංකාව ලෝකයටම ආදර්ශයක් වී ඇති බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී පසුගිය දා (23) ප්‍රකාශ කළාය.

ලෝකයේ වෙනත් රටවල සිදු නොකරන පරිදි මෙරට ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ලෙස කොවිඩ් මර්දන කටයුතුවලට දායකත්වය ලබා දීම සමස්ත ලෝකයටම ආදර්ශයක් බවත් අගමැතිවරයා ඇතුළු රෝග මර්දනයට දායකත්වයක් ලබා දුන් සෞඛ්‍ය හා ආරක්ෂක සියලු අංශවලට ස්තුතිය පුද කරන බවත් ඇමැතිවරිය පැවැසුවාය.

සෞඛ්‍ය ඇමැතිවරිය මේ බව ප්‍රකාශ කළේ, කොවිඩ් - 19 මර්දනය සඳහා වූ විවාදයට එක් වෙමිනි. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව ආරම්භ විය. ලිපි ලේඛන, පෙත්සම් පිළිගැන්වීමෙන් පසුව දවසේ ප්‍රධාන කටයුතු ආරම්භ කෙරිණ.

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එහිදී මෙසේ ද කීවාය.

"කොවිඩ් රෝගය පාලනය සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ප්‍රධාන ලෙස මම ස්තූතිවන්ත වෙනවා. රසායනාගාරවල වැඩ කරන සියලු දෙනාටත් මගේ ස්තූතිය පුද කරනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු ක්ෂේත්‍රයේ රෝගය මර්දනය සඳහා කැප වී කටයුතු කරන සියලු දෙනාට මම ස්තූතිවන්ත වෙනවා. රෝගය මර්දනය සඳහා රටක් විදියට රාජ්‍ය නායකයාගේ සිට මැදිහත් වීම දුර්ලභ දායකත්වයක්. නමුත් අපේ රටේ රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා රෝග මර්දනයට දායකත්වයක් ලබා දී තිබෙනවා. කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධන බළකායක් පත් කර කටයුතු කළා. ත්‍රිවිධ හමුදාව, පොලීසිය ලබා දෙන දායකත්වයට ස්තූතියි. කොරෝනා රෝගය මර්දනය සඳහා ජනාධිපතිවරයා අපව කැඳවා තීරණ ගන්නා ක්‍රියාවලිය ලෝකයට මහත් ආදර්ශයක්. ලෝකයට මේ වයිරසය අලුත්. ලෝකයේ පළමු ලෙඩා හමු වූ දා සිට අලුත් නිර්දේශ, පර්යේෂණ කරන්න පටන් ගත්තා. වයිරසය මර්දනය කිරීමේ දැනුම ලෝකයට තිබුණෙත් නෑ, අපට තිබුණෙත් නැහැ. හසල දැනුමක් තිබෙන විද්වතුන්ගෙන් සමන්විත සෞඛ්‍ය සේවාවක් අපට තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශයේ සිටින විද්‍යාඥයන්ගේ උපදෙස් මත අප කටයුතු කරනවා. දේශපාලකයන් වූ අපට වෛද්‍යවරුන්ට උගන්වන්න බැහැ. රටේ සමාජ ආර්ථික තත්ත්වයන් රැක ගනිමින් මෙම මර්දන කටයුතු කළ යුතුයි. අවශ්‍යතාව අනුව තමයි රට වැසිය යුත්තේ කියලා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්ණායක යටතේ තමයි වසංගතය සමාජගත වෙලාද නැද්ද කියා කිව හැක්කේ. නැතිව අපට අවශ්‍ය පරිදි කිව නොහැකියි. සමාජ ව්‍යාප්තිය කියන එක තාක්ෂණිකව කියන තුරු අපට කියන්න බැහැ. වගකීමකින් තොරව අප කටයුතු කළා කියලා නලින් බණ්ඩාර මහතා චෝදනා කරනවා. සෞඛ්‍ය උපදෙස් මාලාව සෑම අංශයක්ම නියෝජනය වන පරිදි කෙසේ කටයුතු කළ යුතු ද යන්න භාෂා තුනෙන්ම ප්‍රකාශයට පත් කර තිබෙනවා. රටක් විදියට කොරෝනා පළමු රෝගියා හමු වන විට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට අපට තිබුණේ වෛද්‍ය පර්යේෂණ ආයතනය විතරයි. මාර්තු වන විට අපි රසායනාගාර හයක් දක්වා දියුණු කළා. අද වන විට පී.සී.ආර්. රසායනාගාර සංඛ්‍යාව 26ක් දක්වා වැඩිදියුණු කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත එන්නතක් ගැන උපදෙස් ලබා දී තිබෙනවා. එම එන්නත සඳහා රට සූදානම් කර ගන්න කියා තිබෙනවා. මේ රෝගය ලෝක වසංගතයක්. ඒ අනුව තමයි අප ක්‍රියාත්මක විය යුත්තේ.

"ජනගහනයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රෝගීන් සංඛ්‍යාව සියයට දශම 029. ඉන්දියාවේ සියයට 2.59යි. රෝගීන්ට සාප්කේෂව ශ්‍රී ලංකාවේ මරණ සංඛ්‍යාව සියයට දශම 22යි. ඉන්දියාව සියයට 1.51යි. ඇමෙරිකාව සියයට 2.65යි. මේ හැම අංශයකින්ම ලංකාව ලෝකයේ හැම රටකමට වඩා ඉදිරියෙන් සිටිනවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් රෝගීන් වාර්තා වෙනවා කියලා කවුරුත් ඇවිත් කීවේ නැහැ. අපේ බුද්ධි අංශ සහ සෞඛ්‍ය අංශවල කැපවීම මත එය සොයා ගත්තා. මිනුවන්ගොඩ පොකුරේ රෝගීන් වාර්තා වීමත් සමඟ රෝගය මර්දනය සඳහා නැවත අලුතින් සෞඛ්‍ය උපදෙස් මාලාවක් සකස් කිරීමට අප පියවර ගත්තා. රෝග ලක්ෂණ නොපෙන්වන එහෙත් වයිරසය ශරීරගත වූවකුට පුද්ගලයන් 1,000කට වයිරසය බෝ කළ හැකියි. ඔහු දන්නේ නැහැ තමාට රෝග ලක්ෂණ තිබෙනවා කියලා. රටක් විදියට ලංකාව ලෝකයේ අන් හැම රාජ්‍යයකටම වඩා මේ සම්බන්ධයේ ඉහළ මට්ටමෙන් කටයුතු කරනවා. දිස්ත්‍රික්කවලින් එහාට නොයන්න හේතුව තමයි ඉක්මණින් හඳුනාගැනීම. නිරෝධායන කඳවුරුවල තත්ත්වය හොඳ නැහැ කියලා විපක්ෂය චෝදනා කළත් එම කඳවුරුවල නිරෝධායනය වූ අය පිං දිදී ගියා අපි දැක්කා.

ජවිපෙ මන්ත්‍රී අනුර කුමාර දිසානායක - කොවිඩ් වසංගතය පළමු රැල්ලට වඩා දෙවැනි රැල්ල බරපතළ තත්ත්වයකට පැමිණ තිබෙනවා. ඒ සඳහා ආරක්ෂක අංශ මෙන්ම සෞඛ්‍ය අංශ ද ගොදුරු වෙමින් සිටිනවා. ජන ජීවිතය ද අඩාල වෙනවා. මාර්තු මස 09 වැනිදා මෙරටින් පළමු රෝගියා වාර්තා වෙනවා. සෞඛ්‍ය, ආරක්ෂක අංශ එක්ව ගත් මෙහෙය නිසා පළමු අදියර නවතා ගැනීමට අපට හැකි වුණා. ඒ ගැන අපි ඒ අංශවලට ස්තුතිවන්ත වෙනවා. පළමු අදියර කොවිඩ් නැවතුණ ද ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ආයතන නැවත මේ කොවිඩ් මතු විය හැකියි කියලා අවධාරණය කර තිබුණා. නමුත් සැලකිය යුතු මට්ටමකින් අවධානය බිඳ වැටුණා. ඒ නිසා දෙවැනි අදියර මතු වුණා කියලා හිතන්න පුළුවන්. බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ඉන්දියානුවන් ගෙන්නුවා කියලා අපට තොරතුරු තිබෙනවා. එම ආයතනයේ ලාංකිකයන් පිරිසක් සිටිනවා. එහි සේවය කරන ශ්‍රී ලාංකිකයන්වත් ගෙන්නුවේ නැද්ද කියලා මම දැනගන්න කැමැතියි.

සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග-අප දන්නා තොරතුරු අනුව ඉන්දියාවෙන් මෙරටට පැමිණියේ නැහැ. මෙරට පුද්ගලයන් 40,000ක් පමණ විදේශයේ සිටිනවා. ඔවුන් ගෙන්වන්න කියලා අපෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඉන්දියාවේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් ගෙන්නුවාද කියලා අප සොයා බලන්නම්.

අනුර කුමාර දිසානායක-ඉන්දියානු කණ්ඩායම පසුගිය සැප්තැම්බර් 22 වැනිදා මෙරටට පැමිණ තිබෙනවා. මේ අය හරි නම් නිරෝධායන මධ්‍යස්ථානවල ඔක්තෝබර් 06 වැනිදා තෙක් සිටිය යුතුයි. ස්වයං නිරෝධායනය විය යුතුයි ඔක්තෝබර් 20 වැනිදා දක්වා. ඒ කියන්නේ මේ 20 වැනිදා දක්වා නිරෝධායනයේ සිටිය යුතුයි. නමුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියා තිබෙනවා ඔවුන් කිසිවෙක් ස්වයං නිරෝධායනයකට අවතීර්ණ නොවූ බව. ආණ්ඩුව නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කළ බව මෙමඟින් පේනවා.

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි-ෂෙරටන් හෝටලයේ ඒ අය නිරෝධායනය වුණා. මේ අය නිරෝධායනය වන විට බ්‍රැන්ඩික්ස් ආයතනයේ ආසාදිතයන් හඳුනාගෙන අවසානයි.

අනුර කුමාර දිසානායක- ඔබතුමිය කාරණාව කියන කාරණාව විය හැකියි. නමුත් අවසන් කණ්ඩායම ගෙනැවිත් තිබෙන්නේ සැප්තැම්බර් 22 වැනිදා. බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන් වමනේ දානවා, ක්ලාන්තය දානවා. ආයතනයේ වෛද්‍යවරයා පැනඩෝල් දෙකක් දීලා නිකං ඉන්නවා. පරීක්ෂාවකට යොමු කරන්නේ නැහැ. ඒ ගැන පූර්ණ පරීක්ෂණයක් කළ යුතුයි. කොවිඩ් වසංගත තත්ත්වය මර්දනය කිරීමට නම් කාරණා දෙකයි තිබෙන්නේ. එක්කෝ රට සම්පූර්ණයෙන් වැසිය යුතුයි. නොඑසේ නම් වයිරසය ව්‍යාප්ත වෙලා කියලා රජය පිළිගෙන රට විවෘත කර තැබිය යුතුයි.

නියෝජය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා මුලසුනට පැමිණියේය.

සජිත් ප්‍රේමදාස මහතා- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුර මේ වන විට තිබෙන්නේ වැඩ බලන තත්ත්වයේ. වැඩ බලන තත්ත්වයෙන් තිබෙන විට කොරෝනා ව්‍යාප්ත වෙලා හමාරයි. ස්ථිර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කෙනෙක් පත් කර ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට නොහැකිව තිබෙනවා. වයිරසය හඳුනා ගැනීම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් ටෙස්ට් කිට් 10,000ක් ලැබිලා තිබෙනවා. ඒවා තවම ගුවන්තොටුපොළේ කියලා තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. මේ ගැන සොයා බලන්න.

වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා- විපක්ෂ නායකතුමා සද්භාවයෙන් වගේ කතා කළාට ඔහුගේ කතාව පුරාම තිබුණේ දේශපාලනය. ඒ දේශපාලනය නිසා තමයි ඔහුට කියන්න බැරි වුණේ, ජනාධිපතිතුමා, සෞඛ්‍ය ඇමැතිවරිය හරියට මේ වැඩේ කරනවා කියලා. ගල්ගමුව රෝහලට අද වන විට මැලේරියා පෙති ඇණවුම් කරනවා කියලා ඔහු කීවා. අද විතරක් නොවේ එදා ඉඳලාම ඒ රෝහලට මැලේරියා පෙති ඇණවුම් කරනවා. මේ වන විට 6,287ක් ලෙස අපේ රෝගීන් සංඛ්‍යාව වාර්තා වෙලා තිබෙනවා. ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව මෙරට ජන ඝනත්වය අනුව එය ඉතා අඩු සංඛ්‍යාවක්. රෝහල් 26කින් අද වන විට රෝගීන් බලා ගන්නවා. වෛද්‍යවරුන් කිහිපදෙනකුට හැදුණා තමයි. නමුත් අයි.ඩී.එච්. රෝහලේ කාටවත් හැදුණේ නැහැ. ඔවුන් සුරක්ෂිත ලෙස රෝගීන් බලා ගන්නවා. වසංගත රෝග විද්‍යාඥයන් ඇතුළු අනෙකුත් විද්වතුන්ගේ උපදෙස් අනුව මර්දන, ප්‍රතිකාර කටයුතු කරනවා. වසංගත රෝග විද්‍යාඥයන් තවමත් කියන්නේ දත්ත අනුව රෝගය සමාජගත වෙලා නොමැති බවයි. ඔවුන් කියනවා නම් මෙය සමාජගත වෙලා කියලා ආණ්ඩුව විදියට ඒ බව අප පිළිගෙන කළමනාකරණය කරනවා. රට නොවසා මේ කළමනාකරණය කරන්නේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සුරක්ෂිත කිරීමටයි. රට වැසුවොත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආර්ථික පීඩාවකට ලක් වෙනවා.

ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන

අපේ ඉතිහාසයේ මෙවැනි ඛේදජනක සිද්ධි අනන්ත වාර්තා වෙලා තිබෙනවා. දීලීර, බැක්ටීරියා නිසා විශාල පිරිසක් මිය ගොස් තිබෙනවා. ඉන් පසු ඉන්ෆ්ලුවෙන්සා නිසා විශාල පිරිසක් මිය ගොස් තිබෙනවා. 2002 සාර්ස් රෝගය නිසා, නර්ස් නමින් හඳුන්වනු ලැබූ රෝගයක් නිසා ජනතාව මිය ගියා. කොවිඩ් නිසාත් අද වන විට විශාල පිරිසක් මිය ගොස් තිබෙනවා. මෙම රෝගයේ රෝග ලක්ෂණ රැසක් තිබෙනවා. එය විවිධ විදියට වෙනස් වෙනවා. මෙහි සාර්ථක ආසාර්ථ භාවය මනින්නේ මිලියනයකට රෝග වුණ සංඛ්‍යාව සහ මිය ගිය සංඛ්‍යාව අනුවයි. අද වන විට අපට මෙය නිසි ලෙස පාලනය කර ගන්න පුළුවන් වුණේ ජනාධිපතිවරයාගේ නායකත්වය, සෞඛ්‍ය ඇමැතිවරිය ඇතුළු නිලධාරීන්ගේ, ත්‍රිවිධ හමුදා අංශවල කැපවීම නිසයි. ඒ වගේම රජයක් ලෙස අප මෙය මර්දනය කරන්න විශාල ලෙස රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්න කටයුතු කර තිබෙනවා. ඒ පමණක් නෙවෙයි අපේ දේශීය වෛද්‍ය ක්‍රම මේ සඳහා යොදා ගන්න පුළුවන්කම ලැබී තිබෙනවා. අපට මේ රෝගය වැළඳී දවස් දෙකක් යනකල් රෝග ලක්ෂණ මතු වෙන්නේ නැහැ. එම නිසා අපට පුළුවන් දේශීය වෛද්‍ය ක්‍රම යොදා ගනිමින් මෙය වළක්වා ගන්න. මේ දෙවැනි රැල්ල ඇති වෙලා තිබෙන්නේ අපේ රටේ විතරක් නෙවෙයි. ලෝකයේ බොහෝ රටවල දෙවැනි රැල්ලක් ඇති වී තිබෙනවා. ඉන්දියාවෙන් බ්‍රැන්ඩෙක්ස් ආයතනයට පැමිණි සේවක පිරිසක් නිරෝධායනයට ලක් වුණේ නැහැ කියලා අනුර කුමාර දිසානායක මහතා කියනවා. මම වගකීමෙන් කියනවා ඒ සියලුදෙනා දින 14ක් නිරෝධායනයට ලක් කළා කියා. ඊට අදාළව ලබා දීපු සහතික පත් අපේ ළඟ තිබෙනවා.

ස.ජ.බ. මන්ත්‍රී රාජිත සේනාරත්න- ෙවිල් ප්‍රනාන්දු රෝහලේ ඇඳන් සංඛ්‍යාව තිබුණ නිසා තමයි අද යම් සහනයක් තිබෙන්නේ. හැබැයි මෙහි තිබෙන ඇඳන් ප්‍රමාණවත් නැහැ. මේ රෝගයේ ආරම්භයේදීම මම කිව්වා ගුවන් තොටුපොළ වහන්න කියලා. දූපත් රාජ්‍ය ඉන් වැළකෙන්න තියෙන හොඳම ක්‍රමය එයයි. ඒ වගේම මම කිව්වා වහාම ලොක් ඩවුන් කරන්න කියලා. රජය ඒ දේවල් ගණන් ගත්තේ නැහැ.

නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා මුලසුනට පැමිණියේය.

විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම-කොවිඩ් 19 පාලනය කරන්න ජනාධිපතිවරයා ප්‍රමුඛ සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව සහ අනෙක් නිලධාරීන් ගත්ත ක්‍රියාමාර්ග ගැන අප සතුටු වෙනවා. අද දෙවැනි රැල්ලක් ඇවිත් තිබෙනවා. එය පාලනය කර ගන්න රාජ්‍ය අංශය විසින් විශාල වෙහෙසක් ගනිමින් ඉන්නවා. උසස් පෙළ විභාගය පැවැත්වෙනවා. කොවිඩ් තියෙද්දි අධ්‍යාපන අමාත්‍යාංශය හා ගුරුවරුන් ගන්නා වෙහෙස අගයන්න ඕනෑ. මාතර දිස්ත්‍රික්කයේ නිරෝධායන මධ්‍යස්ථාන හතරක් තිබෙනවා. මධ්‍යස්ථානවලින් පිටින් 800ක් විතර ගෙවල්වල නිරෝධායනය වෙමින් ඉන්නවා. කඹුරුපිටිය, දෙණියාය රෝහල් කඩිනමින් දියුණු කරලා අවශ්‍ය පහසුකම් ලබා දෙන්න කියා ඉල්ලා සිටිනවා. ඒ වගේම බලාගාරවල සේවකයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ කරන්න කියලා ඉල්ලා සිටිනවා.

ස.ජ.බ මන්ත්‍රී දිලිප් වෙදආරච්චි- මේ කොරෝනා දෙවැනි රැල්ල ලංකාවට ගෙන ආවේ මේ ආණ්ඩුව විසින්. එය මම කිසිඳු බියක් නැතුව කියනවා. අද වන විට මත්ස්‍ය වෙළෙඳාමට කොවිඩ් ඇතුළු වෙලා තිබෙනවා. එය වළක්වා ගන්න අප පියවර ගත යුතුයි. මොකද මේ මාළු වෙළෙඳාම අස්සක් මුල්ලක් නෑර යන නිසා. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළෙන් ගියා කියන්නේ හැම ධීවර වරායකටම මේ රෝගය ඇතුළු වෙනවා. එය වළක්වන්න බැහැ.

සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න- ජන ඝනත්වය සමඟ අපි මේ වසංගතයට මුහුණ දීමේ අමාරු ස්ථානයක සිටිනවා. මේ විදියට වසංගතය කළමනාකරණය කර නොතිබුණා නම් මේ වන විට ලක්ෂයක් විතර මරණයට පත්ව ඉවරයි. ලක්ෂ 10කට විතර රෝගය වැළඳී ඉවරයි. ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 3,200ක් නිරෝධායනය කර තිබෙනවා. පවුල් 1,709කට වයිරසය වැළඳී තිබෙනවා. 27,053කට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර තිබෙනවා. වැඩිම ජනගහනයක් සිටින ප්‍රදේශයක් විදියට ගම්පහ දිස්ත්‍රික්කය හඳුන්වන්න පුළුවන්. ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවන් වෙනුවෙන් ග්‍රාම සේවා වසම් 249ක පවුල් 80,000කට රුපියල් මිලියන 400ක මුදලක් ලබා දුන්නා. මෑතකදී පැනවූ ඇඳිරි නීතියේදි පවුල් 464,259කට රුපියල් මිලියන 2,300ක මුදලක් ලබා දිය යුතුව තිබෙනවා. රට තුළ එදිනෙදා කටයුතු කරගෙන යා යුතුයි. විභාග මධ්‍යස්ථාන 409ක පහ වසර ශිෂ්‍යත්වය ඉතා සාර්ථකව පැවැත්වූවා. උසස් පෙළ විභාගය පැවැත්වෙමින් තිබෙනවා. විභාග කාර්ය මණ්ඩලවලට ප්‍රවාහන දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි- රට තුළ රෝග මර්දනය සම්බන්ධයෙන් විපක්ෂය ප්‍රසාදය පළ නොකර කුහකකම නිසා විවිධ ප්‍රශ්න මතු කරනවා. ලෝකය පුරා මේ වසංගතය ව්‍යාප්ත වන විටදී කොවිඩ් මර්දනය සඳහා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ කමිටුව අප පිහිටවූවා. දේශීය වෛද්‍යවරුන්ගෙන් සමන්විත මේ කමිටුව වසංගතය මර්දනය සම්බන්ධයෙන් උපරිම දායකත්වය ලබා දී තිබෙනවා. වසර 2,500කට පෙර සිටම හෙළ වෙදකම තුළ නිරෝධායනය භාවිත කළා. කොහොඹ අතු එල්ලා ඒ බව වටේ ජනතාවට දැනුම් දුන්නා. ස්වභාවික ප්‍රතිශක්තිකාරක ලෙස කහ, කොහොඹ, දෙහි හඳුන්වා දුන්නා. බටහිර සෞඛ්‍ය සේවාව දියුණු ජයග්‍රහණයක් ලැබුවත් මෙවැනි වසංගතයන් පැමිණි විට අපහසුතාවන්ට පත්ව සිටිනවා. නමුත් අප දේශීය ඖෂධ ගණනාවක් ප්‍රතිශක්තිය වර්ධනය සඳහා හඳුන්වා දී තිබෙනවා. හෙළ වෙද වට්ටෝරු ගණනාවක් මේ වෙනුවෙන් අප ඉදිරිපත් කර තිබෙනවා. පාරම්පරික ඖෂධවලින් ප්‍රතිකර්ම ක්‍රම හඳුන්වා දී තිබෙනවා. කොවිඩ් මර්දනයට මේ ප්‍රතිකර්ම ක්‍රම උපයෝගී කර ගත හැකියි. කොත්තමල්ලි, අමු ඉඟුරු, ගම්මිරිස්, හීං අරත්ත එක් කළ ප්‍රතිශක්තිජනක පානයන් භාවිතයට ජනතාව දැන් හුරු වෙලා සිටිනවා.

වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන- මහ මැතිවරණය කල් දැමීමේ බෙහෙත විදියට විපක්ෂය එදා කොරෝනා භාවිත කළා. කොරෝනා වයිරසයට ජාත්‍යන්තරය බෙහෙතක් සොයා ගනියි. නමුත් දේශපාලන කුහකකම, වෛරය, ද්වේෂයට බෙහෙතක් හොයා ගන්න බැරි වේවි. නැව් 14, 15ක දිනකට අපට මෙහෙයුම් කරන්න වෙනවා. නැව්වල එන්නේ විදේශිකයන්. අසල්වැසි රටවලින් ලක්ෂ ගණන් රෝගීන් වාර්තා වෙනවා. රෝගීන් 111ක් පමණ අපෙන් වාර්තා වෙනවා. මතුගම ගම් කිහිපයක් මේ වන විට වසා තිබෙනවා. සෞඛ්‍ය ඇමැතිවරිය කොරෝනා රෝගය අවසන් කරන විට ජනතාව කියාවි ඔබ නිවැරදි විදියට මර්දනය කිරීම් කළා කියා. සුවපති, අර පති මේ පති කියලා ඔබතුමියට නොදැම්මත් ජනතාව ඔබතුමියගේ සේවාව අගය කිරීමට ලක් කරාවි. මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා මුලසුනට පැමිණියේය.

ශ්‍රීලපොපෙ මන්ත්‍රී මදුර විතානගේ-වයිරසය අපට හොඳ පාඩමක් උගන්වා තිබෙනවා. නමුත් ඒ පාඩම කවුරුත් ඉගෙන ගෙන නැති බවක් පේනවා. සමීපතම ආශ්‍රිතයන් සොයන නව පරිගණක මෘදුකාංගයක් සම්බන්ධයෙන් අපේ රටේ සිසුන් පිරිසක් එක්ව පර්යේෂණයක් සිදු කරනවා. එය ඉදිරි කාලය තුළදී සමාජගත වේවි. වයිරසය සමඟ ජීවත් වන නව ජීවන රටාවකට ජනතාව හුරු විය යුතුයි. මේ වසංගතයත් සමඟ නව දේශීය නිෂ්පාදනය සමාජයට පැමිණ තිබෙනවා. ඒ වගේම වී අස්වැන්න වැඩි වෙලා තිබෙනවා. කොවිඩ් වළක්වා ගැනීම සඳහා උපදෙස් ඇති ග්‍රන්ථයක් නිර්මාණය කර තිබෙනවා. සෞඛ්‍ය ඇමැතිතුමිය අතින්ම එය සභාගත කරන ලෙස මම ඉල්ලා සිටිනවා.

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල්- මෙවැනි විවාදයක් ගැන යෝජනාවක් ගෙනා එක ගැන අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට මම ස්තූතිවන්ත වෙනවා. මේ වසංගතයත් සමඟ රට ඉදිරියට ගෙන යන්නේ කෙසේද කියන ප්‍රශ්න මාලාවක් ඉදිරිපත්ව තිබෙනවා. කුමන බාධාවන් පැමිණියත් ජනාධිපතිවරයා, අගමැතිවරයා එක්ව නිවැරදි විසඳුම් ගෙන ආර්ථික වර්ධනය සිදු කරන පියවරයන් ගත්තා. මේ තත්ත්වය තුළ ආනයනයන් සම්බන්ධයෙන් කිසියම් සීමාවන් දැමීමට අපට සිදු වුණා. ඒ සඳහා අප හැඩ ගැසිය යුතුයි. ලෝකයේ උවදුරු තිබෙන අවස්ථාවලදී එකට එක්ව මුහුණ දී තිබෙනවා. ලෝකයේ මුදල් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සඳහා ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ස්ථාපිත කළා. අපේ රටේ සංවර්ධනය අපටම ගොඩනංවා ගැනීමට හැකි වී තිබෙනවා. සෞඛ්‍ය අංශය රටේ තත්ත්වය හොඳින් කළමනාකරණය කර තිබෙනවා.

සජබ මන්ත්‍රී හේෂා විතානගේ- ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරුන් අද සභාවේ කියා සිටියේ කොරෝනා නිසා විපක්ෂය සතුටු වෙනවා කියලා. අපත් මහජන නියෝජිතයො. මහජනතාවට ව්‍යසනයක් වන විට අපි කොහොමද සතුටු වෙන්නේ? විපක්ෂය සැබෑ තත්ත්වය පෙන්වා දෙන විට මේ වසංගත තත්ත්වය වෙනුවෙන් අපි සතුටු වෙනවා කියලා කියන්නේ කොහොමද. අපි කිසියම් වැරැද්දක් පෙන්වා දෙන විට එය පිළිගෙන වසංගත තත්ත්වය මර්දනය කරන්න කටයුතු කරන්න.

ශ්‍රීලපොපෙ මන්ත්‍රී ජගත් කුමාර- මෙම වසංගත තත්ත්වය සම්බන්ධයෙන් අප කටයුතු කර තිබෙන්නේ වෛද්‍යවරුන්ගේ මතයන් අනුව. මේ වසංගතය සමාජගත වෙලාද තිබෙන්නේ කියලා අපි වෛද්‍යවරුන්ගෙන් ඇහුවා. මෙරට තවම සමාජය තුළට ව්‍යාප්ත වෙලා නැහැ කියලා ඔවුන් ප්‍රකාශ කළා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට චූන් වෙන්න පිළිතුරු දෙන්න වෛද්‍යවරුන්වත්, වෛද්‍ය සංගම්වත් ප්‍රකාශ කරන්නේ නැහැ. දේශපාලන තීන්දු ගෙන ජනතාවට දිගින් දිගටම විහිළු සැපයුවේ පසුගිය කාලයේ විපක්ෂය. අපේ රජය වගකීමෙන් කටයුතු කරනවා. මාස දෙකක් රට වසා තැබූ විට රටේ ජනතාවට රුපියල් 5,000 දෙන්න ගත්තේ සමෘද්ධි ව්‍යාපාරයෙන් තමයි. මීළඟ අයවැයෙන් එය ලබා දෙනවා. සමෘද්ධිලාභීන්ට එමඟින් කිසිඳු අගතියක් වන්නේ නැහැ. ඒ වේලාවේ රටේ ජනතාව වෙනුවෙන් අපි යුතුකමක් ඉටු කළේ. ඇමෙරිකාවේ ලක්ෂ 85ක් ආසාදිතයන් වෙලා සිටියදීත් එරට ජනාධිපතිවරණය පවත්වන්න සූදානම් වෙනවා. විපක්ෂයට මේ වසංගතයෙන් වාසි ගන්න අප ඉඩ තබන්නේ නැහැ.

සජබ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා- ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ රෝගය පැතිර යන්න පෙර ගම්පහට ඇඳිරි නීතිය දාලා මර්දනය කරන්න කියලා මම කීවා. ඒ වෙලාවේ ඒ තීන්දුව ගත්තා නම් දිස්ත්‍රික්ක 21කට පැතිරීම වළක්වා ගන්න හැකි වෙනවා. මේ වසංගතය හමුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට සාධාරණයක් ඉටු කරන ක්‍රමයක් හැදිය යුතුයි.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා මුලසුනට පැමිණියේය.

ශ්‍රීලපොපෙ මන්ත්‍රී උපුල් ගලප්පත්ති-ප්‍රජා සෞඛ්‍ය හදිසි තත්ත්වයකට ලංකාව මේ වන විට මුහුණ දී තිබෙනවා. රජය, සෞඛ්‍ය ධාරිතාව, මහජනතාවගේ ධාරිතාව කියන ප්‍රධාන කුලුනු තුන මත මේ වසංගත අභියෝගය රඳා පවතිනවා. රජය විදියට මේ වසංගතය හොඳින් කළමනාකරණය කරගෙන යනවා. කොවිඩ් පළමු රැල්ල සාර්ථකව පාලනය කළ නිසා ලෝකයේ දෙවැනි තැන අපට ලැබුණා. වසංගතය සමාජගත වෙලා කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසූ බව විපක්ෂ නායකවරයා පුන පුන ප්‍රකාශ කළා. එවැනි දෙයක් සංගමය කියා නැහැ. වසර 2022 වන තෙක් මේ වසංගතය තිබිය හැකියි. පී.සී.ආර්. පරීක්ෂණ වැඩි කර රෝගීන් හඹා යෑම සිදු කරනවා.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ- කොරෝනා තුරන් කළ නොහැකියි. පාලනය කිරීමට පුළුවන්. මේ අවදානමත් සමඟ ජීවත් වන්නේ කෙසේද කියන කතිකාව ගොඩනැඟිය යුතුයි. කාන්තාවක් විදියට මේ ගැටලුවට සෞඛ්‍ය ඇමැතිවරිය මුහුණ දෙන විදිය ගැන අප ප්‍රශංසා කළ යුතුයි. මැලේරියා, සරම්ප රට තුළ තුරන් කර තිබෙනවා. අසල්වැසි ඉන්දියාවේ මේ රෝගය ව්‍යාප්ත වෙමින් තිබෙනවා. විදෙස්ගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වා ගත්තා. ක්‍රමානුකූලව ඔවුන් ගෙන්වා නිරෝධායන කටයුතු කරලා සමාජයට ඔවුන් යැවීම සිදු කරනවා. හොඳ මහජන සෞඛ්‍ය ක්‍රමවේදයක් අපට තිබෙනවා. මිනුවන්ගොඩ පොකුර සොයා ගැනීමට හේතු වුණේ රෝහල්වල සිදු කළ පරීක්ෂණ නිසා. රෝගීන් හඹා ගොස් ආශ්‍රිතයන් හඳුනා ගැනීම සිදු කරන්නේ සීමිත සම්පත් සමඟ. සියයට 80කට රෝග ලක්ෂණ පහළ වන්නේ නැහැ. නමුත් ඔවුන්ගෙන් බෝ විය හැකියි. ඒ නිසා සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතුයි. නිරෝධායනයට මිනිසුන් බයේ සිටිනවා. එයට බිය විය යුතු නැහැ.

ශ්‍රීලපොපෙ මන්ත්‍රී වීරසුමන වීරසිංහ-කොවිඩ් හා දේශපාලනය අපූරුවට පැටලිලා තිබෙනවා. චීනයෙන් රෝගියා හමු වන විට ඔවුන් සක්‍රීයව දායක වී එය මැඬපැවැත්වීමට කටයුතු කළා. එය චීනයෙන් ආරම්භ වූ නිසා හිතාමතා එය ව්‍යාප්ත කළා කියන මතය ඇති කිරීමට දේශපාලන වශයෙන් ඇමෙරිකාව උත්සාහ ගත්තා. ජාත්‍යන්තර දේශපාලනය එසේ වන විට අපේ දේශපාලනයත් එය භාවිත කරන්න පටන් ගත්තා. මහ මැතිවරණයේදීත් කොරෝනා නිසා ආණ්ඩු පක්ෂයට චෝදනා එල්ල කරන්න එය භාවිත කළා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ නම් එතරම් සුබ නැහැ. ඒ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැඟිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ- මේ රෝගය වෙනුවෙන් මේ වතාවේ ආණ්ඩුව සූදානම් වුණා මදි කියලා විපක්ෂය චෝදනා කරනවා. ඒ අය එහෙම චෝදනා කරන්නේ බිම් මට්ටමෙන් සිදු කරන සත්‍ය දේවල් නොදැනයි. සමාජ ජාලා පදනම් කරගෙන ඔවුන් මේ දේ කියනවා. පැය විසි හතර පුරාම ජනාධිපතිවරයා රෝගය මර්දනය සඳහා උපදෙස් දීම සිදු කරනවා. සුළු සේවකයාගේ පටන් සියලු නිලධාරීන් මේ රෝගය මර්දනය සඳහා කැපවීමෙන් කටයුතු කරනවා. ඒ නිසා අපි සාර්ථකව කොවිඩ් මර්දනයට පියවර ගෙන තිබෙනවා. රෝගය පාර්ලිමේන්තු එන යන අයට වගේමත් ගමේ අයටත් බලපාන දෙයක්. ඒ නිසා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්යයි.

සජබ මන්ත්‍රී සරත් ෆොන්සේකා- දරුණු ලෝක වසංගතයකට අප අද මුහුණ දී සිටිනවා. ඉන් ගොඩ වීමට නම් සෞඛ්‍ය ක්ෂේත්‍රය පමණක් කැප කිරීම් කර මදි. ජනතාවත් වැඩි කැප කිරීමක් කරන්න වෙනවා. රෝගය සම්බන්ධයෙන් කිසි දෙයක් නොසඟවා සත්‍ය තොරතුරු ජනතාවට ලබා දීම වැදගත්. සහනාධාර ලබා දීම සාධාරණව සිදු කළ යුතුයි. රුපියල් 5,000, රුපියල් 10,000ක් දක්වා වැඩි කර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. අපත් සහාය දෙන්නම්.

සජබ මන්ත්‍රී නලීන් බණ්ඩාර-මිනුවන්ගොඩ පොකුර නිසා කුලියාපිටිය ආශ්‍රිතව නව පොකුරක් බිහි වුණා. ඔබතුමාලා ප්‍රකාශ කළ විදියට විවාහ මංගල්‍යය, අවමංගල්‍යය උත්සව ආදී ජනතාව එක් වන තැන් නතර කිරීමට හෝ නියාමනය කිරීමට රජය කටයුතු කළා නම් මේ රැල්ල ව්‍යාප්ත වන්නේ නැහැ. මේ තත්ත්වය නිසා රටේ ආර්ථිකය කඩා වැටෙන්න දෙන්න බැහැ.

ශ්‍රීලපොපෙ මන්ත්‍රී තිස්ස විතාරණ-වසූරිය, පෝලියෝ වසංගතයත් නැති කිරීමට සම්බන්ධ වූ කෙනෙක් විදියට මට අත්දැකීම් තිබෙනවා. ලෝකයට අලුත් වයිරසයක් පැමිණ තිබෙනවා. කලින් මේ රෝගය පැමිණ නැති නිසා ජනතාව තුළ ප්‍රතිශක්තියක් නැහැ. ඒ නිසා මේ රෝගය වර්ධනය වීම පුදුමයක් නොවේ. මේ වයිරසය මර්දනය සඳහා ප්‍රධාන වගකීම තිබෙන්නේ ජනතාව අතේ.

 

පාර්ලිමේන්තුව නොවැම්බර් 03 වැනිදා පෙරවරු 10.00ට නැවත රැස් වේ.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න